සොබාදම් මාතාව ලැබූ සැබෑ නිදහස

මැයි 6, 2020

බොහෝදෙනා මේ දිනවල තම නිවසට වී සිටින්නේ ඇඳීරි නීතිය නිසා රාජකාරි කටයුතු වලට හෝ වෙනත් වැඩ සඳහා නිවෙසින් බැහැරට යාමට නොහැකි නිසායි. කෝවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය නිසා ලෝකයේ බොහෝ රට වල වර්තමාන තත්ත්වය මෙයයි.

සමහර පුද්ගලයින්ට මෙය කලකට පසුව විවේකයෙන් සිටීමට ලැබුණ අවස්ථාවක් වී තිබෙන නමුත් මේ තත්ත්වය නිසා සැබෑවටම විවේකයක් ලැබුණ කෙනෙක් සිටිනවා. ඒ තමයි සොබාදම් මාතාව. ලෝකයේ ගුවන් යානා වලින් බොහොමයක් පියාසර නොකරන, මහමඟ මෝටර් රථ ඉතා අඩුවෙන් ගමන් කරන, ලොව ඉතා කාර්‍යබහුල නගර සොහොන් පිටි මෙන් පාලුවට ගොස් තිබෙන මේ කාලයේ වැඩි වාසි අත්වී තිබෙන්නේ අප අවට පරිසරයටයි. සෑම දිනකම මිනිස් අපගේ ආත්මාර්ථකාමී ක්‍රියා නිසා බැටකෑ සොබාදහම අපව නිවස් වල කොටු කර ඇය නිදහසේ සිටින බවට ලොව පුරා විවිධ රටවලින් ලැබෙනා ඡායාරූප සාක්ෂි දරයි.

ලොව ප්‍රධාන නගර රැසකම වායු දූෂණය පසුගිය සති කිහිපය තුළදී අඩු වීම නිසා වෙනදා තිබූ දුමාරය නැතිවී ගොස් නගරය අවට වායුගෝලය පැහැදිලි වන්නට පටන්ගෙන තිබෙනවා. චීනයේ, ඇමෙරිකාවේ හා යුරෝපයේ බොහොමයක් නගර වල මෙම වෙනස දැකිය හැකි බව එම නගර වැසියන් විසින් සමාජ මාධ්‍ය තුළ දක්වා තිබෙනවා. මෙවැනි සිදුවීම් අතුරින් දැඩි ලෙස කතාබහට ලක්වුණු සිදුවීමක් වූයේ ඉතාලියේ වැනීසියේ තිබෙනා ඇළ මාර්ග වල ජලය වෙනදාට වඩා පැහැදිලි වීමයි. මෙම ඇළ මාර්ග වලට ඩොල්ෆින් මසුන් පැමිණි බව සමහර පුද්ගලයින් සඳහන් කරනු ලැබු අතර එය අසත්‍ය ප්‍රකාශයක් වන නමුත් සුපැහැදිලි ජලය සහිත මෙම ඇළ මාර්ග වෙත වෙනත් මත්ස්‍යයින් හා කකුළුවන් වැනි සතුන් පැමිණීම එහි ජීවත්වන ජනයාගේ දෑස් විවර කිරීමට සමත් වී තිබෙනවා. ඔවුන් පවසන්නේ කොරෝනා අර්බුදය නිමවූ පසුවත් මේ ඇළ මාර්ග මෙලෙසින්ම පිරිසුදුවට තබා ගැනීමට ඔවුන් ක්‍රියා කරන බවයි.

කඳුකර එළුවන් රංචුවක් විසින් වේල්සයේ නගරයක් අත්පත් කර ගැනීම, ජපානයේ නගරයක් තුළ මුව රංචුවක් සැරිසැරීම, ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ වල් ඌරන් ගැවසීම, ප්‍රංශයේ ප්‍රසිද්ධ මුහුදු වෙරළක් වෙත ගව රැලක් පැමිණීම මෙසේ කතාබහට ලක්වූ සිදුවීම් වන්නේ සාමාන්‍ය දිනයක නම් රථ වාහන හා කාර්යබහුල නගර වැසියන්ගෙන් මෙම නගර පිරී ඉතිරී තිබෙන නිසායි. හිමාලය කඳුවැටිය වසර තිහකට පමණ පසුව පන්ජාබ් ප්‍රදේශයට නැවතත් දිස්වන්නට පටන් ගෙන තිබෙන්නේ වායු දූෂණය ක්ෂණිකව පහත වැටීම නිසායි. හිමාල කඳුවැටියේ සිට කිලෝමීටර් 200ක් පමණ ඈතින් තිබෙනා නගර වලටද හිමෙන් වැසී තිබෙනා හිමාල කඳුවැටිය දිස් වීම මානව ක්‍රියාකාරකම් වලින් පරිසරයට සිදුවන හානිය මැනවින් විදහා දක්වයි.

ආර්ථික දියුණුව හා ස්වාභාවික පරිසරය කොතරම් එකිනෙකට සමීපද යන්න බොහෝදෙනාට මේ සිදුවීම් නිසා වැටහෙන්නට පටන්ගෙන තිබෙන අතර ලොව පුරා රාජ්‍ය නායකයින්ටද මෙය අවබෝධ වී ස්වාභාවික පරිසරය තවත් විනාශ නොකරන තිරසර ව්‍යාපෘති වෙත අවධානය යොමු වේවායි අපි ප්‍රාර්ථනා කළයුතවෙමු. ඒ අතරම නිවසේ මව වන ඔබත් තම පවුල හා එක්ව සොබාදහම් මව වෙත හැකි උපරිමයෙන් ඵචසහයෝගය දැක්විය යුතු බව තදින්ම සිතට ගත යුතුය.

 

අන්තර්ජාලය ඇසුරෙනි