ජය ටැඹ කරා යාමට ඔබටත් පහන් තාරකාවක්..

සැප්තැම්බර් 2, 2020

යමකුට ජීවිත සාර්ථකත්වය ලබා ගැනීම සඳහා විවිධ වූ සාධක බලපෑම් කරයි. ඇතැම් විට අපි නොදන්නා දේ අපේ ජීවිතවලට යහපත් ආකාරයෙන් මෙන්ම අයහපත් ආකාරයෙන් ද බලපෑම් ඇතිකර ඇති බව පෙනෙන්නේ කාලයක් ගත වී ඇති විටයි. අප හැම කෙනකුට ම එය එසේ වුවත් ඇතැම් විට එසේ බලපෑමක් ඇති කළ පුද්ගලයෙක්, චරිතයක් හෝ සිද්ධියක් තිබෙන්නට පුළුවන.

එය ඇතැම් අයට හොඳින් මතකයට නඟා ගත හැකි දෙයක් වුවත් තවත් අයකුට එය මඳක් අතීතයට එබී බැලීමෙන් සොයා ගැනීමට සිදු වේ. අපේ ජීවිතවලට ආදර්ශයක් සැපයූ පුද්ගල චරිතයක් සිටීමට පුළුවන. යම් සිද්ධියක් අපේ මනසට තදින් කා වැදී එය අනාගතය උදෙසා පදනම දමන්නක් විය හැකිය. මේ සඳහා ඕනෑ තරම් නිදසුන් සාර්ථකත්වය ළඟා කරගත් මිනිසුන්ගේ චරිත කතා මඟින් සොයා ගැනීමට පුළුවන.

බොහෝ සාර්ථක මිනිසුනගේ චරිත කතා දෙස බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ ඔවුන්ගේ සාර්ථකත්වය උදෙසා ඔවුන්ගේ ජීවිත තරුණ වියේ දී ම පරිවර්තනය වීමට බලපාන පුද්ගලයන් සිටින බවයි. උදාහරණයක් ලෙස දකුණු අපි‍්‍රකාවේ ලෝක පූජිත නායකයකු වන නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතය දෙස බැලිය හැකියි.

ඔහුගේ පියා මිය ගිය පසුව මව විසින් ඔහුව බලා ගැනීම සඳහා දකුණු අපි‍්‍රකාවේ ගෝත්‍රික නායකයකුට, ප්‍රාදේශීය නායකයකුට, යුව රජ කෙනකුට බාර දෙනු ලබයි. එම යුවරජුගේ නිවෙසේ මේ නෙල්සන් මැන්ඩෙලා දරුවා හැදී වැඩෙයි. එහිදී එම නායකයා ඔහුගේ ගමේ, ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු විසඳීමේ දී හැසිරෙන ආකාරය, සංයමය දෙස බලා සිටීමට මේ දරුවා පුරදු වේ. එහිදී මේ දරුවාට යම් දවසක මටත් මගේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මැදිහත් විය හැකි නම් කොතරම් අගේදැයි ඒ පිළිබඳ ආසාවක් ඇති වේ. මුලින් ම සිත තුළ මෙවැනි අදහසක් ඇති වීමට ඔහු හැදී වැඩුණු නිවෙසේ ප්‍රාදේශීය නායකයාගේ නැතිනම් කැපකරු පියාගේ ආභාසය, ආදර්ශය, ඔවදන් ආදිය උපකාරී වී තිබේ.

එතුමා පවසා ඇති පරිදි ඔහුගේ ජීවිතයට ගමේ ජීවත් නොවී, යුවරජුගේ නිවෙසේ හැදී වැඩීමට පරිසරය සකසා දීමට තම මව ගත් තීරණය තමාගේ ජීවිතය වෙනුවෙන් ඇය ගත් වටිනාම ආයෝජනය වෙයි.

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු

 

 

 

2020/09/02 තරුණි බලන්න