වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හිත රිදවා ගන්නේ ඇයි?
නව වසර පිළිගන්නට විවිධ අයුරින් කටයුතු කළ අපි එම වසර පුරාවට කටයුතු කළ යුත්තේ කෙසේදැයි සැලසුමක් සකසා ගත යුතුයි. එම සැලැස්ම සකසා ගැනීමට ඔබ විසින් අදාළ කරගත යුතු දේ මොනවාදැයි අපි පසුගිය සතියේ ලිපිය මඟින් පැහැදිලි කළෙමු.
සමාජයක ජීවත් වීමේදී අපට බොහෝ පුද්ගලයන් ඇසුරු කිරීමට සිදු වේ. කැමැති වුවත් අකැමැති වුවත් එම පුද්ගලයන් හා ගනුදෙනු කිරීම, කතා බහ කිරීම ආදිය සිදු කළ යුතුය. එහෙත් ඇතැම් පුද්ගලයන්ට සමාජ සම්බන්ධතා මනාව පවත්වාගෙන යාමට නොහැකි ය. ඇතැම් පුද්ගලයන් ඇසුරු කිරීමට බොහෝ අය අකැමැති ය. එසේ වන්නේ එම පුද්ගලයන්ට සමාජයේ වෙසෙන අය හා ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳ නිසි වැටහීමක් නොමැති නිසයි.
මේ නිසා ඇතැම් පුද්ගලයන් සිදු කරන දේවල් හේතුවෙන් අපගේ සිත් රිදෙන අතර ඇතැම් විට අප විසින් නොහිතා සිදු කරන දේ නිසා අනෙක් අයගේ සිත් රිදීම් වීමට ඉඩ ඇත. අප සමාජයක ජීවත් වීමේ දී කිසිවකුගේ සිත් රිදීමක් නොකොට ජීවත් වීමට උත්සාහ කිරීම ඔබේ සාර්ථකත්වයට හේතුවන අතර ම එය ඔබට ජීවිතයට ආශීර්වාදයක් ද වේ.
හිත රිදෙන ආකාරය ගැන තේරුම් ගන්න නම් අප කෙනෙක් සමඟ සබඳතාවක් ඇතිකර ගන්න ආකාරය ගැන තේරුම් ගැනීම වැදගත්. බස් එකේ යන විට කෙනෙක් සමඟ හිතවත්කමක් ඇතිකර ගන්නේ බෑගය ඉල්ලාගෙන, ආසනය ලබා දීමෙන්, සිනහවක් පෑමෙන්, යම් අදහසක් හුවමාරු කරගැනීමෙන් වැනි ඉතා කුඩා දෙයකිනි.
එහෙත් අප සිදු කරන දේ ඒ කියන දෙයම නොවී එය කරන කියන ආකාරය අනුවත්, එම වේලාව අනුවත් ධ්වනිත කරන්නේ විවිධ තේරුම් ය. උදාහරණයක් ලෙස, තේ එකක් පිළිගැන්වීම ගැන සිතන්න. ක්‍රියාව එකම වුවත් ආදරයෙන් තේ එක දීමේදීත්, තරහෙන් එය දීමේදීත්, නොදී බැරිකමට තේ එකක් දීමේදීත් ඇති වෙනස්කම් ගැන සිතා බලන්න. 'එපා වාහෙට හොදි බෙදනවා වාගෙයි..' ලෙසින් ජනවහරට වැකියක් එක් වී ඇත්තේ ද මේ හේතුව නිසයි.
අප දිනපතා සුබපතන ආකාරය ගැන ද මඳක් සිතන්න. එය අවංකවම කරන සුබපැතීමක් ද පුරුද්දට පවසන්නක්ද නොකියා බැරිකමට කියන්නක්ද යන්න ඔබටම තීරණය කළ හැකියි. එය අනෙක් පුද්ගලයන්ට ද තේරුම් යයි.
එමෙන්ම 'ආ.. දැන්ද ආවේ..?' යන වැකිය කියන වේලාව, ස්වරය ආදිය අනුව ගම්‍ය වන අදහස ද වෙනස් වේ.
මේ කියුම් කෙරුම්වල ඇති විවිධාකාර බව නිසා අපේ හිත්වල අනෙක් පුද්ගලයා ගැන 'මෙයා මේ වගේ අයෙක්' යැයි යම් කිසි අදහසක්, මැනීමක් (මිනුමක්) ඇති වේ. අප කිසිවක් නොසිතා ම මේ මිනුම සිතේ පවතින හෙයින් සමාජයේ දී අනෙක් පුද්ගලයන් හා විවිධ සබඳතා ඇතිකර ගනී. ඇතැම් විට උදව්වක් ඉල්ලන්නට නාඳුනන පිරිසක් අතරින් අප තෝරා ගන්නේ පෙනුමෙන් උදවුවක් කරාවි යැයි සිතන අයෙකි.
අප දන්නා අය අතරින් 'එයා මේ වගේ කෙනෙක්..' යැයි කිසියම් අදහසක් ඔබේ හිත තුළ නැති අයෙක් සිටිනවාදැයි මඳක් සිතා බලන්න. අපට පුද්ගලයෙක් ගැන එවන් මතයක් ඇතිකර නොගෙන සබඳතාවක් ගොඩනගාගන්නට නොහැකිය. තරහ, අමනාපය, නොරිස්සීම වුවද ඇති වන්නේ මෙම 'මිනුම' නැතිනම් මතය නිසයි.
මේ උපකල්පනය නිසාම අප බලාපොරොත්තු වෙන්නේ එම තැනැත්තා අපේ සිතේ ඇති මිනුම අනුව කටයුතු කරන බවටයි. එහෙත් මතක තබා ගත යුත්තේ මේ බලාපොරොත්තුව තමාගේ හිතේ ඇතිකර ගත් නිර්මාණයක් වන බවයි. ඇතැම් විට එම බලාපොරොත්තුව අනෙක් තැනැත්තා නොදන්නවා විය හැකියි. මෙය කොතරම් මුලා කරන සුලුදැයි කිවහොත් සමහර විට ඔබ යම් කෙනෙක් ගැන හිතන අකාරයට ම ඒ තැනැත්තාත් ඔබ ගැන සිතනවා ඇතැයි ඔබ සිතන්නට පෙලඹෙනු ඇත. එය සිතේ ස්වභාවය යි.
යම් මොහොතක අනෙක් තැනැත්තාගේ කියුම් කෙරුම් ඔබගේ සිතේ ඇති කරගත් රාමුවට නැතිනම් ආකෘතියට අනුව යමක් සිදු නොවුණහොත් ඔබගේ සිතේ ඇති වන්නේ කුමනාකාරයේ හැඟීමක්ද? ඔබ විසින් ඉදිකරගන්නා ලද සුන්දර චිත්‍රය, නැතිනම් සුන්දර නිර්මාණය ඔබ ඉදිරිපිට ම විනාශ වී යාමයි. මෙම තත්ත්වය ඔබ බලාපොරොත්තු වූවක් නොවේ. එවිට ඔබගේ සිතට දැනෙන හැඟීම වේදනාවකි. මෙය හිත් රිදුමක් ලෙස අප හඳුන්වයි.
සත්‍යවශයෙන් ම මෙය, පවතින තත්ත්වය සමඟ සිතේ ඇතිවන ගැටීමකි. සිත රිදීමත් කෝපයේ ම සියුම් අවස්ථාවකි. මේ හිත රිදීම බාහිර පුද්ගලයන් නිසා පමණක් නොව, බාහිර වස්තූන් නිසාද ඇති විය හැකියි. ඔබ ආසාවෙන් රැකබලා ගන්නා දෙයක් නැතිවුණු විට හෝ විනාශ වූ විට සිතෙට දැනෙන්නේ ද මේ හැඟීමයි. එමෙන්ම ඔබ බලාපොරොත්තු නොවුණ ලෙස ඔබගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම, ඔබට අවශ්‍ය ලෙස ඔබගේ අඟපසඟ නොපිහිටීම ආදී මේ හැම දෙයකම කෙළවර තිබෙන්නේ බලාපොරොත්තු වුණ ලෙසට කටයුතු සිදු නොවීමෙන් සිත තුළ ඇතිවන ගැටුම්කාරී ස්වභාවය යි.
මේ ගැටුම්කාරී තත්ත්වය මුහුණට නොරිස්සුමක් එක්කරන, කඳුළු එන තත්ත්වයෙන් ආරම්භ වී ගහන, බණින තත්ත්වයටත් තවත් අයකුගේ මරණය නැතිනම් දිවි නසා ගන්නා තත්ත්වයක් දක්වා ම වර්ධනය විය හැකිය. ඇතැම්විට කාලයක් තුළ ගොඩනැගුණු, නිමේෂයකින් ගොඩනැගුණු තත්ත්වයක් නිසා ද විය හැකිය. මෙහිදී තේරුම් ගත යුතු වැදගත් ම කරුණ වන්නේ හිත රිදීමේ මූලික හේතුව ඇත්තේ අනෙක් තැනැත්තා වෙත නොව, තමන් වෙත බවයි.
ඔබ ඉතා පැහැදීමකින් සිටින අයෙක් ගැන නරක ආරංචියක් ලැබුණු විට ඔබට දැැනෙන්නේ කුමක්ද? තමා මහත් රැවටීමකට ලක්වුණු බව නේද? මෙලෙස රැවටීමකට ලක් වීමට ඔබ තුළ ඇති අකැමැත්ත නිසාම හිත තුළ පෙර කියූ ගැටුම් සහගත තත්ත්වය ඇතිවන අතර මෙම ගැටුම ඇතිවන විට එහි ඇති තීව්රභාවය හා ඔබගේ සංවේදීභාවය අනුව ඔබ ප්‍රතික්‍රියා කරන ආකාරය වෙනස් වේ.
අපගේ හිතට දැනෙන දැනීම් තුන් ආකාර වේ. ඇතැම් දැනීම් සුවදායක වන අතර අප ඒවාට ආසා කරයි. ඒවා දිගටම පවත්වාගන්නට හා යළි යළිත් ලබා ගැනීමට ආසා කරයි. හිත රිදීම වැනි දැනීම් අපට වෙහෙසකර වේ. එට දුක්සහගත වන අතර අපහසුවක් ඇති කරයි. එබැවින් ඒවාට අප අකැමැති ය. මේ දෙකට අතරමැදි සංවේදනා ද අපට ලැබේ. ඒවා ගැන අපේ සිත් එතරම් තැකීමක් නොකරයි.
මෙවන් වේදනා දැනුන විට එය 'වේදනාවක්' ලෙස දකින්නට හැකි නම් එය සමඟ අපට ලැබෙන හැඟීමෙන් මිදෙන්නට අපට හැකි වේ. අපට ලැබෙන හැඟීමෙන් මෑත්ව ඒ දෙස බැලීමට හැකි වුවහොත් සැප වුවත් දුක වුවත් මේ වේදනාවන් දිගටම එක වගේ පවතින දේ නොවන බවත්, වෙනස් වෙන බවත් දැඩි සේ දුක් වීමට හෝ උද්දාම වීමට අවැසි නොවන බවත් අපට ම වැටහෙන්නට ගනී.
අප කුඩා කාලයේ බැලුමක් සමඟ සෙල්ලම් කරද්දී එය පිපිරී ගිය විට කොතරම් හැඬුවාද? නමුත් දැන් අපි බැලුමක් නිසා දුක් නොවන අතර බැලුමකට අඬන සිඟිත්තා නලවා ගන්නේ 'අපි තව බැලුමක් ගනිමු' කියාය. ඒ බැලුම් පිපිරෙන බව අප අත්දැකීමෙන් දන්නා නිසයි. නමුත් අලුත් කාර් එක අනතුරකට පත් වුණොත් 'ඕක හදාගන්න පුළුවන්නේ' කියා හිත හදා ගැනීමට නොහැකි ඇයි? ඒ බැලුම ගැන අත්දැකීම් තිබුණත් එය අනෙක් දේවලට ආදේශ කිරීමට තවම අපට නොහැකි නිසයි.
දැන් හිත රිදුණේ තමන්ගේ ම හිතේ මවාගෙන තිබූ සිහින ලෝකය හේතුවෙන් නිසා එම වරද, අඩුපාඩුව තමාට බාරගැනීමට අකැමැති නිසා සියලුම දොස් අනෙක් තැනැත්තාට පවරා තමන් නිදොස් වීමට හිත උත්සාහ දරන්නේ මේ නිසයි. හිත රිදුණ පසු සබඳතාව අනාගතයට විහිදුවා අනාගතය ගැන සිතමින් යළි යළිත් දුක්වීම ද හිත තුළ සිදු වේ. මේ සියල්ල සිදුවන්නේ අරමුණු සමඟ පැටලෙන ගතිය සිතේ ස්භාව නිසයි.
යළිත් හිත රිදුණ විටෙක ඔබ ම විමසිල්ලෙන් ඔබේ සිත දෙස බලන්න. ඔබේ සිතම ඔබේ ගුරුවරයා බවට පත් වේවි.
උපදෙස්
කළමනාකරණ උපදේශක
දීපාල් සූරියආරච්චි