වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මම ඉන්න ගේ ඇරුණුකොට වෙනත් බිම් අඟලක්වත් මට අයිති නැහැ
ආදරය ලොවටම බෙදන්නට හැකි චරිත ඇත්තේ අතලොස්සකි. කීමෙන් එසේ කෙරුවද ක්‍රියාවෙන් එය පෙන්වා දුන් ඇත්තෝ ඉතාමත් අල්පය. යම්කිසි කාලයක දී එසේ කෙරුව ද තම ජීවිතය ම කැප කරමින් ලෝකයට ආදරය කරුණාව දක්වන්නට, ඉන් සතුටක් ලබන්නට හැකි වූ පිරිස එයටත් වඩා දුලබ ය.
ජීවිතය යුද්ධයක් කොටගත් මිනිසුන් අතර ජීවිතය ආදරණීය කටයුතු වෙනුවෙන්ම කැපකළ මේ යුවතිපතීන් අපේ රටේ පමණක් නොව, ලොව පුරාම ඇගයීමට, ආදරයට, ගෞරවයට ලක් වූයේ ලොවට දායාද කළ ආදරයේ, කරුණාවේ මහිමය හේතුකොටගෙන ය.
යමෙක පුරෝගාමියකු වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන් ම යහපත් කටයුත්තක පුරෝගාමියකු වීමට නම් ඔහු නොසැලෙන පෞරුෂයකින් හෙබි පුද්ගලයකු විය යුතුය. ආචාර්ය ඒ.ටී. ආරියරත්න කියූ පමණින් ලොවක් ඔහු හඳුනන්නේ එබැවිනි.
දකුණු ලකේ අගනුවර උනවටුණ ප්‍රදේශයේ උපන් ඔහු කුඩා කල සිට ම සමාජය දෙස කරුණා ඇසින් බලන්නකු වීය. අනුන්ගේ දුක දැක ප්‍රකම්පනය වන හදවතක් ඇති නිසා තම දිවිය ම දුක් විඳීන ජනයාගේ යහපත වෙනුවෙන් කැප කිරීමට ඔහු අදිටන් කරගත්තේය. කුඩා කල උනවටුණ බෞද්ධ මිශ්‍ර පාසලෙන් හා බලංගොඩ මැද්දේකන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් නැවත ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සඳහා උනවටුණ බොනවිස්ටා පාසලට ගිය ආරියරත්න දරුවාට ගාල්ල මහින්ද විද්‍යාලයට ශිල්ප කිරීමට යාමට වීම මෙහි කඩඉමක් සේ මම දකිමි. අපි එය ඔහුගෙන් ම අසා දැනගනිමු..
සමාජසේවය වෙනුවෙන් තරුණ අවධියේ දීම හිත යොමු වුණේ කොහොමද?
අපේ ගාල්ල උනවටුණ පීල්ලගොඩ කියන ගමේ තමයි මම හිටියේ. පීල්ලගොඩ, යක්දෙහිමුල්ල, යාකොටුව, එරමුදුගහ කියන කුඩා ගම්මානවල ධනවත් පවුල් 04-05 කට වඩා හිටියේ නැහැ. මධ්‍යම පාන්තික පවුල් 10-12ක් හිටියා. මම අයිති වුණේ මධ්‍යම පන්තික පවුලකට. උසස් පවුල්වල හා මධ්‍යම පන්තියේ පවුල්වල දරුවන්ට විතරයි ඒ කාලේ උසස් අධ්‍යාපනය ලබන්න හැකි වුණේ. ඉතිං මටත් අවස්ථාව ලැබුණා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙන ගන්න. ඒ අතරේ මට පුදුම විදියේ දුකක් ඇති වුණා මගේ ගමේ හා ඒ අවට සිටි ළමයින් ගැන. මොකද මට විද්‍යාව, ඉංග්‍රීසි, ගණිතය ඉගෙන ගන්න අවස්ථාව ලැබුණත් අපේ ගමේ ළමයින්ට ඒ අවස්ථාව ලැබුණේ නෑ.. ඒ නිසා මම අවුරුදු 13වගේ වයසෙදී අපේ ගෙදර පන්තියක් පටන් ගත්තා, මේ විෂයයන් තුන ගමේ ඕනෑම ළමයෙකුට ඇවිත් ඉගෙන ගන්න. සතියට දවස් තුනක් පැවැත් වූ මේ පන්තිවලට ගමේ බොහෝ දරුවන් හරිම කැමැත්තෙන් සහභාගී වුණා..
දුප්පත්කමින් පීඩිත වුණ බොහෝ පවුල් මේ ගම්මානවල හිටියා. මම බයිසිකලයෙන් හැම සඳුද ම පාසල් යන්න පාරට ආවිට ලුසිනාහාමි අක්කා කියලා කාන්තාවක් හාල් සේරුවක් ගන්න සත විසිපහක් ඉල්ලන්වා. මම ඇය ගැන සොයා බැලුවම ඇය ජීවිකාව සඳහා ලණු අඹරන කාර්යයේ යෙදෙන්නියක් බවත් ඇයට ලණු ඇඹරීමෙන් සුමානයට ම රුපියල් දෙකක් පමණක් ලැබෙන බවත් දැන ගන්නට ලැබුණා. මම තවත් හොයලා බැලුවම මැද වෙළෙන්දට රුපියල් අටක ලාබයකුත් කම්පැනියට මේවා යවන අය රුපියල් 12ක ලාබයකුත් ලැබු බව දුටු අතරමැදියා රුපියල් 20ක ලාබයක් ලබද්දී කම්කරුවට රුපියල් 2ක් ලැබෙන මේ ආර්ථික විෂමතාව නැති කරන්න ඕන බව මට හිතුණේ එවැනි සිදුවීම්වලින්. සමාජයේ තියෙන අධ්‍යාපන, සෞඛ්‍යය, ආර්ථික ප්‍රශ්න මම දුටුව නිසා හිතුවා මම ඉගෙනගෙන මේ රටට සේවයක් කරනවා කියලා. ඒ විදියට තමයි මම මේ කාර්යයන් කිරීමට පෙලඹුණේ. .
ඡායා - ශාන් රූපස්සර
2020/08/05 තරුණි පුවත්පත බලන්න.