මම නෙල්ලි රසකිඳ දන්නෙ නෑ කියන අය ඇවිත් මගේ පේයාව බීලා බලන්න

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මුල් පුටුව හොබවන නීතිවේදිනිය
මැයි 27, 2020

ඇය ඉන්ද්‍ර ඛීලයක් වැනිය. දීප්තිමත් දෙනෙත්වල පැහැදිලි ඉලක්කයක් ඇඳී ඇත. කටකාර, මොහොහොතක් හෝ ප්‍ර යෝජනවත් කාර්යයක නිරත නොවී සිටිය නොහැකි ඇය කිව්වොත් කිව්වාමය. කෙරුවොත් කෙරුවාමය. ස්වර්ණ ජුබිලියේ අභිමානය සමරන සංස්ථාවක මුල් පුටුව ජවසම්න්න කිරීමට ඇය වැන්නියක් සපැමිණීම ඒ ආයතනය ලද ස්වර්ණ තිළිණය ය.

ඇය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනිය, නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මියයි. එදා මෙදාතුර පනස් වසරක සංස්ථා ඉතිහාසයේ මුල් පුටුව හෙබවීමට වරම් ලද ප්‍රථම කාන්තාව ඇය ය. ඇය පත්වූයේ ද ඉතිහාසයේ සුවිශේෂී කාලයකයි. එනිසාම අපට ඇයගෙන් ඇසීමට ඇති දෑ බොහෝය.

* ආයුර්වේදයත් නීතියත් අහසත් පොළොවත් වගේ පරස්පරයි. කොහොමද ඔබ ඒ අභියෝගය ජය ගත්තේ?

සභාපතිවරයකුට තියෙන්න ඕන පරිපාලන හා කළමනාකරණ හැකියාවයි. මං පත් කළාම සමහරු නීතිඥවරියක් ආයුර්වේද සංස්ථාවේ සභාපතිකම කරන්නේ කොහොමද ඇහුවා. තවත් අය නෙල්ලි, රසකිඳ නොදන්න කෙනෙක් මුල් පුටුවට ඇවිත් කියලා චෝදනා කළා. මං අවුරුද්දකට සැරයක්වත් පැරසිටමෝල් පෙත්තක් බොන්නෙ නෑ. අපේ අම්මලා ලොකු අම්මලා දේශීය , ආයුර්වේදයට සහ සිංහල අත්බේත්වලට මුල් තැන දුන්නු අය. මං කුඩා වියේ හැදුණෙ අම්ම ගේ ලොකු අක්කා ළඟ. අපි සෙල්ලං කරද්දි වැටිලා තුවාල වුණාම කැලණි යේ අම්මා කුරුම්බා ඇට්ටියක් අරන් ලුණු වතුරෙන් ගලගාලා තුවාලෙ ගානවා.

ම ගේ ලොකු දුව ඉපදිලා දවස් පහකින් මුත්‍රා ආසාදනයක් හැදුණා. යූරීන් කල්චර් කළා. වාර්තාව එන්න කලින් අම්මා දරුවා වේදනාවෙන් කෑ ගහන නිසා බැබිල, නීරමුල්ලිය තම්බලා බීලා දරුවට කිරි දෙන්න කිව්වා. ඒ විදියට කළාම දරුව ගේ ඇඬිල්ල නතර වුණා. පළමුවැනි වාර්තාවේ විසබීජ තිබුණු නිසා දෙවැනි වාර්තාවකුත් ගත්තා. දෙවැනි වාර්තාවේ මුත්‍රාවල කිසිම විසබීජයක් නැතිබව සඳහන්ව තිබුණා.

මගේ දරුවන් දෙන්නටම මවුකිරි දෙන ගමන් කොත්තමල්ලි වතුරත් දුන්නා. දෙසදුන් කල්කය ( රත කල්කය ) දුන්නා. දරුවන්ට අවුරුදු හතරක් විතර වෙනකම් නෑව්වෙ වෙනිවැල්, කොහොඹ, රත්මල් තම්බපු වතුරෙන්. උණට හෙම්බිරිස්සාවට මංම හදපු පේයාවක් දෙනවා. බ ඩේ අමාරුවක් හැදුනම කලාදුරු, බෙලිමුල් පස්පංගුව කසාය දෙනවා. මං නෙල්ලි රසකිඳ දන්නෑ කියන අයට ඇවිත් ම ගේ පේයාව බීලා බලනවා නම් කැමැතියි.

* එවැනි අභියෝග වගේම කෝවිඩ් - 19 අභියෝගයත් ඔබ පහසුවෙන්ම ජය ගත්තා නේද?

නව කොරෝනා වෛරසය සමඟ දේශීය හා ආයුර්වේදීය ඔසුවලට ඇති ඉල්ලුම වැඩිවුණා. මේ ආයුර්වේද ඖෂධ සංස්ථාව වැඩි වශයෙන්ම අවධානයට කතාබහට ලක්වූ කාලයක්. දේශීය සහ ආයුර්වේද ක්‍රම මඟින් ජනතා සුවෙසත උදෙසා මේ වනවිට සංස්ථාවේ සභාපතිනිය ලෙස පියවර ගණනාවක් අරන් තිබෙනවා.

මෙවැනි වෛරස් වසංගත අවස්ථාවක රෝගියාගේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ලීම කළයුතු බවයි දේශිය වෛද්‍යවරු කියන්නේ.

ප්‍රතිශක්තිය වඩන ඔසු අතර ඉඟුරු - කොත්තමල්ලි විශේෂයි.

රත කල්කය කුඩා දරුවන්ට දෙන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කරලා ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්නයි. ඊට අමතරව නවරත්න , බුද්ධරාජ වැනි කල්ක,සුදර්ශන චූර්ණ, සුදර්ශන කරල් සහ සීතාරාම වටී මේ දිනවල වැඩිපුර නිෂ්පාදනය කරනවා. රසකිඳ, ඉඟුරු, කොත්තමල්ලි, කිරාට, අතිවිඩයන්, රත්හඳුන් වැනි තවත් සුවිශේෂී ආයුර්වේදීය ඔසු රැසක් මිශ්‍ර කරලා ප්‍රතිශක්ති වර්ධන කෂාය පේයාවක් නිපදවා තිබෙනවා. මෙය නිෂ්පාදනය කළේ ගරු සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ගේ උපදෙස් මත කොරෝනා උවදුර මැඩලීමට පත්කරන ලද දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික කමිටුවේ නිර්දේශ මතයි. මාත් ඒ කමිටුවේ සාමාජිකාවක්. .

*පුද්ගල ප්‍රතිශක්තිය නංවාලීම ව ගේම විසබීජහරණයත් වැදගත් නේද?

ඔව්. ඒ සඳහා අප විශේෂ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. අපිරිසුදු වාතය පිරිසුදුකිරීමට කොවිඩ් - 19 නමින්ම නව දුමායනයක් නිප දෙවිවා. හල්දුම්මිල්ල, කුරුඳු, මදුරුතලා, කොහොඹ, පැඟිරි මානා, වදකහ, දෙහි කොළ, අගිල් වැනි ඖෂධ රැසක් මේ සඳහා යොදාගෙන තිබෙනවා. විසබීජනාශක කළුනික වගේ වුණ කාලෙක අපේම විසබීජ නාශක දියරයක් නිප දෙව්වා. සුරාබදු දෙපාර්තෙම්න්තුවේ සහායෙන් ඇල්කොහොල් ලබාගෙන කෝමාරිකා යුෂ, පැඟිරි තෙල් හා නියමිත ප්‍රමිතියට යුත් ඇල්කොහොල් සාන්ද්‍රණයක් ඇති දෑත් සෝදන ජෙල් නිෂ්පාදනයක් වෙළඳ පොළට හඳුන්වා දුන්නා. වෙනිවල් ගැට බොඩි වොෂ් එකත් හොඳ විකල්පයක්. ඒ වගේම වෙනිවැල් යෙදූ අත්සෝදන දියරයක් හඳුන්වා දුන්නා. වෙනිවැල් ගැට හොඳ විසබීජ නාශකයක් විදියට ආයුර්වේදයේ නිර්දේශ කරලා තියෙනවා.

2020/05/27 තරුණි  පුවත්පත බලන්න.