වැඩපොළ පටන් අරගෙන සතියක් යනකම් වැඩක් ආවේ නැහැ

ලංකාවේ එකම හා ප්‍රථම වායු සමීකරණ ශිල්පිනිය ප්‍රියංගා සංජීවනි
අගෝස්තු 22, 2022

 

ඇය තමයි ලංකාවේ එකම මෝටර් රථ වායුසමීකරණ ශිල්පිනිය. ඇගේ නමින් බොහෝදෙනෙක් නො දැන හිටියත් රාජගිරියේ AC අක්කා කියූ පමණින් මුළු රටම දනියි. ඇය නමින් ප්‍රියංගා සංජීවනී.

 

කන්දක් උස් වූ තරමට එය තරණය කිරීම දුෂ්කරය. ඒ වගේම තමයි ජීවිතයේ බාධක වැඩි වූ තරමටම ජීවන ගමනද අසීරුය. හැබැයි අපට කන්ද උසයි කියලා නැවතුනත් ජීවිතය අසීරුයි කියලා නවතින්න නොහැකිය. මේ අසීරු ජීවිත ගමන අප අභියෝග මැදින් ඉදිරියටම යා යුතුමයි. එවිට අපට නිසැකවම ජීවිතය සාර්ථක කර ගන්න හැකි වනු ඇත. එවැනි අභියෝග ජයගත් චරිත ලෝකය, රට දිනාගත් කතා අප අනන්තවත් අසා තිබේ. විශේෂයෙන් කාන්තාවට මේ ලෝකයේ ඉදිරියට යන්න තරමක් අසීරුයි. ඒ වගේම අභියෝග වැඩියි.

 

අපේ කතා නායිකාවත් එවැනි අභියෝග ජයගත් දිරිය කාන්තාවකි. ඒ වගේම මුළු ලෝකයක් බැහැයි කියපු වෘත්තියක් තම ජීවිතය කරගත් දිරිය දියණියකි. ඇයට බොහෝ පිරිසක් අභියෝග කළේ "ඔබට මේ රැකියාව කරන්න බැහැ" කියාය. එහෙත් ඇය තනිවම කදුළු පිසදාගෙන ජීවිතය ජය ගත්තේ අභියෝග කළ සැමට අභියෝගයක් වෙමිනි.

ඇය තමයි ලංකාවේ එකම මෝටර් රථ වායුසමීකරණ ශිල්පිනිය. ඇගේ නමින් බොහෝදෙනෙක් නො දැන හිටියත් රාජගිරියේ AC අක්කා කියූ පමණින් මුළු රටම දනියි. ඇය නමින් ප්‍රියංගා සංජීවනී. බාධක අභියෝග මැද ජීවිතය දිනපු ඇය සෑම මොහොතකම සිටින්නේ මුව පුරා සිනහවක් තවරාගෙනය. සිනහවෙන් පිරි මුහුණ පුරවාගෙනම ඇය අප සමඟ මේ පිළිසඳරට මුල පිරුවේ ද ඉතාම සැහැල්ලුවෙනි.

අක්කා... මුලින්ම අපට කියන්නකෝ ඔබේ ගමන ආරම්භ කරපු තැන..

මගේ උපන් ගම රාජගිරිය. ගොතටුවේ දොඩම්ගහහේන කියන ගම. මගේ ආච්චිගේ ගෙදර තමයි දොඩම්ගහහේනේ තිබුණේ. ඊට පස්සේ මගේ අම්මයි තාත්තායි රාජගිරියේ කළුපළුවාව කියන ගමට ආවා. එතැන තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරන ස්ථානය බවට පත් වුණේ.

 

ඔබට පුංචි කාලෙම ද මේ වගේ රැකියාවක් කරන්න ඕනේ කියන අදහස ඇති වුණේ?

පුංචිම කාලේ නම් මට එහෙම ලොකු ඉලක්කයක් තිබුණේ නැහැ. පාසල් ගියා. සැහැල්ලුවෙන් ගත කළා. හැබැයි ටිකක් වයසින් වැඩි වෙනකොට ජීවිතේ ජයගන්න යමක් කරන්න ඕනේ කියන අදහස ඇති වුණා. මගේ පියා ලංගම සේවය කළේ. මව නම් රැකියාවක් කළේ නැහැ. මම තමයි පවුලේ එකම දරුවා. අදටත් මගේ මවයි, පියයි ඉන්නේ මාත් එක්ක.

 

ඔබ පාසල් ගියේ...

මම රාජගිරියේ දේවපාදී කියන ප්‍රාථමික විද්‍යාලයට තමයි මුලින්ම පාසල් ගියේ. ඊට පස්සේ අපි බණ්ඩාරගම පදිංචියට ගියා. බණ්ඩාරගම රඹුක්කන විද්‍යාලෝක විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි මට ලැබුණු හොඳම පාසල. ඒ පාසල් කාලය තමයි මගේ ජීවිතයේ සුන්දරම කාලය. මම සා/පෙළ දක්වා ඒ පාසලේ ඉගෙනුම ලබනවා. ඉන්පසුව තමයි මම බොරැල්ල රත්නාවලී විද්‍යාලයට ඇතුළු වෙන්නේ. පාසල් කාලෙදි ක්‍රීඩාවට දක්ෂයි. ක්‍රීඩා තරග රාශියකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණත් ලබලා තියෙනවා.

 

ඔබ කාන්තාවක් ලෙස සුවිශේෂී චරිතයක්. ලංකාවේ එකම වායුසමීකරණ ශිල්පිනිය මේ අදහස ඇති වුණේ කොහොමද?

ඇත්තටම පොඩි කාලේ මට මේ ක්ෂේත්‍රයම තෝරා ගන්නවා කියලා අදහසක් නැති වුණාට වාහනවලට හරි උනන්දුයි. මට හොඳට මතකයි පොඩි කාලේ මං හිටිය ගෙදරට අල්ලපු ගෙදරට හැමදාම ඩෙලිකා වෑන් එකක් එනවා. මට හීනයක් තිබුණා මමත් කවදාහරි ඩෙලිකා වෑන් එකක් ගන්නවාමයි කියලා. මගේ හීනය එළිදකින්නේ එතැනින්.

මගේ පියා මම තරුණ කාලයේ දී පිටරට රැකියාවකට ගියා. ඔහු අපට මුදල් එවන්න පටන් ගත්තට පස්සේ මම වාහන දෙකක්

සල්ලිවලට ගත්තා. ඒ වාහන දෙක කුලී පදනමට ධාවනය කිරීම ආරම්භ කළා. ඔහොම ගමනක් එන අත‍ෙරදී වායු සමීකරණ පාඨමාලාවකුත් කළා. හැබැයි මේ වෘත්තිය තනියෙන් පටන් ගන්න මට බයක් තිබුණා. ඒ නිසා මම දන්න හිතවත් මල්ලි කෙනෙක් එක්ක මේ රැකියාව පටන් ගත්තා.

 

ඔහු සමඟ ඔබට මේ ව්‍යාපාරය ගොඩනගා ගන්න පුළුවන් වුණාද?

ඔහු සමඟ වැඩේ පටන් ගත්තාට අවුරුද්දක් විතර යනකොට ඔහු එම ව්‍යාපාරයෙන් ඉවත් වුණා. එතකොට තමයි මට ලොකුම අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. හැබැයි මම කඩා වැටුණේ නැහැ. බාධක මැදින් ඉදිරියට යන්න අධිෂ්ඨානය ඇති වුණේ ඉන්පසුවයි.

දැන් හැරිලා බලනකොට නම් මට හිතාගන්න බැරි තරම් සතුටක් දැනෙනවා. හැමෝම ආදරයෙන් AC අක්කා කියලා කතා කරන කොට පුදුම ආඩම්බරයක් ඇති වෙනවා. අවුරුදු 13ක් කරපු කැපවීමේ ප්‍රතිඵල දැන් මට ලැබෙනවා.

 

ඔබ මුලින්ම මේ ගමන පටන් ගන්න සැලසුම් කළේ කොහොමද?

මුලින්ම හැදුවේ වෙන තැනක් කුලියට අරගෙන workshop එකක් දාන්න. ඒ වෙලාවේ මගේ අම්මා කිව්වා මේ වගේ ව්‍යාපාර කාලයක් යනකම් ඔළුව උස්සන්න අමාරුයි. ඒ නිසා මෙතැනින් පටන් ගන්න. මෙතැන ලාභ ලැබුණත් නැතත් මෙතැන ඔයාගෙම තැනනේ කියලා ඒ සහයෝගයෙන් තමයි මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණෙ. දැන් මගේ දියුණුව ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ අම්මා. ඒ වගේම මගේ ජීවිතයේ මගේ මව්පියන්, දරුවන් දෙදෙනා හා මගේ සැමියා තමයි මාව මේ තරම් දුර ගමනක් රැගෙන ඉහළට ආවේ.

 

ඔබ වායුසමීකරණ ශිල්පිනියක් ලෙස මේ ක්ෂේත්‍රයට කාන්තාවන්ගේ ප්‍රවේශය දකින්නේ කොයි ආකාරයට ද?

මම දන්නා තරමට මම විතරයි තවම කාන්තාවක් ලෙස මේ ක්ෂේත්‍රය තුළ සිටින්නේ. මේ රැකියා ක්ෂේත්‍රය ලොකු ආදායමක් ලබන්න අවස්ථාව තියනවා. මෙය අභියෝගයක් ලෙස කාන්තාවක් කියන මතය මම පිළිගන්නේම නැහැ. මට මව්පියන්, සැමියා කිසිම බාධාවක් කළේ නැහැ.

 

ඔබට මේ ක්ෂේත්‍රය තුළ මුහුණ දෙන්න වුණු අමතක නොවන සිදුවීම කුමක්ද?

මුලින්ම පෙජරෝ එකක කම්ප්‍රොසර් එක ගලවන්න තිබුණා. උස නැති නිසා අඩයක් තියලා ඒක ගලවන්න හැදුවා. එක පාරටම ලිස්සලා වාහනය ඇතුළට වැටුණා. දැන් නම් හිනා යනවා. නමුත් එදා නම් මට මේ රැකියාව ගැන කලකිරුණා. මුලින්ම මේ වැඩේ පටන් ගන්නකොට හැමෝටම සැකයක් තිබුණා. මේ ගෑනු කෙනාට මේක කරන්න පුළුවන් වෙයිද? අපේ වාහනයට මොකක් වෙයිද කියලා. දැන නම් ඒ ප්‍රශ්න නැහැ.

 

ඔබට මේ ක්ෂේත්‍රයේ පිරිමි පක්ෂය දක්වන්නේ මොනවගේ සහයෝගයක්ද?

මාත් එක්ක කිසිම පිරිමි කෙනෙක් තරහා නැහැ. ඕනෑම පිරිමි කෙනෙක්ගෙන් උදව්වක් මිසක වරදක් නම් නැහැ.

 

මේ ක්ෂේත්‍රය ජය ගත්තු රහස මොකක්ද?

පටන් අරගෙන සතියක් යනකම් කිසිම වාහනයක් ආවේ නැහැ. හැබැයි මම හිතුවේ එන එක වැඩේ හරි අවංකව කරලා ලාභයට වඩා තවත් සේවා දායකයෙක් හදාගන්නවා කියලා.

 

දැන් ඔබේ ආයතනය කොයි මට්ටමේද තියෙන්නේ?

මමත් එක්ක තවත් සේවකයෝ තුන්දෙනෙක් මගේ ආයතනයේ සේවය කරනවා. ඒ වගේම මගේ පුතා මට විශාල ශක්තියක්. දුවත් ඒ වගේමයි. සැමියාත් පුදුම කැපවීමක් කරනවා. දැන් කරගන්න බැරි තරම් වැඩ එනවා.

 

මේ ක්ෂේත්‍රය තුළ දකින ධනාත්මක පැත්ත කුමක්ද?

ඇත්තටම මේ ක්ෂේත්‍රයේ දවසින් දවස ඉගෙන ගන්න දෙයක් තියෙනවා. දවසින් දවස අලුත් වෙන වාහනවල ඉගෙන ගන්න හුඟාක් දේවල් අපට තියෙනවා. දැන් මම ළඟට ආවම හොඳටම කරයි කියලා විශ්වාස ගොඩනගාගෙන තියෙනවා.

 

ඇයි මේ ක්ෂේත්‍රයට කාන්තාවන්ගේ යොමු වීම අඩුවක් දකින්නේ ඇයි?

කාන්තාවන් සුන්දරව ලස්සනට ඉන්න කැමැතියිනේ. ඒ කියන ඒ අය මජන් ගාගන්න කැමැති නැහැ. ඒකයි කාන්තාවන්ගේ අඩුවක් තියෙන්නේ. හැබැයි මජන් ගා ගත්තත් ලස්සනට ඉන්න පුළුවන් කියලා මම ඔප්පු කරලා තියනවා. දැන් රටේ තිබෙන අර්බුද නිසා සේවාදායකන්ගේ අඩුවක් තියනවා. ඒක හරි යයි කියලා හිතනවා.

 

ඔබට අමතක නොවන සිදුවීමක් ගැනත් මතක් කරන්න පුළුවන්ද?

දවසක් මම වාහනයක් යට රිංගලා කන්ඩෙන්සර් එකක් ගලවනවා. කවුද ඇවිත් මට අයියේ... අයියේ.. කියලා කතා කරනවා. මට කකුල් දෙකක් පෙනුණා. මම එළියට ආවහම ඒ පුද්ගලයා පුදුම වුණා. ඒ සිද්ධිය කාන්තාවක් ලෙස මට තරමක් අමුතුම අත්දැකීමක් වුණා. දැන් නම් AC අක්කා කිව්වාම හැමෝම දන්නවා. phone වලටත් මගේ නමට AC අක්කා කියලා තමයි දාලා තියෙන්නේ. ඇත්තටම මේ ක්ෂේත්‍රය තුළ මට හොඳ පිළිගැනීමක් තියෙනවා. මේ ප්‍රදේශයේම අය මාව දන්නවා. ඇත්තටම මම ආරම්භයේ පටන්ම අහිංසක චරිතයක් ලෙසයි හිටියේ. නමුත් දැන් මේ තරම් ගමනක් ආපු එක මටත් පුදුමයි. කාන්තාවක් ලෙස මට අනෙක් කාන්තාවන් ලෙස ලස්සනට අඳින්න පලඳින්න බැරි වුණාට රටට ලොකු සේවයක් කරනවා කියලා සතුටක් දැනෙනවා. මගේ රට වෙනුවෙන් යමක් කරන් සුවිශේෂී කාන්තාවක් කියලා හිතෙනකොටත් මට නිහතමානී අභිමානයක් දැනෙනවා.