කොරෝනාවලට බෙහෙත් හදන්න අවසරය ලබා දුන්නේ කාන්තාවක්

ලෝකයම කතා කරන කොරෝනා පැණිය හැදූ ධම්මික බණ්ඩාර මහතා
දෙසැම්බර් 23, 2020

 

රැලි පිට රැලි නැගෙමින් කොරෝනා වෛරසය ලොව පුරා පැතිරෙද්දී මේ වන විට කෝටි හත හමාරකට ආසන්න ප්‍රමාණයක් රෝගයට ගොදුරුව ලක්ෂ පහළොවකට අධික ගණනක් මරුමුවට පත්කර අවසන්.

ලෝකයේ තුනෙන් එකකට ආසන්න මිනිස් ජීවිත කොරෝනා වෛරසය විසින් බිලි ගන්නා බවට ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

"කෑගල්ලේ ධම්ම්ක බණ්ඩාර වෙදමහත්තයා කොරෝනාවට බෙහෙතක් හොයාගෙන ලු..."

ලෝකයේ තාක්ෂණය අතින් දියුණු රටවල වෛද්‍ය විශේෂඥවරු, විද්‍යාඥවරු කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගන්නට වෙහෙසෙද්දී අපේ රටේ කෙනෙක් ඖෂධයක් සොයා ගැනීම සැබැවින්ම සතුටට කරුණකි. මේ පුවත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමඟ එය අපේ රටේ වැඩියෙන්ම කතා බහට ලක්වුණු පුවතක් බවට පත්විය. ඒ සමඟම මෙය ජනාධිපති තුමන්ගේ ද අවධානයට ලක්වුණු අතර මේ වනවිට එය ලෝකයම කලඹන මාතෘකාවක් බවට පත්වී තිබේ.

ධම්මික බණ්ඩාර මහතා පසුගියදා මේ බෙහෙත ජනතාව අතර බෙදා හැරීමට කටයුතු කර තිබූ අතර සමාජ මාධ්‍ය ජාලයන් හි එම ඖෂධය පිළිබඳවත්, ධම්මික මහතා පිළිබඳවත් විවිධ වූ තොරතුරු හුවමාරු විය. ඒ සමඟම ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සෑම සියලු දෙනාම කතාබහ කරන ධම්මික මහතා විසින් සොයාගත් දේශීය ඖෂධයේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳව මේවන විටත් මහත් ආන්දෝලනයකට තුඩුදී තිබේ. මෙහි සැබෑ තත්ත්වය කුමක්ද? ඒ බව දැනගැනීමට කෑගල්ලේ උඩුකුඹුර පිහිටි එතුමන්ගේ නිවෙසට පසුගියදා තරුණී අපි ගොඩවැදුනෙමු.

ගෙවත්තට පිවිසෙන්නටත් පෙර ඒ ආසන්නයේදීම නැහැයට මීපැණි, සාදික්කා සුවඳ සමඟ හෙළ ඔසුවල සුවඳ දැනිණි. නිවෙසේ පසෙක කාල ප්‍රමාණයේ වීදුරු බෝතල් ගොඩ ගසා ඇති අතර, පිරිසක් මී මැස්සන් සේ යුහුසුලුව වැඩ කරනු නෙත ගැටේ. පිරිසක් සාදික්කා ගෙඩි කපා ඇට ඉවත් කරන අතර තවත් පිරිසක් මීපැණි බෝතල් වලින් ගෙන භාජනවලට දමමින් සිටිති.

නිවෙසින් එළියට බැස ආයුබෝවන් කියමින් අප පිළිගත් මේ වන විට වඩාත් කතා බහට ලක්වුණු ධම්මික මහතා අප ගෙතුළට කැඳවාගෙන ගියේය. අප අසුන් ගත් පසු එතුමන් අපට ලෝකයේම ආන්දෝලනයක් ඇතිකළ ඒ ඖෂධය පානය කරන්නට ලබා දුන්නේය. සැබැවින්ම එය ඉතා මිහිරි රසයකින් යුතුය. එම බෙහෙතට කොරෝනා රෝගය සුව කළ හැකි නම් එය සැබැවින්ම අපේ රට ලෝකයේ ඉහළටම ඔසවා තබන සොයාගැනීමක් වනු ඇති. මේ ඒ පිළිබඳව ධම්මික මහතා කළ හෙළිදරව්වයි.

මුලින්ම ඔබතුමා ගැන හැඳින්වීමක් කරන්න.

"මම ධම්මික බණ්ඩාර. බොහොම දුප්පත් පවුලක ඉපදුණු කෙනෙක්. සහෝදර සහෝදරියන් 13 දෙනෙක්ගෙන් යුතු පවුලක අටවැනියා මමයි. මගේ තාත්තා දකුණු පළාතේ. පප්පා කියලයි මම කියන්නේ. අම්මා උඩරට. මම ඉපදිලා මාස 10ක් ඉඳලා මාව ඇතිදැඩි කළේ කිරිඅම්මා. මගේ බිරිය පුෂ්පා ශ්‍රියාණි. ඇය මට මුණගැසුණේ පාසල් ප්‍රේමයෙන්. මගේ සියලු කටයුතු සඳහා හොඳ සහයෝගයක් ලබාදෙනවා. මගේ දුව සහ පුතා විවාහකයි. මගේ බෑණා හදිසි අනතුරකින් නැතිවුණා. මට දැන් මුණුබුරු මිණිබිරියො පස්දෙනෙක් ඉන්නවා."

ඔබේ ළමා කාලය, තරුණ අවදිය ගෙවීගියේ කොහොමද?

"මම පුංචි සංදියේ ඉඳලම කෑගල්ලේ මාකූරේ පංසලේ හැදීවැඩුණේ. ලොකුහාමුදුරුවො තමයි මට අකුරු කියෙව්වෙත්. පසුව අධ්‍යාපනය ලබන්න හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයට ගියා.

ගැටවර වියේදී මම ක්‍රීඩාවට දක්ෂයි. මැරතන් වගේම බයිසිකල් රේස් ගණනාවකින්ම පිට පිට ජයග්‍රහණ ලැබුවා. මම කොළඹ ඉඳලා කෑගල්ලට පයින් ඇවිත් තියෙනවා. රැකියාව විදිහට කළේ පෙදරේරු වැඩ, වඩුවැඩ සහ ලී කැටයම් වැඩත් මට පුළුවන්."

ඔබතුමා දේශීය වෛද්‍ය වරයකු ලෙස කටයුතු කරනවාද?

"මම දේශීය ඖෂධ මඟින් මාවෙත පැමිණි බොහෝ රෝගීන් සුවපත්කර තිබෙනවා. පිළිකා රෝගීන්, ඩ්ධ්ඍ ආසාදිතයන්, දරුණු හිසේ අමාරු, සෙම් රෝග වගේ. ඒත් මම ඔය කියන වෛද්‍යවරයකු නොවෙයි. මට යම්කිසි අධ්‍යාත්මික බලයක් තියෙනවා. ඒ ශක්තිය උපයෝගී කරගෙනයි මා ප්‍රතිකර්ම සිදුකරනුයේ. මේ සඳහා අවුරුදු 21 අත්දැකීමක් මා සතුයි."

එම අධ්‍යාත්මික බලය හා බැඳී අත්දැකීම සිහිපත් කළොත්?

"ඒ 1999 වසර. මම පෙදරේරු වරයෙක් විදිහට වැඩකරන මුල් කාලේ වගේ තමයි මේ සිදුවීම වුණේ. කෑගල්ල රංවල ගමේ හිතවතකුගේ නිවෙසක් ඉදිකිරීමට මට බාරදුන්නා. ඒ අවුරුද්දේ ජනවාරි 26 මම නැකතට මුල්ගල තිබ්බා. තරමක් ඇඟට තෙහෙට්ටුවකුත් දැනුණා. එතරම් ගණන් ගත්තේ නැහැ. ටික වෙලාවකින් කලන්තය දාලා මම වැටුණා. මහන්සිය නිසා වෙන්න ඇති කියලා හිතුවා. ඒ කාලෙම තව තැනක වැඩ කළා. පෙර වගේම කලන්තය හැදුණා. එදා මාව කෑගල්ලේ රෝහලට ගෙනිහින්. ධ්ඛ්උ ප්‍රතිකාර ගත්තා. මේ අතර අම්මා මගේ වේලපත්කඩ බලවලා. "පුතාට බොහොම අපල කාලයක්. ජීවිතය වුණත් අවදානම්" දෛවඥයා එහෙම කියලා තිබුණා. කොහොමහරි එතුමා තවත් දෙයක් කියලා තිබුණා. ඒ මට නැතිවුණ කිරිඅම්මාගෙන් වරමක් ලැබෙන්න තියෙනවා කියලා. ඒ දවස්වල ඒක මම එතරම් ගණන් ගත්තේ නැහැ. ඒත් දවසින් දවස වුණ සිදුවීම් එක්ක මට ඒ දේවල් විශ්වාස කරන්න වුණා. දවසක් මුන්නේශ්වරම් ගියා. භද්‍රකාලි මෑණියන්ගේ වරමක් මට තියෙන බව දැනගන්න ලැබුණා. එදා යම් යම් සිදුවීම් කීපයක්ම වුණා. නොපිළිගත්ත දේ පිළිගන්නට වුණා. මම අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයටත් නිතර යනවා. දැන් මට සත්‍යපල වරම් ලැබිලා. මම බුදුන් දෙවියන් අදහන කෙනෙක්. මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා අධ්‍යාත්මික බල මහිමයෙන් කටයුතු කරනවා."

කළු ඔයේ නාවනවා යැයි ප්‍රසිද්ධියට පත් කතාව මොකක්ද?

"මට ලැබුණ වරම් බලයෙන් තුන්මෝදර, ඇතිවත්ත, උඩුවගම ගමේ භද්‍රකාලි දේවාලයක් පවත්වාගෙන යනවා. දවසක් දෙන්නෙක් ඉබිමස් අනුභව කරලා මගේ සත්‍යතාව බලන්න ආවා. වැට මායිමට ඇතුළුවන කොටම මම ඔවුන් හඳුනා ගත්තා.

ඔය කියන කළු ඔයේ ඔබලා පිරිසුදු කරලයි දේවාල භූමියට ගත්තේ. මස් මාංස අනුභව කරලා මත්පැන් මත්ද්‍රව්‍ය අරගත් කිළිටි අයෙක් ආවොත් කළු ඔයේ නාවලා තමයි ඇතුළට ගත්තේ ."

ඔබතුමා කොරෝනා රෝගයට ප්‍රතිකාර කිරීමට යොමුවුණේ කොහොමද?

"අපේ රටේ මුල්ම කොරෝනා රෝගියා වුණේ සංචාරක ක්ෂේත්‍රයේ මඟපෙන්වන්නෙක්. ඔහු හා පළමු ආශ්‍රිතයන් එකොලොස් දෙනෙක්ගෙන් එක් අයකු මා වෙත පැමිණියා. ඔහු අවුරුදු 21ක තරුණයෙක්. ඔහු මා වෙත එනවිටත් ගඳ සුවඳ, රසය නොදැනීම, උගුරේ අපහසුව, හුස්ම ගැනීමේ අපහසුව, ඔළුව කැක්කුම, ඇඟපත හිරිවැටීම වගේ රෝග ලක්ෂණ තිබුණා. මම ඒ වෙලාවේ දැනගත්තා මොහුට කොරෝනා වෛරසය ඇතුළත් වෙලා කියලා. ඒත් ඒ බව නොකියාම බෙහෙත් කළා. සම්පූර්ණ සුවවූවාට පසුවයි දැනගත්තේ ඔහුට හැදුණේ කොරෝනා කියලා. අදටත් මට මේ ඖෂධ හදන්න ඔහු උදව් කරනවා. මීපැණි හොයලත් ගෙනත් දුන්නා."

මීට අමතරම මේ ඖෂධ ලබාදුන් අවස්ථා තිබේද?

"ඔව්. වැලිසර නාවික හමුදා පොකුරට ලබා දුන්නා. ඒත් ඒක ප්‍රචලිත කළේ නැහැ. කොහොම හරි මුලින් දැනගත්ත රාජ්‍ය නිලධාරින්, දේශපාලනඥයන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය යන ක්ෂේත්‍රවල අය හා ඔවුන්ගේ ඥාතීන් මගෙන් ඖෂධය ලබා ගෙන තියෙනවා. ඒ ඡායාරූප, වීඩියෝ දර්ශන මා ළඟ තිබෙනවා."

සායනික පරීක්ෂණවලින් තහවුරු කළේ කොහොමද?

"වතුපිටිවල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය අධිකාරී චූල බණ්ඩාර, වතුපිටිවල කෝවිඩ් ප්‍රතිකාර ඒකකය බාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධම්මික කුමාර, කොළඹ ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සමන්දි සමරකෝන් යන මහත්ම මහත්මීන් මැදිහත් වීමෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කොරෝනා රෝගීන් 140ක් සම්බන්ධ කර ගනිමින් පළමු පරීක්ෂණය සිදුකළා.

ඒ ර්‍ථඛ්අ පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී දින 6ක් ගතවූ රෝගීන්ට දින 03ක් අඛණ්ඩව දවසට දෙවරක් බැගින් මෙම ඖෂධය පානය කිරීමට දීමෙනි. පසුව අහඹු ලෙස තෝරාගත් දස දෙනෙකුගේ ර්‍ථඛ්අ පරීක්ෂණයේ කෝවිඩ් වෛරසය ඉවත් වී ඇති බව තහවුරු වුණා.

දෙවැනි පරීක්ෂණ වටයේදී ගම්පහ රෝහලේ මහාචාර්ය අරුණ මුණසිංහ මහතාත් එකතුවුණා. එහිදී නැවත 25 දෙනකුට මේ ඖෂධයත් තව 25 දෙනෙකුට ආදේශක ඖෂධයකුත් ලබා දුන්නා. එහිදී අහඹු නියැදියකින් ලබාගත් ර්‍ථඛ්අ පරීක්ෂණ 16ක්ම නෙගටිව් වුණා. ඒ ආකාරයට විද්‍යාත්මකව ඖෂධය සාර්ථක බව තහවුරු වුණා.

දැන් මට මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි. එවිට මම අපේ රටේ සියලුම ජනතාවට නොමිලයේ මේ ඖෂධය සාදා දෙන්න සූදානම්. මට අවශ්‍ය කොරෝනාවෙන් මගේ රටට වන විපත වලක්වා ගැනීමටයි."

මුහුණු පොතේ මේ දිනවල ඔබේ ඖෂධ වට්ටෝරුව පලකළා යැයි ප්‍රචාරය වෙනවා.

"නැහැ. ඒක බොරුවක්. කිසිදු වට්ටෝරුවක් මා කිසිවකුට ලබාදී නැහැ. දැනට මම කියන්නේ මීපැණි සහ සාදික්කා ගැන පමණයි. අවශ්‍ය වූ වෙලාවට මම නියම බෙහෙත් වට්ටෝරුව ඉදිරිපත් කරන්නම්. එතෙක් ඔබ මුහුණු පොතේ කියන බොරු බෙහෙත් වට්ටෝරු ඖෂධ ලෙස ගන්නට එපා. ඒ වගේම මම මේ බෙහෙත ලබා දෙන්න මුදල් ගන්නා බවටත් පලවී තිබුණා. නමුත් මම මේ බෙහෙත ලබා දෙන්නේ නොමිලේ."

ඔබේ මේ ඖෂධීය පානය හඳුන්වන නම මොකක්ද?

"ශ්‍රී වීර භද්‍ර ධම්ම කොරෝනා නිවාරණ සත්‍යජීව පානයයි. ශ්‍රී ලංකාවේ ඖෂධයක් නිසා ශ්‍රී කියන අකුරත් ශ්‍රී වීර මහා භද්‍රකාලි මෑණියෝ දුන්න බලය නිසා වීර භද්‍රත් මෙයට නිර්භයව මුල්වූ උදව් උපකාර කරන බටහිර වෛද්‍යවරයාගේ නමින් ධම්ම කියන වචනයත් අරගෙනයි ඖෂධීය පානයට මේ නම භාවිත කළේ.

මෙම ඖෂධයේ ප්‍රමිතිය කෙසේද?

"මම වගකීමෙන් කියනවා මේ පැණියට කිසිදු රසකාරකයක්, කල්තබා ගැනීමේ අමුද්‍රව්‍යක් යොදා නැති බව. දිගුකාලීන ඖෂධ ගන්නා කෙනකුට වුවත් එම ඕනෑම ඖෂධයක් භාවිත කරන ගමන් මේ ඖෂධය පානය කිරීම අසාත්මික වෙන්නේ නැහැ. . කිසිසේත්ම අතුරු ආබාධ ඇතිවෙන්නේත් නැහැ. නිරෝගී අයකු නම් දින දෙකක් උදේ හවස මේස හැන්දෙන් එක බැගිනුත් කොරෝනා හැදිලා ඉන්න කෙනෙක් නම් දින තුනක් උදේ හවස මේස හැන්දෙන් එක බැගිනුත් ලබා ගත්තේහෝ නියමිත මාත්‍රා වලට අනුව මේ ඖෂධ ලබාගන්නේ නම් කොරෝනා වෛරසය ජීවිත කාලයටම ඇතුළු වන්නේ නැති බව මා විශ්වාසයෙන් කියා සිටිනවා."

පසුගියදා ඖෂධය දන්සලක් ලෙස ලබාදුන්නා නේද? එහෙත් තවම අනුමැතිය ලැබී නැති බව ඇත්තක්ද?

"මට ඕනේ වුණේ පළමුව මගේ රටේ සියලුම ජනතාව කොරෝනා මාරයාගෙන් බේරගන්න. මේක ජීවිත අවදානමක් ඇති කරන රෝගයක්. පසුගියදා පවුල් 7667කට මම මේ බෙහෙත නොමිලයේ ලබා දුන්නා. මම නිරෝදායන නීති කඩකරන්නේ නැහැ. හැකි ඉක්මනින් රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු කරන්න. අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ වත්මන් ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිසිදු විදේශිකයකුට හිස නමන්නේ නැතුව යුද්ධය අවසන් කළා. ඒ වගේම මේ ව්‍යසනයෙනුත් රට බේරගන්න යහපත් තීරණයක් ගනීවි යැයි මා අපේක්ෂා කරනවා. "

කොරෝනා ව්‍යසනය හමුවේ කාන්තාවගේ කාර්යභාරය කෙබඳු වියයුතුද?

"පවුලක ශක්තිය කාන්තාවයි. ගෙදර බුදුන් අම්මා. ඇය තමන් අදහන ධර්මයට අනුව පවුල පවත්වාගෙන යනවා නම් අද තියෙන ගොඩක් ව්‍යසන අඩුයි. මගේ මේ ශ්‍රී වීර භද්‍ර ධම්ම කොරෝනා නිවාරණ සත්‍යජීව පානය මට හදන්න අවසරය ලබා දුන්නෙත් කාන්තාවක්. ඒ ශ්‍රී වීර මහා භද්‍රකාලි මෑණියෝ. ගෘහණියක් තම ගෘහය තුළ සැබෑ විශ්වාසයකින් අදහන ධර්මයට අනුව සාරධර්ම, ගුණධර්ම, මානුෂීය ධර්ම වලට අනුව කටයුතු කරන්නේ නම් පවුලම යහපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍ර දේශනාවෙන් ඒ බව මැනවින් දේශනා කර තිබෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ පිහිටා ඇය ජීවත් වේනම් ඒ ගෙදරට ශ්‍රී දේවිය වඩිනවා.

නිවෙස පිරිසුදු කරගෙන හැකි නම් නිර්මාංස ආහාර වලට මුල්තැන ලබාදී පලාවර්ග, කොස් පොලොස් එකතුකරගෙන ආහාර පිසින්න. පිරිමි පාර්ශ්වය මත්පැන්, මත්ද්‍රව්‍යවලින් අත්මිදෙන්න.

ඉඟරු, කොත්තමල්ලි කෝප්පයක රස බලන ගමන් පවුලක් විදිහට සතුටු සාමීචියේ යෙදෙන්න. බොහෝ ව්‍යසන ගෙදරට ගන්නේ ඔබේ අත්වැරැදීම් වලින්.

ඒවා හදාගෙන යහපතෙහි යෙදෙන්න. අද කාලීන අවශ්‍යතාව යහපතෙහි හැසිරීමයි.

කතාබහ අවසානයේ ධම්මික මහතා අප නිවෙසින් පිටතට කැඳවාගෙන ගියේ මේ ඖෂධය පිළියෙල කිරීමේ කටයුතු පිළිබඳව විස්තර කිරීමටයි.

‘‘ මේ තියෙන්නේ සාදික්කා ගෙඩිය. බොහෝ දේශීය වෛද්‍යවරුන් ඖෂධ සඳහා සාදික්කා වල ගන්නේ ඇටය සහ වසාවාසි කියන කොටස් පමණයි. ඔවුන් සාදික්කා ලෙල්ල වීසි කරනවා. ඒත් මම ගන්නේ මේ සාදික්කා ලෙල්ල සහ වසාවාසි ටිකයි.

මේ සඳහා ගන්න අනෙක් ද්‍රව්‍ය වන්නෙ මී පැණි. සමහර වෛද්‍යවරු කියලා තියෙනවා මීපැණි උණු කරන්නේ නැහැ කියලා. ඒත් මී පැණි උණු කළාට, දිය කළාට කිසිම අගුණයක් නැහැ.

අපි මුලින්ම මේ ඖෂධය හැදුවේ මෙන්න මේ බ්ලෙන්ඩරය ආධාරයෙන්. විමල් වීරවංශ ඇමැති තුමා ඒ සඳහා අපට යන්ත්‍රයක් ලබා දුන්නා.

ඒක දැන් තමයි සවි කරලා අවසන් කළේ.

අපේ රටේම නිෂ්පාදිත යන්ත්‍රය සිහින් හඬක් නඟමින් ක්‍රියාත්මක වෙයි. එයට සාදික්කා ලෙලි දැමූ විට අපූරුවට ඉස්ම පිටතට ගලා යයි.

‘‘මම ඉල්ලන්නේ මේ ඖෂධය පිළිබඳව පරීක්ෂණ අවසන් කරලා අපේ ජනතාව මේ කොරෝනා වසංගතයෙන් බේරාගන්න ඉක්මනින් අවස්ථාව ලබා දෙන්න කියලයි.‘ ‘

අප සමුගන්නා මොහොතේදී ධම්මික මහතා කළ ඉල්ලීම එයයි.

 

 

සටහන - අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

ඡායා  - ශාන් රූපස්සර