දුෂ්කර කාලය ජීවිතයට ලැබෙන තවත් අවස්ථාවක් ද?

මේ උවදුරු කාලය ජීවිතයට වෙස් වලා ගත් ආශීර්වාදයක් කර ගනිමු
නොවැම්බර් 4, 2020

දියුණු වීමට සිතේ සිහින පොදි බැඳගෙන සිටි බොහෝ දෙනකුට මේ වසරේ තම සිහින සැබෑකර ගැනීමට නොහැකි විය. එය කවුරුත් නොසිතූ පරිදි මුළු ලොවට ම මුහුණ දීමට සිදු වූ වසංගත තත්ත්වයකි. මෙවැනි විටෙක කුමක් සිදු වේදැයි අපට නිශ්චිතව ම පැවසිය නොහැකි ය.

එවැනි කාලයක දී ජීවිතය දුෂ්කරව ගත කිරීමට සිදු වන බව නොරහසකි. අපගේ සුපුරුදු ජීවන රටාව වෙනස් වන නිසා ම අපගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපහසු වේ. එමනිසා ඇතැම් අය මේ ගැන සිතා පසුතැවිලි වීමටත්, දියුණුව උදෙසා තිබූ තම උත්සාහය අතැර දමන්නටත්, ජීවත්වන්නන් වාලේ ජීවත් වීමටත් හුරු වේ.

එහෙත් දුෂ්කර අවධි ජීවිතයකට පැමිණෙන්නේ එම ජීවිතය ශක්තිමත් කිරීමටයි. එම ජීවිතයට පන්නරයක් ලබා දීමටයි. මේ වසංගත උවදුරු කාලය ජීවිතයට වෙස්වලා ගත් ආශීර්වාදයක් කර ගැනීමට ඔබට හැකියාව ඇත. එලෙස සිතා කටයුතු කරන්නන්ට ජීවිතය ජය ගැනීම අපහසු නොවේ. අද අපි ඔබව දැනුම්වත් කරන්නේ මෙම දුෂ්කර කාලපරිච්ඡේදය ඔබගේ ජීවිතයට වටිනාකමක් ගෙන දෙන ආකාරයට හැඩගස්වා ගන්නා ආකාරය පිළිබඳයි.

සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් ඇතැයි අපේ ජනවහරේ කියමනක් පවතී. ඉන් පවසන්නේ ද සෑම අභාග්‍යසම්පන්න සිදුවීමක ම යම් සුබදායී දෙයක් ද ඇති බවයි. මෙය අපට ආදර්ශයක් කොටගෙන මේ අවස්ථාවේ දී ක්‍රියා කළ හැකිය. මෙහිදී අප පළමුවෙන් ම කළ යුත්තේ අපගේ සමාජ වගකීම ඉටු කිරීමයි. ඒ සඳහා අප සෑම කෙනකුම තමා කෝවිඩ්19 වෛසරසය ආසාදිතයෙක් නොවී සිටීමට උත්සාහ ගත යුතුය. එමෙන්ම කුමන හේතුවක් නිසා හෝ එම වෛරසය ශරීරගත වී ඇත්නම් එය තමාගෙන් තවත් අයකුට බෝ නොවන තැනට කටයුතු සිදු කිරීමට වගබලා ගත යුතුය. මේ කාරණා දෙක සඳහාම නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වේ. මන්ද අප පරාර්ථකාමීව කටයුතු කරන විට අපේ ආරක්ෂාව ද නිතැතින්ම සැලසෙන බැවිනි. මේ දුෂ්කර කාලයේ දී ජීවිතය අර්ථවත් කරගන්නේ කෙසේදැයි ඔබට යම් ගැටලුවක් පැන නැගී ඇති. කෝවිඩ් වසංගත තත්ත්වය නිම වන විට ලෝකයේ ඉතිරි වන්නේ වර්ග තුනක මිනිසුන් පමණක් විය හැකියි.

මින් එක් වර්ගයක් වන්නේ කෝවිඩ් වසංගත තත්ත්වයට හැඩගැසීමට නොහැකි වීම නිසා තමාගේ ව්‍යාපාර, තමන්ගේ ධනය අහිමි කරගෙන, පවුල් අවුල් කරගෙන මේ වසංගත තත්ත්වය පැමිණීමට පෙර සිටි තත්ත්වයට වඩා ඉතාම අසාර්ථක, දුක්ඛිත තත්ත්වයට පත් වුණු පිරිසක්.

දෙවැනි පිරිස වන්නේ විශේෂත්වයක් නොවුණු පිරිසයි. එනම්, කෝවිඩ් වසංගත තත්ත්වය පැමිණීමට පෙර සිටි තත්ත්වයෙන් ම කෙසේ හෝ මේ කාලයේ දරාගෙන, අල්ලාගෙන සිටීමෙන් පෙර තත්ත්වයෙන් ම ජීවත් වන පිරිසක් බිහි වේවි.

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු

 

2020/11/04 තරුණි පුවත්පත බලන්න