ඔබේ ත්‍යාගය සොයා ජීවිතය දිනන්න..

දෙසැම්බර් 9, 2020

මේ ගෙවී යන කාල පරිච්ඡේදය ලංකාවට පමණක් නොව, මුළු ලොවට ම අභියෝගාත්මක වූ කාල පරිච්ඡේදයකි. මේ කාල පරිච්ඡේදය නිකරුණේ ගත නොකොට ප්‍රයෝජනවත් ආකාරයෙන් අනාගතයට කෙරෙන ආයෝජනයක් ලෙසින් ගත කිරීමට අප උත්සාහ ගත යුතුය.

මනස උසස් නිසා මිනිසා ලෙස මානවයා හඳුන්වයි. එබැවින් මෙවැනි අර්බුදකාරී කාලයන්හි දී අපගේ උසස් මනස මෙහෙයවමින් අපේ පැවැත්ම තහවුරු කරගැනීමත්, මේ පීඩාවලින් ආරක්ෂා වීමත්, අපේ අනාගතය සමෘද්ධිමත් කරගැනීමත් මානවයා විසින් සිදු කළ යුතුයි.

අප දේවල් කරන්නන්වාලේ නොකොට, හැල්මේ නොදුවා ජීවිත අයාලේ යා නොදී නිවී සැනසිල්ලේ සිතා නිවැරැදි ලෙස කටයුතු කිරීමෙන් අනාගතය සාර්ථක කරගැනීම සිදු කළ යුතුය.

එබැවින් සමාජ වගකීම් ප්‍රථමයෙන් ම අප විසින් ඉටු කළ යුතුය. මේ වසංගත තත්ත්වයෙන් බේරීම සඳහා අප විසින් අනුගමනය කළ යුතු දේ සෞඛ්‍ය අංශ මඟින් දන්වා ඇත.

එම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අප විසින් සිදු කළ යුතු කාර්යයකි. අතීතයේ පටන් ම ඇති, සොබාදහමේ රීතියක් වන්නේ පවතින තත්ත්වයට අනුගත විය නොහැකි සත්ත්වයන් වඳ වී යන බවයි.

නැතිනම් විනාශ වී යන බවයි. මේ පවතින තත්ත්වයට අනුගත විය නොහැකි වුවහොත් අපිටද එම රීතියට යටත් වීමට සිදු වන බව මතක තබා ගත යුතුය.

දෙවනුව පවතින සමාජ වගකීම වන්නේ තමා පමණක් නොව, තමා අවට සිටින්නන් ද ආරක්ෂා කිරීමයි.

එනම් තමාගෙන් සමාජයේ කිසිවකුට අවැඩක් නොකිරීමයි. එය මේ දිනවල දී නම් තමා තුළ වෛරසය ඇතැයි සිතා අනෙක් අයගේ පරෙස්සම ගැන සිතා හැසිරීමයි.

මේ කාලය ඔබේ ජීවිතයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා යොදා ගන්නේ කෙසේදැයි මඳක් සිතා බලන්න.

ඔබට මේ දේවල් දෙස නිදහසේ සිතීමට දැන් කාලය ලැබී ඇත. ඇතැම් විට ඔබ දැන් රැකියාවක් කරනවා නම් ඒ ඔබට එම මොහොතේ දී ලැබුණු රැකියාව නිසා දිගටම ඔබ එම රැකියාවේ නියුතු වූවා විය හැකිය. එහෙත් ඔබ ආසා කරන, ඔබගේ දක්ෂතා මත කිරීමට හැකි, එම රැකියාව නොවනවා වන්නට පුළුවන්.

රාජකාරිමය වශයෙන් තිබුණු කාර්යබහුලතාව ඔබට ඒ ගැන සිතන්නටවත් කාලයක් දී නොතිබෙන්නට ඇති. රාජකාරියෙන් ඔබට යම් නිදහසක් ලැබී ඇත්නම්, ඔබට රැකියාව අහිමි වී ඇත්නම්, ඔබ මේ පවතින තත්ත්වය නිසා නිවෙසට වී කාලය ගත කරන කෙනෙක් නම් මා සතුව ඇති දක්ෂතා මොනවාද, ඒ දක්ෂතා උපයෝගී කරගනිමින් මේ ලෝකයට මට කළ හැකි සේවය කුමක්ද? එය කරන ගමන්ම මට ජීවත් වීම සඳහා යම් කිසි මුදලක් ඉපයිය හැකිද? යන්න පිළිබඳ මඳක් සිතන්න.

එම දේවල් කොළයක පිටපත් කරගන්න.

ලෝක පූජිත චිත්‍රශිල්පියකු වන පිකාසෝ වරක් පැවසුවේ මිනිසුන්ගේ ජීවිතවල ඇති උත්කර්ෂය, වටිනම දේ වන්නේ තමා දක්ෂ කුමටදැයි කියා සොයා ගැනීම හා ඒ දක්ෂතාවයෙන් ලෝකයාට සේවයක් කිරීමට ක්‍රමයක් සොයා ගැනීම බවයි.

ඇත්තට ම දක්ෂ දේ කුමක්දැයි සොයාගෙන ඉන් ලෝකයාට සේවය කිරීමට සිතා ගත හොත් එය ඔබට ලැබෙන ත්‍යාගයක් හා සමාන වේ. මෙලෙසින් ඔබේ දක්ෂතාවෙන් ඔබ ලෝකයට සේවය කිරීමේ දී ඉන් වෙහෙසක් ඇති නොවේ. ඉන් ඉහළ තෘප්තියක් ඔබට ලබා ගත හැකි වේ. පිකාසෝ පවසන්නේ, ජීවිත අරමුණු වන්නේ ඔබ ඔබේ ජීවිතයේ ත්‍යාගය සොයා ගැනීම හා එම ත්‍යාගය භාවිතකර ලෝකයට සේවය කිරීමත් ඉන් තෘප්තියක් ලබාගැනීමත් වන බවයි.

මේ සඳහා හොඳම නිදර්ශනය අපේ රටෙන්ම ලබා ගත හැකියි.

ඒ අප කවුරුත් හොඳීන් ම හඳුනන ආචාර්ය පබ්ලිස් සිල්වා මහතාය.

තමා කුමන දේකට දක්ෂතා දක්වන්නේ දැයි සොයා ගැනීමට ඔහු සමත් විය. ඉවුම් පිහුම් සඳහා එනම් මිනිසුන්ට රසවත්ව ආහාර සැකසීමට තමාට දක්ෂතාවක් ඇති බව ඔහු විසින් ම සොයා ගැනීමට සමත් විය.

මිනිසුන්ට රසවත් ආහාර වේලක් සකසා ඒවා රස විඳීන මිනිසුන් සතුටුවන ආකාරය දෙස බලා තෘප්තිමත් වීමට ඔහුට හැකි වුණා. මෙය තමයි තමාගේ දක්ෂතාවයෙන් අනෙකාට සේවය කිරීම.

ප්‍රතිඵලය වන්නේ, ඔහු ආචාර්ය උපාධියකින් පවා පිදුම් ලබන ආකාරයේ පුද්ගලයකු බවට පත් වීමයි.

ඔබට ද මෙලෙසින් මේ කාල වකවානුවේ දී තමාගේ ත්‍යාගය කුමක්දැයි සොයාගෙන ඉන් ලෝකයාට සේවයක් කිරීමට හැකි නම් අපි ඉතාමත් සතුටින් ජීවත්වන පුද්ගලයෙක් බවට පත්වේ.

එපමණක් නොව, ලෝකයට සේවයක් කිරීමට හැකියාව ඇති පුද්ගලයෙක් බවට ද පත් වේ.

මේ නිසා අප මේ කාලය යොදා ගත යුත්තේ අපේ සැබෑ හැකියාව කුමක්දැයි සොයා ගැනීමටයි. සත්‍ය දක්ෂතාව මේ කාලයේ දී ඔබට සොයා ගැනීමට පහසු විය හැකිය.

ඇතැම් විට මෙතෙක් කලක් සැඟවී තිබූ ඔබේ යම් දක්ෂතාවක් මේ අසීරු කාල සීමාවේ දී ඔබට ද හොරෙන් කලඑළි බැස තිබෙන්නට පුළුවන.

ඇතැම් විට ඔබ සිදු කරන යම් යම් දේ ඔබේ හැකියාවක් බව ඔබට නොසිතෙන්නට ද පුළුවන. එමනිසා විවේකීව මේ පිළිබඳ සිත යොමුකර තමාගේ දක්ෂතා හඳුනා ගන්න.

එම දක්ෂතා ලෝකයට සේවයක් සිදුකරන ආකාරයෙන් යොදවන්නේ කෙසේදැයි සිතන්න. විවේකීව සිතා වඩා හොඳ ආකාරයෙන් ඔබේ දක්ෂතා සේවයක් බවට පරිවර්තනය කරන්න. අනෙක් සාර්ථකත්වයන් නොදැනීම ඔබ සොයා පැමිණෙන්නට මේ ආරම්භය වැදගත් වේ.

ඔබ ව්‍යාපාරයක් කිරීමට සිතන අයෙක් නම්, එම ව්‍යාපාරයේ සැලසුම්, ප්‍රාග්ධනය සොයන ආකාරය, වෙළෙඳපොළ ගැන ආදී දේ සිතා සැලසුම් සකස් කළ හැකිය.

සිහින යතාර්ථයක් බවට පරිවර්තනය කිරීමට හැකි කාලයක් දැන් ඔබට ලැබී ඇත. එම කාලය ප්‍රයෝජනයට ගෙන තම දියුණුව සලසා ගැනීමට ඔබ විසින් මේ කාලය යොදවනවා නම් එය අනාගතය වෙනුවෙන් කෙරෙන හොඳ ආයෝජනයකි.

වඩාත් වැදගත් දේ වන්නේ ගං වතුරක් ගැලූ විට ගංවතුර බැස යන තෙක් බලා සිටින්නා සේ නොසිට මේ වසංගත උවදුර හමාර වනතෙක් බලා නොසිට මේ කාලපරිච්ඡේදය අපේ අනාගත ඉලක්ක කරා යාමට හෝ ඒ සඳහා සූදානම් වන හෝ අනාගත ඉලක්ක කරා යන ගමන සැලසුම් කරන කාලපරිච්ඡේදයක් බවට පත්කර ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ පවසන්නේ ඔබ සූදානම් නම් ඕනෑම වේලාවක් හොඳම වෙලාවක් වන බවයි.

එමනිසා හොඳ වේලාවක් එනකම් යැයි බලා සිටීම අනුවණකමකි. පවතින තත්ත්වය යටතේ වඩා හොඳ දේ කරමින් ඒ වෙලාව අපේ ජීවිතයේ හොඳම වෙලාව කරගැනීමට අප විසින්ම කටයුතු කළ යුතුය.

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු