වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අරමුණු ඉටුකරගන්න සිතුවිලි පෙළගස්වන්න
මේ ඔබේ සිතුවිලි පෙළගැස්මයි. මඳකට නැවතී ඔබේම සිතුවිලවලට සවන් දෙන්න. එය ඔබ යා යුතු පාර පෙන්වාවි.
“මගේ සිහිනය ට පණ දෙන්න හැකියාවක් ඇත්තේ මටයි. මගේ ජීවිතය ඉදිරියට ගෙන යන පාර තීරණය කළ හැක්කේ ද මටයි. මම කවුද? ඇයි මම මේ ලෝකයට ආවේ? ඔව්. මම හිතන්න පටන් ගත්තා. කෝ මට සිහිනයක් තියෙනවද? මට අරමුණක් තියෙනවද? මම මේ ලෝකයට මොනවද කරන්න ඕනේ.
මට පුළුවන් දුකින් ඉන්න මිනිසුන්ගේ මුහුණු මතට සිනහවක් රැගෙන එන්න. කන්නට දෙයක් නැතිව හාමතේ මියැදෙන මිනිසුන් වෙත ආහාර ටිකක් ගෙන යන්න. දිය පොදක් නැති මිනිසුන්ට දිය බිඳක් ගෙන යන්න. සත්තකින්ම මට මේ දේවල් කරන්න පුළුවන්. මට අත් දෙක තියෙනවා. කකුල් දෙක තියෙනවා. හිතන්න, කල්පනා කරන්න මොළයක් තියෙනවා. මට කතා කරන්න කටක් තියෙනවා. මිනිස් ප්‍රාණියකුට තියෙන්න ඕනෙ හැම අංගයක්ම මට තියෙනවා.
මේ ලෝකේ ජය අරන් ඉන්න මිනිස්සුන්ට තියෙන්නෙත් මට තියෙන දේවල්මයි. ආ මට අමතක වුණා. බලන්න, ලෝකය දිනලා තියෙන, මුළු ලෝකයේම අවධානය තමා වෙත ඇදගත්ත සමහර මිනිසුන්ට අත් නැහැ. කකුල් නැහැ. ඒ වුණාට ඒ අය අද මටත් වඩා ඉදිරියෙන් ඉන්නේ. ඒ අය ජීවිතය සාර්ථක කරගෙන ඉන්නේ. දෙපා නැති ෙජිසිකා කොක්ස්ට ගුවන් යානයක් පදවන්න පුළුවන් වුණා නම් හැම අවයවයක්ම තියෙන මට මෝටර් රථයක් පදවන්න බැරි ඇයි. අත් හා කකුල් නැති නික් විවුජිස් ජීවිතේ ඇද වැටුණු මිනිසුන්ට සාර්ථක වෙන්න දේශන තිය තියා ලෝකය වටේ යද්දි ඇයි මට බැරි පිරිසක් ඉදිරියේ කතාවක් කරන්න. ඇත්තටම ඇයි මට බැරි ඒ වගේ සාර්ථක වෙන්න.
ඔව්, මට පුළුවන්. මම දවසක දිනනවා. මගේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ කා ළඟවත් නෙමෙයි. මම ළඟමයි. මමයි මගේ සර්ථකත්වයේ නියමුවා. අද මගෙන් කාටවත් වැඩක් නැති වෙන්න පුළුවන්. ඒත් මගෙන් මට වැඩක් තියෙනවා. අද මාව කවුරුත් ගණන් නො ගත්තාට දවසක හැමෝටම මාව උවමනා වේවි. ඒ දවස හෙට නැත්නම් අනාගතයේ කවදා හරි දවසක උදාවෙනවා. ඒත් මම මේ ඉන්න විදිහටම හිටියොත් නම් මගේ සිහිනයට පණ දෙන්න බැහැ. ඒ වගේම කවදාවත් මගෙන් කාටවත්ම වැඩක් නැති වේවි. සත්තකින්ම මම ජීවිතය සාර්ථක කරගන්න අද සිටම උනන්දුවෙන්, කැපවීමෙන් කටයුතු කරනවා.”
ඔබත් එලෙස සිතා ඔබේ සිහිනයට, අරමුණට පණ දෙන්න අදිටන් කරගන්න. පළමුව ඔබ සාර්ථක වෙන්න. පසුව අන් අයටත් සරණක් වන්න.
ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්. ඒ. ඒ පෙරේරා ශාලාවේ, ආර්. ඒ. ඒ පෙරේරා මහාචාර්යතුමා සඳහන් කර ඇති කියමනක් මෙලෙස සඳහන්ව තිබුණා.
“ඔබ මෙහි ආවේ කුමකට ද?
ආවකු විලස යන්න ද?
නො ආවකු විලස යන්න ද?
යනතෙක් රැඳෙන්න ද?
නො රැඳී රැඳී ඉන්න ද?”
මේ විශ්වවිද්‍යාලයට එන ශිෂ්‍යයන්ගෙන් එතුමා නැඟූ පැනයක්. මෙය හොඳින් කියවා බැලූ විට මෙහි ගැඹුරු අර්ථයක් රැඳිලා තියෙනවා. ඇත්තටම ඔබ විශ්වවිද්‍යාලයට ආවේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරක් එතැනින්ම හොයාගන්න පුළුවන්. මෙය විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් නොව මේ ලෝකයට ආව හැමෝටම වැදගත් පැනයක්. හැමෝම අවබෝධ කරගත යුතු හැමෝම සිතිය යුතු දෙයක් කියලයි මට හිතෙන්නේ. අධ්‍යාපනය සඳහා පාසලට, රැකියාවක් පිණිස යම් ආයතනයකට යන කාටත් තමන් එහි ආවේ ඇයි කියන කාරණය අවබෝධ විය යුතුයි. ඒ නිසා ඔබ මේ ලෝකයට ආවේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරක් හොයාගෙන ජීවිතය සාර්ථක කරගන්න මාවතට යොමුවන්න.
ඉතින් එහෙම නම් මේ ජීවීතේ ඔබට අවශ්‍ය කුමක්ද? ඒ ඕනෑම දෙයක් ඉටුකරගන්න ඔබේ ජීවිතයට එකතුකර ගත යුතු කරුණු කිහිපයක් මෙලෙස පෙළගස්වන්නම්. මෙම කරුණු ව්‍යාපාරයක් දියුණු කරගන්න වගේම ඔබේ පෞද්ගලික ජීවිතය සාර්ථක කරගන්නත් එකසේ ප්‍රයෝජනවත් වේවි.
අභිප්‍රේරණයට නොව කැපවීමට අවධානය යොමුකරන්න
ඔබ, ඔබේ අරමුණ ඉටුකරගන්න කැපවෙන්නේ කොහොමද? ඒක ඔබට බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔබ කැපකරන්න කැමැති මොනවද? ඔබේ අරමුණ ඉටුකරගන්න ඔබ සම්පූර්ණයෙන් කැපවී හිඳිනවා නම් පෙලඹිමක් ඔබ වෙත නිරන්තරයෙන් ගලාගෙන එනවා. එසේ කැපවෙන්නේ නැතිව පෙලඹීමක් ඇතිවෙනකම් බලාගෙන හිටියොත් සාර්ථකත්වය තවදුරටත් ප්‍රමාද වේවි. අභිප්‍රේරණය කියලා කියන්නේ අපි යම් දෙයකින් තෘප්තිමත් වීමයි. ඒකට දිරිගැන්වීම කියලත් කියන්න පුළුවන්.
2018/12/19 තරුණි පුවත්පත බලන්න