සැමියා ඔහුගේ මවගේ ආදරණීය සුරතලා ද? ළමා වැඩිහිටියෙක් ද?

අගෝස්තු 21, 2019

මවට ආදරය කරන පුතකු බිරියට ද ආදරය කරන්නකු බවට පත්වන බව රහසක් නොවේ. මෙ නිසාම බොහෝ තරුණියන් සෙනෙහසෙන් බැඳීමට කැමැති එවන් තරුණයකු සමඟයි. එහෙත් මේ විශ්වාසය යුගදිවිය නීරස කිරීමට හේතු වන අවස්ථාවලට උදාහරණ ඕනෑ තරම්ය.

විවාහයට පෙර සැමියාගේ ලෝකයේ අංක එකේ කාන්තාව මව වුවත් විවාහයෙන් පසු එය එසේ වනවාට බොහෝ බිරියන් කැමැති නැත. මවට ඇළුම් කරන පුතකු සමඟ විවාහ වීම ගැන එවිට පසුතැවිලි වීමට ද ඉඩ තිිබේ. එසේ වන්නේ අම්මලාගේ පුතුන්ගේ ගති ලක්ෂණ නිසයි.

සෑම දෛනික කටයුත්තකදීම මෙවැනි සැමියන් පළමුව උපදෙස් ලබා ගන්නේ, අවසර ලබා ගන්නේ මවගෙනි. මව නොමැතිව කිසිවක් ගැන තීරණයක් ගත නොහැකිය.

රාජකාරියෙන් ලද වැටුප පවා දෙන්නේ මවගේ අතටය. සෑම ගමනකට බිමනකටම පුතු නැතිව මවට යා නොහැකිය. සැම විටම බිරියට, දරුවන්ට වඩා ප්‍රමුඛතාව ලබා දෙන්නේ මවටය.

තම සැමියාත් මවගේ සුරතලකු නම්, මව ඔහුගේ ජීවිතයේ අංක එක නම් බොහෝ බිරින්දෑවරුන් කරන්නේ සැමියාගේ මව හෙවත් නැන්දණිය සමඟ උරණ වීමය. මෙය බිරියක යුග දිවියට කර ගන්නා විශාල වරදකි.

නුවණැති බිරියන් ක්‍රම ක්‍රමයෙන් සැමියාගේ සිත තමන් වෙත ආකර්ෂණය කර ගනී. මෙය උපක්‍රමශීලීව කළ යුතුය. තමන්ගේ විමෝදාංශවලට, මිතුරු මිතුරියන්ගේ කටයුතුවලට සැමියා ද සහභාගී කරවා ගන්න.

ඔහුගේ අවධානය බාහිර සමාජ සබඳතාවලට යොමු කිරීම මව වෙත පමණක් යොමු වූ අවධානය වෙනත් පුද්ගලයන් කෙරෙහි යොමු කිරීමේදී වැදගත් වෙයි.

නැන්දණියට විරෝධතා පෑමෙන් සිදු වන්නේ සැමියාගේ සිත රිදවීම සහ සැමියා වශයෙන් ඔහුගේ භූමිකාව පහත් කර සිතනවා යන හැඟීම ඇති කිරීම පමණි.

මව ඉදිරියේදී ඔහු පුතු වූවාට තමන් ඉදිරියේදී සැමියා ලෙසින් හැසිරිය යුතු බව වටහා දෙන්න.

බිරියගේ වගකීම් කරට ගෙන ක්‍රියා කළ හැකි සැමියකු වීමේ වැදගත්කම පෙන්වා දෙන්න.

2019/08/21 තරුණි බලන්න