වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ලොව දිනන්නට ඔබේ අදහස් එකතු කරන්න...
ලෝකයේ පැවැත්ම උදෙසා කාන්තාවගේ දායකත්වය අති මහත් ය. එහෙත් එය බොහෝ දෙනකුට නිසියාකාරව නොතේරේ. කාන්තාව සෑම සමාජයක දී ම සුවිශේෂ වූ කාර්ය භාරයක් සිදු කරයි.
කාන්තාව ඇගයීම සඳහා යෙදෙන කාන්තා දිනය සෑම වසරක දී ම සමරන්නේ ද පවුලේ, සමාජයේ වැඩි මෙහෙවරක් ඇය විසින් ඉටුකරන බැවිනි. එහෙත් අද වන විට එය ද පෙම්වතුන්ගේ දිනය මෙන් වාණිජකරණය වන බවක් දකින්නට ඇත. කාන්තාවන්ට කුඩා තෑගි ලබා දීමෙන් ඔවුන් ගැන විවිධ වැඩසටහන් කිරීමෙන් පමණක් මෙම කාන්තා දිනය සැමරීම නිසා මෙයින් මුදල් හරිහම්බ කරන පිරිස් මෙන්ම වෙනත් වාසි සඳහා මෙම දිනය යොදා ගන්නා පිරිස් ද ආයතන තුළ පවා ඇත.
එහෙත් සත්‍යවශයෙන් ම කාන්තා දිනයක දී සිදු විය යුත්තේ කුමක්ද? මේ ගැන කාන්තාවන් සමඟ නොව, වඩාත් වැදගත් වන්නේ අනෙක් පාර්ශ්වය දැනුවත් කිරීමයි. එහෙත් අප ඔබව දැනුවත් කරන්නේ පවුලේ තොරතුරු විසුරුවාලන ප්රභවය වන්නේ ද කාන්තාව ම වන බැවිනි.
අපි ගැහැනිය හා පිරිමියා ගත් විට කාන්තාවට ඇති අභියෝගවල පැහැදිලි වෙනස්කම් පවතී. කාටූනයක තිබූ දෙයක් ඔබට පැවසීමෙන් එය වඩාත් ඔබට පැහැදිලි වනු ඇති. එහි වූයේ තරගයට දුවන සැමියා හා බිරියගේ රුවයි. මෙහිදී සැමියාගේ මාර්ගය පැහැදිලි වූවකි. එහි කිසිදු බාධාවක් නැත. එහෙත් බිරියගේ මාර්ගය බාධා සහිතය. එහි දරුවෝ සිටිති. රෙදි වැටී ඇත. මුළුතැන්ගෙයි ආම්පන්න ඇත. මෙහිදී පෙන්නුම් කරන්නේ ඇයට ඇති වගකීම් හා කාර්යයන් කොටසයි.
කාන්තාවන්ට ස්වභාවිකව ම පවා යම් යම් වෙනස්කම් හා වෙනස් අපේක්ෂාවන් විශ්වයෙන් ලබා දී ඇත. ඒ අනුව එම සුවිශේෂ බව හඳුනා ගැනීම පළමු වැනි දේ ලෙස සැලකිය හැකියි. කාන්තාවන් සතු උසස් ම හැකියාවන් අප විසින් භාවිතයට ගත යුතුයි.
උදාහරණයක් ලෙස අපි හිතමු කාන්තාවක් වහළයක් උඩ නැගී බදාම දාන කාර්යයක් සිදු කරන බව. මෙම කාර්යය සිදු කිරීමට පිරිමින්ට ද හැකියාව ඇත. නමුත් පිරිමින්ට කළ නොහැකි විශේෂිත වූ කාර්යයන් කිහිපයක් කාන්තාවන්ට සිදු කළ හැකිය. මින් විශේෂ වන්නේ කාන්තාවන් සතු වූ සහසංවේදී බවයි. කාන්තාවට පිරිමියාට වඩා හොඳ ඉවක් පවතී. ඒ නිසා කාන්තාවන්ට පිරිමින්ට වඩා සැකයන් ඇති වේ. සංවේදී බව කාන්තාවන් සතුව පවතින ඉහළම වටිනාකමකි.
අද ලෝකයට වඩාත් අවශ්‍යව පවතින්නේ සංවේදී බවයි. අද අප ඒ තරමට ම අසංවේදී වී ඇත. අප කාන්තාවක් ලෙස මේ ගුණය භාවිත කරන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුය. ආයතනවල මේ ගුණය භාවිත කරන්නේ කෙසේද, ගැටලු විසඳීමේ දී මෙය භාවිත කරන්නේ කෙසේද යන්න සිතා බැලිය යුතුය. එවිට කාන්තාවන් හිතන දේවල්, ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් සොයා බැලිය යුතුය. කාන්තාවට ඔවුනගේ දෘෂ්ටිකෝණයෙන් සමාජය පෝෂණය කිරීමේ හැකියාවක් පවතී.
පිටරටවල අධ්යක්ෂවරුන් සඳහා පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වීමට අවස්ථාව ලැබිණි. ඒ සඳහා සහභාගී වුණේ ලෝකයේ ඉහළ තත්ත්වයේ ඇති සමාගම්වල අධ්යක්ෂවරු ය. මෙහිදී කුඩා ගැටලුවක් විසඳන ලෙස මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ අයට පැවරුවේ ය. එක වර්ගයක මෝටර් රථයක් තරගයක් සඳහා සහභාගී කරනවාද නැතිද යන්න එම ගැටලුවයි. දී තිබූ සංඛ්‍යාත්මක තොරතුරු අනුව සැකසූ වාර්තාව දෙස බැලූ විට එදිනට පරිසරයේ පවතින උෂ්ණත්ව තත්ත්වයත් සමඟ ගත් විට අනතුරක් වීමේ යම් සම්භාවිතාවක් පවතී.
පිරිමි සියලු දෙනාම ඒ දෙස බලා තීරණය කළේ, මේ ප්‍රධාන රේස් කාර් නිපදවන සමාගමක් නිසා එම අවධානම ඔවුන් ගන්නා නිසා මෙය රේස් එකට දමමු යන්නයි. එහෙත් එක් කණ්ඩායමක කාන්තාවන් දෙදෙනකු සිටි නිසා එම කණ්ඩායමෙන් පමණක් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඔවුන් ඇසුවේ, පවතින පරිසර තත්ත්වය යටතේ ගණනයකර පුරෝකථනය කරන අනතුර සිදුවුවහොත් මෙම රථයේ රියදුරුට අනතුරක් වීම සඳහා කොපමණ ඉඩක් පවතිනවාද? යන්නයි. මෙය පිරිමි පමණක් සිටි අනෙකුත් කිසිම කණ්ඩාමකට පැන නොනැගුණ ගැටලුවකි. පිරිමින්ට සිතුණේ මෙය රේසිං කාර් නිපදවන සමාගමක්. ඔවුන් රේසිං කාර් නිපදවා ඒවා තරගවලට ඉදිරිපත් කළ යුතුයි, යන්න පමණි. අවධානමක් තිබුණත් එම අවධානම ගත්තොත් රේස් එක දිනීමට ද හැකි බව පිරිමි අයට සිතී තිබුණි.
පසුව හෙළි වුණේ මෙම තොරතුරු අරගෙන තිබෙන්නේ කලින් අනතුරක් සිදු වූ රේස් එකක දත්ත මඟින් බවයි. චැලෙන්ජර් ගුවන් රොකට් එක අනතුරක් වී සිදු වූ පිපිරුම ඔවුන් කාර් රේස් එකක් ලෙස මෙහිදී ඉදිරිපත්කර තිබුණේ මේ සම්මන්ත්‍රණය සඳහා ඉදිරිපත් වන අයගේ ක්‍රියාකාරකමක් ලෙසටයි.
මෙහිදී වැදගත් වන්නේ අනෙක් දෘෂ්ටිකෝණය සුවිශේෂී ලෙසින් ම කාන්තාවන්ට පමණක් ලැබී ඇති දෙයක් වීමයි. සමාජයේ සහ රටේ සිදුවන ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පමණක් නොව, ඉන් පිට අනෙක් ස්ථානවල ද අපිට කාන්තාවන්ගේ දෘෂ්ටිකෝණ අසන්නට දකින්නට නොලැබේ.
2020/03/11 තරුණි බලන්න
උපදෙස්
කළමනාකරණ උපදේශක
දීපාල් සූරියආරච්චි