අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරුණී හද පිරි සුබ පැතුම්

දෙසැම්බර් 11, 2019

ලොවක් දිනන්නට එක්වරම පියවර තැබිය නොහැකිය. එහෙත් අසීරුවෙන් හෝ අප එක් පියවරක් තැබූ පසු පියවරෙන් පියවර ඉහළටම පියමං කරමින් ජයග්‍රහණය කරා ළඟාවීමට අවස්ථාව හිමි වෙයි.

ක්‍රීඩාවේ ජයග්‍රහණ හිමිකර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගමනද එවැනිය. පාසල් දිවියෙන් ක්‍රීඩාවට පිවිසි සුසන්තිකාලා, සුගත්ලා, දමයන්ති දර්ශලා ක්‍රීඩාවේ ඉහළටම ගමන් කළේ එලෙසිනි. පරාජය හමුවේ නොසැලී ඉදිරියට යෑම ක්‍රීඩාවේ ජයග්‍රහණයයි.

එහෙත් පසුගිය කාලය පුරාම අපේ ක්‍රීඩා පිටිය තරමක් අඳුරුය. විවිධ වු ගැටලු මත ක්‍රිකට් ක්‍රීඩාවත්, මලල ක්‍රීඩාවත් තරමක පසුබැසීමට ලක් වූ බව නොරහසකි. මේ පසුබැසීම හා කඩා වැටීම ගැන කතා කිරීමට කාලය නොවෙයි. උදාවී ඇත්තේ මලල ක්‍රීඩාවේ වසන්තයයි. අපට නැවතත් ඔලිම්පික් පදක්කමක් ගැන බලාපොරොත්තු දල්වන ක්‍රීඩා උත්සවයක් ආරම්භ වී දින කිහිපයකි. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ බාධක ගැටලු මැදින් නැවතත් දිග ගමනකට මුල පුරා තිබේ. දහසක් වූ බාධක හා හිරිහැර මැදින් හමා එන්නේ එම බලාපොරොත්තුවේ පළමු නැවුම් සුළං රොදයි. ඒ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ උණුසුමයි. දෙසැම්බර් 01 දා නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ වූ මෙම ක්‍රීඩා උළෙලේ දී අපේ රටේ සිංහ කොඩිය ඉහළට ඔසවා තබමින් ශ්‍රී ලාංකිය අභිමානය මුළු දකුණු ආසියාවට පෙන්වන අපේ කොල්ලන් හා කෙල්ලන් දක්වන දස්කම් තුළින් අපට කියන්නේ මලල ක්‍රීඩාවේ අපගේ අනාගත අපේක්ෂාවයි.

නිලානි රත්නායක - මීටර් 1500 රන් පදක්කම

මෙම තරගාවලියේ අප රටට මුල්ම රන් පදක්කම හිමිකර දුන් නිලානි රත්නායක සුවිශේෂිතය. මීටර් 1500 තරග ඉසව්ව නියෝජනය කළ ඇය එම තරගයේ රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 04 තත්පර 34.34 තරගය නිමා කරමිනි. මෙම තරගයේ දෙවැනි ස්ථානය දිනූ ඉන්දියානු ක්‍රීඩිකාව චන්ද්‍රා පටල් එම තරගය නිමා කරන්නේ විනාඩි 04 තත්පර 34.51 ක කාලයකිනි. නිලානිගේ මෙම ජයග්‍රහණයේ සුවිශේෂිත්වය වන්නේ ඇය මෙවර තරගය සඳහා නිර්දේශ වන්නේ ආදේශක ක්‍රීඩිකාවක් ලෙස වීමයි. හදිසි අනතුරකින් තුවාල ලැබූ නිමානි ලියනාරච්චි වෙනුවෙන් දින කිහිපයකට පෙර නිර්දේශ වූ නිලානි තමාට හිමි වු අහඹු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගැනීම විශාල සතුටකි. කෙසේ වුවත් ඇය මෙයට පෙර පැවති සාෆ් තරගාවලියේ දී ද මීටර් 1500 තරගයෙන් ලෝකඩ පදක්කම විනාඩි 04 තත්පර 26.70 කින් නිම කළ ක්‍රීඩිකාව වීමද තවත් වැදගත් සිදුවීමකි.

මීටර් 1500 තරගය සඳහා මෙවර ඇය ඉදිරිපත් වුවත් මෙවර තරගාවලියේ නිල වශයෙන් නිලානි නිර්දේශ වී සිටින්නේ මිටර් 5000 ක්‍රීඩා ඉසව්වට පමණකි. තම ක්‍රීඩා දිවියේ මුහුණු දුන් සොඳුරුතම අත්දැකීම එය බව ඇය මෙම ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත පවසා ඇත්තේ මහත් සතුටිනි. මෙවර සාෆ් ක්‍රීඩා තරගයෙන් ඉවත් වු නිමානි ලියනාරච්චි ක්‍රීඩිකාව පසුගිය සාෆ් තරගාවලියේදී මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගත් ක්‍රීඩිකාව වූයේ අනාගතය ගැන බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවක ලෙසිනි.

ශ්‍රී ලංකාව රන් පදක්කම් අපේක්ෂා කළ මලල ක්‍රීඩා ඉසව් කිහිපයකදීම එම අපේක්ෂා ඉටුකර ගැනීමට නොහැකි අවස්ථාවක ආදේශක ක්‍රීඩකාවක් ලෙසින් නිලානි රත්නායක දැක්වූ දස්කම් පිළිබද සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වයි. ඒ. කුලරත්න මහතාගේ අගය කිරීමටද ලක්වී තිබේ.

අමාෂා ද සිල්වා

මෙම ක්‍රීඩා උළෙලේදී අපට හිමි විය යුතුම පදක්කමක් අහිමි වී යන්නේ ඉතාමත් කනගාටුදායක ලෙසිනි. ඒ මීටර් 100 කාන්තා තරගයයි. දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස ඉන්දියාවේ අචර්නනා සුනෙත්මි (තත්. 11.80) දිනා ගන්නා විට එහි රිදී හා ලෝකඩ පදක්කමින් අපට සෑහීමට සිදුවන්නේ අවාසනාවන්ත ලෙසිනි. එහිදී අපගේ ක්‍රීඩිකා අමාෂා ද සිල්වා රිදී පදක්කමද (තත්. 11.82), ලක්ෂිකා සුගන්දිකා (තත්. 11.84) ලෝකඩ පදක්කම ද හිමි කරගත්තාය.

එසේම දුර පැනීමේ ඉසව්වෙන් අපට හිමි වන්නේ රිදී පදක්කමයි. මීටර් 1.69 ක් උසක් වාර්තා කරමින් දුලාංජලී කුමාරිට හිමි වූයේ රිදී පදක්කමයි. මෙසේ ඇයට රන් පදක්කම අහිමිවීමට දේශගුණය බලපෑ බව සඳහන් කළේ මහත් කනගාටුවෙනි. තවද මීටර් 10000 ඉසව්වෙන්ද අපේ ක්‍රීඩිකාවකට ලෝකඩ පදක්කම හිමි විය. මෙම පදක්කම දිනූ ඇය නිලන්ති ලංකා ආරියදාස ක්‍රීඩිකාවයි. විනාඩි 35 තත්. 59.02 තරගය නිමකරමින් ඇය මෙම පදක්කමට හිමිකම් කීවාය.

එරංගි දුලක්ෂිට රන් පදක්කමක්

මෙම තරගාවලියේදී තවත් රන් පදක්කමක උරුමකම් කීමට හැකි වුයේ කාන්තා ද්වි ප්‍රයාම ඉසව්වයි. එරංගි දුලක්ෂි ක්‍රීඩිකාව මෙම ද්වි ප්‍රයාම ඉසව්වෙන් ජයග්‍රහණයක් වාර්තා කළේ පැය 1.05.58 ක කාලයකිනි.

දිල්ෂි කුමාරසිංහ රට ඉහළට ඔසවා තබයි

මෙම තරගාවලියේදී අප රට ඉහළටම ඔසවා තැබූ ක්‍රීඩිකාව වුණේ දිල්ෂි කුමාරසිංහයි. ඇය මිටර් 400 තරග ඉසව්වේ ආදිපත්‍ය පැතිරවූයේ තත්පර 53.40 කාලයක් වර්තා කරමිනි. දිල්ෂිගේ ජයග්‍රහණය ද අනපේක්ෂිත එකකි. මේ තරගාවලියේදී මිටර් 800 හා 400 සහාය ඉසව්ව සදහා ඉදිරිපත්වීටම සිට දිල්ෂි අනපේක්ෂිත ලෙස මීටර් 400 ඉසව්වට කැඳවීමක් ලැබෙන්නේ මේ සඳහා නිර්දේශිත නදීෂා රාමනායක ඩෙංගු රෝගය හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමේ පුරප්පාඩුව පිරවීමටය.

අනපේක්ෂිත ලෙස හිමි වූ මේ අවස්ථාවෙන් තම උපරිම දක්ෂතා දැක්වූ ඇය ජයග්‍රහණය ගැන සඳහන් කළේ මේ ජයග්‍රහණය වාසනාවට හිමි වූ ජයක් ලෙසිනි.

එසේම මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වෙන්ද අපට හිමිවූයේ රන් පදක්කමකි. සුගන්දී ලක්ෂිකා දිනාගත් රන්පදක්කම ද අප රටට අභිමානයකි. තවත් රන් පදක්කමක් දිනා ගනිමින් සාෆ් තරගාවලියේ සුවිශේෂි ජයක් ලබන්නේ හෂිනි ප්‍රබෝධා ක්‍රීඩිකාවයි. තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ ඇය මෙම තරගය නිමා කළේ මීටර් 13.21 ක දක්ෂතාවයක් දක්වමිනි. එම ඉසව්වට එක් වූ විදුසි ලක්ෂානිට රිදී පදක්කම හිමි වූයේ මිටර් 13.14 ක වාර්තාවකිනි.

එසේම මෙම තරගාවලියේදී මීටර් 100 සහාය දිවීමේ කාන්තා තරගයෙන් අපට හිමි වූයේ රිදී පදක්කමයි.

මේ තරගාවලියේදී තවත් රන් පදක්කමක් හිමි වන්නේ වූෂු කාන්තා තරගයෙනි. කාන්තා ටයිජිජියන් තරගයට එක් වූ එම්. එල්. ටී. ඩී. එස්. ගුණසේකර එය දිනාගැනීමට සමත් විය.

මේ සටහන තබන සිකුරා දිනය වන විට අපගේ ක්‍රීඩිකාවන් තැබූ සුවිශේෂි වාර්තා කිහිපයක් ඔබට සටහන් කළේ ඔවුන් දක්වන දක්ෂතා අගය කරමින් දිරිය ශක්තිය ලබාදීමේ අපේක්ෂාවෙනි. තවත් තරගකාරියන් ඉදිරි දින කිහිපය පුරා පැවැත්වෙන අතර එම තරග ජය ලබන්නට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තිය හා ධෛර්යය හා වාසනාව ලැබේවායි තරුණී ප්‍රාර්ථනය කරමු.