9 හැවිරිදි දියණියට 38 හැවිරිදි අම්මාගෙන් අක්මා කොටසක්

අගෝස්තු 5, 2020

දාරක ස්නේහය ඉහවහා ගිය ඇය ළයාදර දියණිය වෙනුවෙන් තම අක්මාවෙන් කොටසක් ලබා දී සාර්ථක අවයව බද්ධයක නිමාව සනිටුහන් කරනුයේ සුරතල් දෝණිට නව පණක් ලබා දෙමිනි. ඒත් සමඟින් ලංකාවේ ප්‍රථම සාර්ථක ළමා අක්මා බද්ධයේ කතාන්දරය ඉතිහාසයට එක්වෙයි.

එම කතාන්දරයේ දිගහැරුම වසර හතක් පමණ අතීතයට දිව යයි. පුංචි පුතකුගේ දරු සුරතල් බලමින් රසිකා සහ සාරංගන්ගේ කැදැල්ලට කිශානු ආයේ මෙතෙක් හිඩැසක්ව පැවැති දියණියකගේ ආදරණීය බව නොඅඩුව ම ලබා දෙමිනි.යාපනයේ මුලායි ප්‍රදේශයේ පදිංචිව සිටින මොවුන් ආර්ථික දුෂ්කරතාවන්ගෙන් දැඩි ලෙස පීඩා විඳීයි. ජීවන මඟේ දෙවැනි සැතපුම් කණුව පසු කරත්ම කිශානු රෝගී දැරියක ලෙස උදරය ඉදිමීම, ඇස් කහ පැහැ වීම ආදී නොයෙකුත් රෝග ලක්ෂණ පෙන්වන්නට විය. යාපනය රෝහලට දැරිය යොමු කිරීමත් සමඟින් විශේෂඥ වෛද්‍යවරුන් මේ දැරිය අක්මාව සම්බන්ධ සංකූලතාවකින් පෙළෙන බව සොයා ගැනුණි. එතැන් පටන් මෙම සැත්කම කෙරෙන තුරු වසර හතක් පුරාවට ඇගේ අක්මාව දිනෙන් දින ක්‍රමක්‍රමයෙන් අකර්මණ්‍යතාවට පත්විය. පසුගිය වසරක කාලයක් පුරාවට ඇගේ අක්මාවේ ක්‍රියාකාරීත්වය දැඩි ලෙස දුර්වල තත්ත්වයට පත්වූ නිසාවෙන් දීර්ඝ කාලයක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර සඳහා යොමුවන්නට සිදුවුණි. 'ඇගේ ජීවිතය බේරා ගන්නට නම් හැකි ඉක්මනින් අක්මා බද්ධයක් සිදුවිය යුතුයි.' ළමා රෝග වෛද්‍යවරුන් අවධාරණයෙන් කියා සිටින්නට විය.

ළමා අක්මා බද්ධයක් කිරීමට නිසි ක්‍රමවේදයක් එතෙක් ලංකාවේ සකස් නොවී තිබීමත් විදෙස් රටකට ගොස් අක්මා බද්ධය සඳහා වූ ශල්‍යකර්මය කරගැනීමට ආර්ථික තත්ත්වයක් ඔවුන් හමුවේ කිසිසේත්ම නොතිබීමත් නිසා කිශානුගේ මාපිය යුවළ මෙන් ම පහළොස් හැවිරිදි සොයුරා ද හැඬූ කඳුළින් කාලය ගත කරන්නට විය.

මෙලෙස අක්මාව අකර්මණ්‍ය වීම හේතුවෙන් ආර්ථික අපහසුතා ඇති රෝගීන් බොහොමයකට අත්වන ඉරණම වන්නේ මරණයයි.

 

ඡායා - ටෙනිසන් එදිරිසිංහ

2020/08/05 තරුණි පුවත්පත බලන්න.

******************************

පින් සිතැති ඔබටයි මේ ඇරැයුම

දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා අංගසම්පූර්ණ ඒකකයක අඩුපාඩුවක්

අක්මා බද්ධයන් ⁣මෙරටදී සිදු කිරීමට අවශ්‍ය මානව සම්පත අප සතුව පවතී. ළමා, වැඩිහිටි අක්මා බද්ධ පිළිබඳවම විදෙස් පුහුණුව ලැබූ වෛද්‍යවරු ද සිටිති. එහෙත් ඔවුන්ගේ අත්දැකීම් අපේ රෝගීන් සමඟ බෙදා ගන්නට නොහැකි වී ඇත්තේ පහසුකම් නොමැතිකමිනි. අවැසි පහසුකම් නොමැතිකමින් ම අකාලයේ රෝගීන් මිය යයි.ඇති හැකි අය විදෙස් රටවලට ගොස් ශල්‍යකර්ම කිරීම නිසා විශාල මුදලක් රටින් පිටට ගලා යයි.

ළමා, වැඩිහිටි දෙපාර්ශ්වයම සඳහා අක්මා බද්ධයන් මෙරටදීම සිදු කිරීමට ශල්‍යාගාර පහසුකම්, දැඩි සත්කාර ඒකක, වාට්ටු ඉදිකිරීමට බලධාරීන්ගේ ඇස් ඇරේ නම්...රජයේ, පුද්ගලික අංශයේ දායකත්වය ලැබේ නම් අනවශ්‍ය දේ සඳහා වියපැහැදම් කරන මුදල් මෙවැනි පිංසාර කටයුත්තක් කෙරෙහි යොදවන්නේ නම් එය මොන තරම් පුණ්‍ය කටයුත්තක් ද ? මේ සඳහා දායකත්වය දැක්වීමට සිතැති ඔබට උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ [email protected]   ඊ මේල් ලිපිනය හා සම්බන්ධව ඒ සඳහා දායක විය හැකියි.