වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දරුවන් ලැබුණු පසු වෙනදටත් වඩා ලස්සනට ඉන්න
“විවාහ වී දරුවන් ලැබුණාට පසු සුන්දරත්වය රැකගැනීමට වෙහෙසීම බොරු වැඩක්” මේ අපේ බොහොමයක් කාන්තාවන් අතර පවතින මතයක්. ඒත් ඒක වැරැදි මතයක්. ඒ වගේම තම පෞරුෂයට බලපාන ඍණාත්මක ආකල්පයක්.
එවැනි ඍණාත්මක ආකල්ප දැරීම ඔබට සිදුකරන්නේ අයහපත් බලපෑමක්. මවක් වූ පසුව ඔබ වෙනදාටත් වඩා සුන්දර විය යුතුයි. තවත් ජීවියකුට උපතක් දීම උතුම් පදවියකට හිමිකම් කීමක්. එහි වටිනාකම රැඳෙන්නෙ ඔබේ ක්‍රියා කලාපය මතයි.
ඔබේ සැමියා බලාසිටිනවා ඔබේ සුන්දරත්වය එදා වගේම අදත් හෙටත් එක ලෙසට පවත්වා ගනු ඇතැයි කියා. ඔබට ඔබේ පුංචි පැටියා නිසා හොඳ නින්දක් නො ලැබෙන්න පුළුවන්. දරුවාට මවුකිරි දෙනවිට ඔබට ආහාර පාලනය කරගන්න බැරිවෙන්න පුළුවන්. ඉස්සර වගේ ලස්සනට ගළපලා ඇඳුම ආභරණ අඳින්න බැරිවෙන්න පුළුවන්. ජීවිතේ ආපස්සට අදින්න අවශ්‍ය සියලු කාරණා ඔබ සතු විය හැකියි. නමුත් සත්‍ය නම් දරුවා වෙනුවෙන්ම වගේම ආදරණීය සැමියා වෙනුවෙනුත් ඔබ සිටිය යුතුයි. එය ඔබ සතු යුතුකමක් මෙන්ම වගකීමක්. එසේ නොවුණ තැන ලස්සනට පටන් ගත්ත ජීවිත දෙදරා යනවා. පිරිසුදුව, පිළිවෙළට, ආකර්ෂණීයව ඉන්න කියලා සැමියා ඔබට කටින් නොකියනවා වෙන්න පුළුවන්. ඒත් ඔහුව දවසින් දවස හුදකලා වෙන්න ඉඩ හැරීම ඔබේ පුංචි සුන්දර කැදැල්ලට විශාල තර්ජනයක් වීමට පුළුවන්. මෙපමණ දිනක් ඔබ අතින් ඉතා පිළිවෙළට ඔහුගේ රාජකාරි, අවශ්‍යතාවන් සිදුවුණා වෙන්න පුළුවන්.
ඔහු තාමත් මේ මොහොතෙත් ඒ සියලුම දේ ඔබෙන් බලාපොරොත්තු විය හැකියි. එය ඉටුනොවුණ තැන ඔහු වෙනතැනක් සොයායන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ටික කලක් ගතවීමේ දී තම බිරිය නොරුස්සනා ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඔබ කෙරෙහි අප්‍රසන්න බවක් හෝ එවැනි හැඟීමක් ජනිත වෙන්න පුළුවන්. මේ හේතුවෙන් විවිධ පවුල් ආරවුල් නිවෙස තුළ පැන නඟිනවා.
සමහර හිතුවක්කාර චරිත අපිට මෙල්ල කරගන්න අමාරුවෙනවා. සැමියාත්, බිරියත් මෙවැනි චරිතයක් වුණොත් බොහොම ඉක්මනින් තම පවුල සුනුවිසුණු කරගන්නවා. ‘උඹට එපා නම් මටත් එපා’ කියන තත්ත්වයට පත්වෙනවා.
ඔබ මඳක් සිතන්න, ඔබ සතු පුංචි පුංචි අඩුපාඩු වැරැදි, නිවැරැදි අවබෝධයෙන් වටහා ගන්න. ඒ දේවල් සාකච්ඡා කරලා එක තැනකට ගන්න. ඔහු බලාපොරොත්තු වෙන්නෙ නැහැ ඔබ රූප රාජිනියක් වගේ සැරසිලා ඉන්න ඕනේ කියලා. රූපලාවණ්යාගාරවලටම වියදම් කරන, ඇඳුම් පැලඳුම් විතරක්ම මිලදී ගන්නා ගැහැනියක් ඔහුට අවශ්‍ය නැහැ. නමුත් ඔබ ඔහු ගැන අවධානයෙන් ඉන්නවට ඔහු කැමැතියි.
වැඩ නිමාවී ඔහු නිවෙසට එන්නේ ඔබේ දුක්කරදර අහන්න නෙවෙයි. ඔහුගේ දවස පුරා ගෙවපු වෙහෙස, තනිකම ඔබ සමඟ මකාගන්න.
‘සැදෑ කළුවර ගලා හැලෙන විට’ ගීතය අහන්න. ඔබට දැනෙයි ඔබ සතු වගකීම් තියෙනවා නේද කියලා. ඔබට හිතෙන්න පුළුවන් ඒක හරිම අසාධාරණයි. ‘මම දුක් විඳින්නෙත් අපේ දරුවා නිසානෙ කියලා’
ඔව් ඇත්ත, සමහරවිට ඔබ තනිවම දරුවන් රැකබලාගෙන දවස පුරාම දුක් විඳිනවා වෙන්න පුළුවන්. තවත් සමහරුන්ට දරුවන් බලාගන්න උදවුවට කිහිපදෙනෙක් ඉන්නවා වෙන්නත් පුළුවන්. අපි මේ කුමන මට්ටමින් සිටියත්, ඔබ අමතක නොකළ යුතුයි පෙම්වතුන්ව සිටින විට ඔබ ගෙවපු සුන්දර කාලය. ඔහුත් ඔබත් දෙදෙනාම දන්නවා දරුවා බලාගෙන ගෙදර කෙනෙක් සිටිය යුතු බව. එය විවාහ වීමට පෙර සිටම දැනසිටිය යුතු දෙයක්.
“අපි දරුවො හදනවා ද? කීදෙනෙක් හදනවා ද?
“කවුද රැකියාව අහිමි කරගන්නේ ?”
“අපි දරුවන් හදාවඩා ගන්න මාපියන්ගේ උපකාර ලබාගන්නවා ද?”
“එහෙම නැත්නම් පිටස්තරයෙක්ගේ උපාකර ලබා ගන්නවා ද?”
ප්‍රසූත නිවාඩුවෙන් පසු රැකියාව කරනවා ද?
උපදෙස්
දීප්ති පෙරේරා
රූපලාවණ්‍ය සහ
පෞරුෂ සංවර්ධන උපදේශිකා
2020/03/19 තරුණි බලන්න