වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
රටම කැළඹූ වායු දූෂණය දැන් පහව ගිහින් එහෙත් අවදානම දිගටම
නිදහසේ හුස්ම ගැනීමේ වරම අහිමි වීම ජීවත් වීමේ අයිතිය නැතිවීම හා සමානයි. වායු දූෂණය විසින් අපට හුස්ම ගැනීමේ වරම අහිමි කරමින් පවතී.
අන් කිසිවක් නොව මිනිසාගේ ක්‍රියාකාරකම් මීට ප්‍රධාන වශයෙන්ම හේතුවී තිබේ. කර්මාන්ත ශාලාවලින් වාහනවලින් පිට වන දුම, කැළෑ ගිනි තැබීම්, දුම්පානය, පොලිතින් – කොළ රොඩු පිලිස්සීම, මදුරු දඟර දැල්වීම, හඳුන් කූරු පත්තු කිරීම, දර ලිප් ආදී විවිධ හේතූන් නිසා සොබා දමින් ලැබුණු සුපිරිසුදු වාතය කිළිටි වෙමින් පවතී.
මීට කලකට පෙර ශ්‍රී ලාංකිකයෝ මහනුවර නගරයේ වායු දූෂණය ගැන කතා කළහ. අලුතින්ම කතා බහට ලක් වෙමින් පවතින්නේ කොළඹ වායු දූෂණයයි. පසුගිය නොවැම්බර් 05 සහ 06 වැනි දා ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල පැවැති වායු දූෂණ තත්ත්වය නොවැම්බර් 13 වැනි දින දක්වා පැවැත්විණි. තද මීදුමක් හා සමාන මේ වායු දූෂණ තත්ත්වය චීනය, ඉන්දියාව, පකිස්ථානය හා මැද පෙරදිග රටවල නිරන්තරයෙන් දක්නට ලැබෙන තත්ත්වයකි. ශ්‍රී ලංකාව ආශි‍්‍රත තත්ත්වයට හේතුව නවදිල්ලි නුවර දිගින් දිගටම පවතින වායු දූෂණ තත්ත්වය යැයි කතාවක් පැතිරුණ ද පරිසර අමාත්‍යංශයේ නිලධාරීන්ට අනුව එහි සත්‍යතාවක් නොමැතිය.
සෑම වසරකම මෝසම් සුළංවල බලපෑම නිසා වසරේ අනෙක් මාසවලට වඩා නොවැම්බර්, දෙසැම්බර් මාසවල වායු ගෝලීය දූෂණය වැඩිපුර දැකිය හැකිය. වැඩිපුරම වායු දූෂණ තත්ත්වය දක්නට ලැබෙන්නේ කොළඹ, මහනුවර හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක ආශි‍්‍රතවය. වායු දූෂණයෙන් වාර්ෂිකව දකුණු ආසියාතිකයන් මිලියන 3.8 ක් පමණ මරුමුවට පත්වෙති.
සංවර්ධිත රටවලට වඩා සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව මරු දකිති. අමෙරිකාවේ වාර්ෂික මරණ ලක්ෂයකටම වගකිව යුත්තේ වායු දූෂණයයි. වායු දූෂණය හෘද රෝග, ආඝාතය, දියවැඩියාව, පෙණහලු පිළිකා, ශ්වසන රෝග ඇතුළු බොහෝ තත්ත්වයන්ට මඟ පාදයි.
මීට අමතරව උගුරේ ඇස්වල අපහසුතාවක් ඇතිවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වාර්ෂිකව ලෝක ජනගහනයෙන් මිලියන 4.6 ක් වායු දූෂණයෙන් මරුමුවට පත්වෙති. එයින් මරණ සියයට අනූවක්ම සිදුවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලය. අග්නි දිග ආසියාවේ අට ලක්ෂයකට ආසන්න මරණ සංඛ්‍යාවකට වගකිව යුත්තේ වායු දූෂණයයි. දූෂිත වායුව ශ්්වසන පද්ධතිය, හෘද වස්තුව හා මොළයට ඉතා හානිකර ලෙස බලපායි.
දිගු කාලයක් අපිරිසුදු වාතයට නිරාවරණය වීම දිනකට දුම් වැටි පැකැට්ටු ගණනාවක් පානය කිරීමට සමානය. අපිරිසුදු වාතයේ සෞඛ්‍යයට හානි කරන රසායන ගණනාවක් අඩංගුªය. ඕසෝන්, නයිට්රජන් ඔක්සයිඩ්, සල්ෆර් යන ඩයොක්සයිඩ් ඒ අතරින් ප්‍රධාන වෙයි. වායු දූෂකවලට වැඩිපුර ලක්වන්නේ අධික හිරු එළියක් පවතින විටය. ඕසෝන් ස්ථරයට නිරාවරණය වීම නිසා මිනිසා හුස්ම ගැනීමේ ගැටලු, ඇදුම මාරාන්තික වීම, පෙණහලු ආසාදන, දිගු කාලීන පුප්ඵුශීය අවහිරතාවන් නිසා ඇතිවන රෝග තත්ත්වය ( සීඕපීඩී ) රැසකට ගොදුරු විය හැකිය.
සල්ෆර් ඩයොක්සයිඩ්වලට නිරාවරණය වීමෙන් සමේ විවිධ අපහසුතා, ඇස්, නාසය, පෙණහලු, උගුර වැනි ස්ථානවල අපහසුතා ඇතිවීම, ඇදුම රෝගය උග්‍ර වීම, හෘදයාබාධ ඇති අයට හෘදයාබාධ හට ගැනීම සුලබය.
නයිට්රජන් ඔක්සයිඩ් නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආඝාතය, සීඕපීඩී සහ ඇදුම රෝග උත්සන්න විය හැකියි.
ගෘහණියක වශයෙන් අපට අප හුස්ම ගන්නා වාතය පිරිසුදු කිරීමේ සද්කාර්යයේදී වැඩි වගකීමක් පැවරී ඇත. පොලිතීන් කුණු රොඩු පිලිස්සීමෙන් වැළකී සිටීම, දර උදුන් භාවිත නොකිරීම, කෘත්‍රිම සුවඳ කාරක භාවිත නොකිරීම, පරිසර හිතකාමී ආලේපන ගැල්වීම ආදී බොහෝ කර්තව්‍යයන් ඇයට පැවරී තිබේ.
උපදෙස්
වෛද්‍ය තිලක් සිරිවර්ධන
වෛද්‍ය ඉනෝකා සුරවීර
2019/11/20 තරුණි බලන්න