අඹුසැමියන් ආදරයේ භාෂාව හඳුනා ගත යුතුය

පෙබරවාරි 19, 2020

“ජීවිත කාලය පුරාම කෙල්ල දුක් වින්දා. සතුටින් සැපෙන් ඉන්න කියලා කසාදයක් කරලා දුන්නා මදැයි”. මව එසේ පවසද්දී දෝණිගෙ මුහුණ පරවුණු මලක් වගේ වුණේ සුසුම් පොදක් පවනට එක් කරමිනි.

දෝණිගේ මව, දසුන්ට ඇයව විවාහ කර දුන්නේ ඇයගේ ජීවිතය සතුටින් තබන බලාපොරොත්තුවෙනි. නිතරම සිනා මලකින් මුව සරසාගෙන සිටිනු දැකීම මවගේ අපේක්ෂාව විය. සෑම මවකගේම පියකුගේම අරමුණ විවාහයෙන් පසු තම දියණිය, පුතු සතුටින් සිටිනු දැකීමය. එහෙත් විවාහය කියන්නේ සැපත, සතුට අපේක්ෂාවෙන් පමණක් සිදු කරන්නක්ද?

සැමියා හෝ බිරිය යනු සියල්ල කප් රුකක් මෙන් ලබා දෙන පුද්ගලයකුයි සිතා විවාහ වුවහොත් වැරැදියි. සතුට යන මිහිරි පලය නෙළා ගැනීමට විවාහ වීම, විවාහය යන වදනේ අරුත උල්ලංඝණය කිරීමකි.

විවාහ වූ දෙදෙනකුට ගමන් කිරීමට සිදුවන්නේ රෝසමල් ඇතිරූ මාවතක නොවෙයි. එය ආත්ම පරිත්‍යාගය, ඉවසීම, අවබෝධය, සමාව දීම ආදී බොහෝ විෂයයන් පිළිබඳ පන්නරය ලබා දෙන්නකි. මේ සියලු විෂයයන් ප්‍රගුණ කිරීමෙන් පසු ලොවෙහි ප්‍රීතිමත්ම පති පතිනියන් බවට පත් වීම යුවළකට ඉතා පහසුය. එහෙත් ඒ සඳහා කාලයක් ගත වෙයි.

විවාහයෙන් පසු බිරිය විසින් සැමියා යහපත් පුද්ගලයකු බවට ද පත් කරනු ඇති බවට විශ්වාසයක් මතයක් සමාජයේ ගොඩ නැඟී පවතියි. එහෙත් උපන් දා සිට හැදූ වැඩූ මාපියන්ට ඉගැන් වූ ගුරුවරුන්ට ගොඩ නැඟීමට නොහැකි වූ යහපත් පෞරුෂත්වය සැමියාගේම වයසේ හෝ බොහෝ විට ඔහුට වඩා බාල බිරියට කළ හැකි ද? එසේ කළ හැකි බිරියන් අප අතරේ කලාතුරකින් සිටිය ද බිරියගෙන් එවැන්නක් බලාපොරොත්තු වීම කෙතරම් යුක්ති සහගතද?

විවාහය, පිරිමියකු සහ කාන්තාවක එතෙක් ගත කළ කෙළිලොල් දිවියෙන් මුදවා පරිණත බවට පත් කරයි. තනි පුද්ගලයකු ලෙස ජීවත් වූ ඔහු / ඇය තවදුරටත් තනි පුද්ගලයකු නොවෙයි. කාර්යයන් රැසක් පැවරෙන භූමිකා රැසක් නිරූපණය කරන අයකු බවට පත් වෙයි.

 

2020/02/19 තරුණි බලන්න