මේ ඡන්ද ප්‍රතිඵලයෙන් කාන්තාවන්ට සතුටු වෙන්න පුළුවන්ද?

අගෝස්තු 19, 2020

ලොවක් පාලනය කිරීම විශාල අභියෝගයකි. එය පාලනය කරන්නේ තොටිල්ල පදවන අතක් යැයි

වියත් කියමනකි. මෙය සපථ කරන්නට ලොවටම පළමු ආදර්ශය සපයන්නේ ශ්‍රී ලංකාව නම් වූ පුංචි අපේ ලක් දෙරණය.

ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලොව ප්‍රථම අගමැතිනිය ලෙස වාර්තාවක් තබමිනි.

එම අතීතයට දැන් වසර ගණනකි. ඇයගෙන් පසුව අප රටේ කාන්තා ජනාධිපතිනිය ලෙසින් අභිෂේක ලබන්නේ ඇයගේම දියණිය චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියයි.

ලොවට ආදර්ශයක් වූ අපගේ දේශපාලන වපසරිය තුළ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණද? අපට මෙවර මහ මැතිවරණය අවසන් වන විට එවන් ප්‍රශ්නාර්ථයක් මතු වී පෙනෙයි.

දේශපාලන භූමිකාව තුළ කාන්තා නියෝජනය පිළිබද පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රබලව ඉස්මතු වූ මාතෘකාවකි. අපගේ ජනගහනයෙන් 52.01% ක පමණ කාන්තාවන් ය.

ඒ නිසාම 25% පමණ කාන්තා නියෝජනය වෙනුවෙන් වෙන් කරන්නට ද ප්‍රධාන පක්ෂවලට සිදු වූයේ මේ ප්‍රබලතම සාධකය නිසයි. එහෙත් එම උස් හඬ මෙවර මහ මැතිවරණයට වලංගු නොවූයේ ඇයි දැයි බොහෝ දෙනකු ප්‍රශ්න කරන්නට විය. එය කොතරම් සමාජය තුළ කතා කළත් මාධ්‍ය හරහා කිසිම අවස්ථාවක ඉස්මතු නොවීම විශාල පාඩුවකි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කාන්තා නියෝජනය 13 ක් වුවත් එය මෙවර 11 දක්වා අඩු වී තිබීම සමාජයේ පුළුල් වූ මාතෘකාවක් බවට පත් විය යුත්තකි.

එලෙසින් පාර්ලිමේන්තු වරම් ලබන 11 දෙනා අතරින් කිහිපදෙනකු හැර අනෙක් සියලුම මන්ත්‍රිවරියන් දේශපාලනයට පිවිස ඇත්තේ තම පියා, සහෝදරයා හෝ ස්වාමියාගේ අභාවයෙන් පසුව හෝ අසනීප තත්ත්වයක් නිසා බව දේශපාලන විශ්ලේශකයන් සඳහන් කරයි.

ඔවුන්ගේ විශ්ලේෂණයට අනුව මෙවර මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ මන්ත්‍රිවරියන් සංඛ්‍යාව 08 දෙනෙකි.

තුසිතා විජේමාන්න, විජයකලා මහේෂ්්වරන්, සුමේධා ජයසේන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ශ්‍රියානි විජේවික්‍රම, ශාන්තිනී ස්කන්දරාජා, අනෝමා ගමගේ, චන්ද්‍රානි බණ්ඩාර යන මන්ත්‍රීවරයන්ට මෙවර මන්ත්‍රීධූරයක් හිමි නොවීමය.

මෙවර කැපී පෙනෙන ප්‍රතිඵලයක් සටහන් කරන්නේ සබරගමුවෙනි. එම පළාත නියෝජනය කරමින් මන්ත්‍රීවරියන් හතරදෙනකු පත්වීමය.

රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව වූ 200,977 ලැබූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ජයග්‍රහණය දේශපාලන විශ්ලේෂකයන්ගේ වැඩි කතාබහට ලක්වූ ප්‍රතිඵලයකි.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය දේශපාලනඥයකු වූ රංජිත් සොයිසා මහතාගේ හදිසි වියෝව නිසා ඔහු වෙනුවට තරග කළ මුදිතා ප්‍රිශාන්ති මහත්මිය ද ජයගෙන තිබේ. තවද කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනප්‍රිය දේහපාලනඥයකු වන ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතාගේ අසනිප තත්ත්වය මත ඔහුගේ බිරිය රාජිකා වික්‍රමසිංහ මහත්මිය ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබීම ද විශේෂිත සිදුවීමකි.

තවත් ජයග්‍රහණයක් රත්නපුර දිස්ත්‍රික්කයේ හිමිකරගත්තේ සමඟි ජන බලවේගය නියෝජනය කරමින් තරග කළ තලතා අතුකෝරල මහත්මියගේ ජයග්‍රහණයයි.

මේ හතරදෙනාට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ ගීතා කුමාරසිංහ මහත්මියත්, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියද, මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමඟි බලවේගයෙන් තරග කළ රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය ජය ගැනීම මැතිවරණ ප්‍රතිඵල අතර කැපී පෙනෙයි.

මෙසේ ජයග්‍රහණය කළ 8 දෙනා අතුරින් මෛවර පළමුවරට පාර්ලිමේන්තු වමේ ලබන්නේ රාජිකා වික්‍රමසිංහ, කෝකිලා හර්ෂණි ගුණවර්ධන සහ මුදිතා ප්‍රිශාන්ති මහත්මිය පමණකි. මේ මන්ත්‍රිවරියන් 08 දෙනාට අතර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් රාජ්‍ය ඇමතිවරියක් ලෙසින් පළමු වරට වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පත් කිරිමද කාන්තා නියෝජනය යම් තරමකට හෝ ශක්තිමත් කිරීමට හේතුවක් විය.

ජාතික ජනබලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයක ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත්කර තිබීමද කැපී පෙනේ. එසේම ජාතික සමගි ජනබලවේගයෙන් ඩයනා කුමාරි ගමගේ මහත්මිය ද පත්කර ඇත.

අප මෙවර ඔබට සටහන් තබන්නේ මෙලෙසින් ජයගත් මන්ත්‍රිවරයන් හා ඇමැතිවරියන්ගේ තොරතුරු බිඳකි.

 

 

2020/08/19 තරුණි බලන්න.