වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
විශිෂ්ට සෞඛ්‍ය වාර්තාකරණයට අපේ චම්පිකාට සම්මාන
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක් වී 2019 වසර පුරා නීරෝගි පරපුරක් බිහි කිරීමේ අරමුණින් විශේෂාංග ලිපි මඟින් සෞඛ්‍ය ක්ෂේත්රයට කළ මෙහෙයට සම්මාන පිරිනැමීමේ උලෙළක් දෙසැම්බර් 17 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී තරුණී පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ චම්පිකා දීපානි රණසිංහට ද විශේෂාංග වාර්තාකරණය සඳහා විශිෂ්ට කුසලතා සම්මානයක් සහ කුසලානයක් හිමි විය. මේ ඇය තරුණී පුවත්පත නියෝජනය කරමින් ලබාගත් දස වැනි සම්මානයයි. මීට පෙර ඇය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මඟින් වාර්ෂිකව පවත්වන හොඳම සෞඛ්‍ය වාර්තාකරණ සම්මානය තෙවරක් දිනා ගත්තාය. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙන් පැවැත් වූ මුද්‍රිත මාධ්‍යයේ ප්‍රජනන සෞඛ්‍ය වාර්තාකරණයෙහි ප්‍රථම ස්ථානය දෙවරක් ද, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සහ යුනිසෙෆ් ආයතනයෙන් පැවැත් වූ පෝෂණ වාර්තාකරණ තරගයෙන් දෙවැනි ස්ථානය ද, ආපදා කළමනාකරණ වාර්තාකරණයට විශිෂ්ට සම්මානයක් ද දිනා ගත්තාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් පැවැත් වූ සම්මාන උලෙළේදී දිනමිණ කර්තෘ මණ්ඩලයේ සන්ධ්‍යා කරුණාරත්න සෞඛ්‍ය පුවත් වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටතම කාර්යසාධන සම්මානය සහ කුසලතා සම්මානයක් හිමි කරගත් අතර ආරෝග්‍යා පුවත්පතේ හිටපු කර්තෘ දීප්ති ෆොන්සේකා, ඩේලිනිවස් පුවත්පතේ නදීරා ගුණතිලක සෞඛ්‍ය විශේෂාංග වාර්තාකරණය සඳහා සම්මාන සහ කුසලාන දිනා ගත්හ. දිනමිණ කර්තෘ මණ්ඩලයේ සාගරිකා දිසානායක ද තරුණී පුවත්පත වෙනුවෙන් සම්පාදනය කළ සෞඛ්‍ය විශේෂංග වාර්තාකරණය වෙනුවෙන් සම්මානයක් හා කුසලානයක් දිනා ගැනීම ද විශේෂය. සිළුමිණ කර්තෘ මණ්ඩලයේ හර්ෂා සුගතදාස සහ රාජ්‍ය සබඳතා දෙපාර්තමේන්තුවේ වින්ධ්‍යා පාදුක්කගේ ද සම්මාන සහතික හිමි කර ගත්හ.
සටහන - දුමින්ද
ඡායා - සමන් ශ්‍රී වෙදගේ
ගයාන් පුෂ්පික