වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දියුණු වීමේ සැබෑ වුවමනාව ඉලක්කය වෙත ඔබ ගෙන යාවි...
උපදෙස්
ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක
මොහාන් පල්ලියගුරු
යම් දෙයක් කිරීමට ධෛර්යය, දක්ෂතාව, දැනුම ආදී බොහෝ දේ තිබිය යුතු යැයි අපි දනිමු. එය සෑම කෙනෙක් ම පාහේ හොඳීන් ම දන්නා දෙයකි. එහෙත් මේ කුමක් තිබුණත් යම් ඉලක්කයක් ජය ගැනීම සඳහා ඔබ තුළ වුවමනාවක්, උනන්දුවක් නැතිනම් කොතරම් ඉලක්ක තබාගෙන සිටියත් ඉන් පලක් නොවේ.
තමා යම් නිශ්චිත ඉලක්කයකට යා යුතු බව තමා ම සිහියේ තබාගෙන ඒ වෙනුවෙන් උනන්දුවෙන් කටයුතු කළ යුතුය. එසේ නැතිව ඉලක්කයක් පමණක් තබාගෙන ඒ වෙනුවෙන් කිසිදු වුවමනාවක් නැතිව කරන්නන් වාලේ කටයුතු කිරීමෙන් ඉලක්කය සපුරා ගැනීමට නොහැකි ය.
තමාගේ ජීවිතය පවතින මට්ටමෙන් ඉහළ මට්ටමකට ගෙන යාමට නම් ඔබ තුළ ඒ සඳහා සැබෑ වශයෙන් ම වුවමනාව, ඉලක්කය, උනන්දුව යන සාධක තිබිය යුතුය. බොහෝ අයට වුවමනාව නැතුවා නොවේ. එහෙත් ඔවුන්ගේ වුවමනාව පැහැදිලි නැත. දියුණු වීමට අවශ්‍ය යැයි සිතුවද ඒ සඳහා මම කළ යුත්තේ කුමක්ද? මෙය සැබෑ වුවමනාවක් ද? මම ඒ වෙනුවෙන් කැප වෙනවද? යන ගැටලු පැන නගී.
ජීවිතය යම් සාර්ථක තත්ත්වයක් සඳහා ගෙන යාමට වන වුවමනාව ඔබ තුළින්ම ඇති විය යුතුයි. අශ්වයා ජලය තිබෙන තැනට ගෙයාමට හැකිය. එහෙත් අශ්වයාට ජලය පෙවීමට නොහැකි යැයි කියමනක් පවතී. බොහෝ විට යම් අයකුගේ ජීවිතවල සාර්ථකත්වය ගැන වැඩි වුවමනාවක් ඇත්තේ වෙනත් අයකුටයි.
උදාහරණයකට පෙම්වතුන් යුවළක් ගතහොත් පෙම්වතාගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙනයාමට පෙම්වතිය උත්සාහ දරනවා විය හැකිය. නමුත් පෙම්වතාට මේ සඳහා වුවමනාවක් නැති විය හැකියි. යමකු සාර්ථක පුද්ගලයකු බවට පත් කිරීමට බිරිය ඉතාමත් මහන්සියෙන් කැප කිරීම් සිදු කරමින් කටයුතු කරනවා වන්නට පුළුවන්. ආයතනයේ සේවය කරන සේවක සේවිකාවන් දැනට සිටින මට්ටමෙන් ඉහළට ඔසවා තබන්න, සිටින තනතුරෙන් ඊළඟ තනතුරට ගන්න, ඔවුනගේ වැටුප් තලය ඉහළ නංවන්න ප්‍රධානියාට වුවමනාව තිබුණ ද ඇතැම් විට සේවකයන්ට ඒ වුවමනාව නොතිබෙන්නට හැකිය. දරුවන්ට නැතිනම් ශිෂ්‍යයාට හොඳීන් උගන්වා හොඳ අනාගතයක් උරුමකර දීමට ගුරුවරයාට උනන්දුව තිබුණ ද ශිෂ්‍යයන්ට එම වුවමනාව නැති විය හැකියි.
මේ නිසා ඔබ ඔබෙන් ම ඇසිය යුතු පැනය වන්නේ සැබැවින් ම මට දියුණු වීමට වුවමනාවක් තිබේද? යන්නයි. එලෙසින් යමෙකුට දියුණු වීමට වුවමනාවක් පවතී නම් දියුණුවට බාධා ඇතිකරන දේ කරමින් කාලය වැය නොකරයි. දියුණු වීම සඳහා සැබෑ වුවමනාව ඇති පුද්ගලයා එය ලබා ගැනීම සඳහා උනන්දුවෙන් ක්‍රියා කරයි.
2020/10/14 තරුණි පුවත්පත බලන්න.