බාධකයට බාධාවක් වෙමු...

නව වසරට නව ඇරැඹුමක්..
දෙසැම්බර් 30, 2020

2020 වසර ගෙවී ගියේ බලාපොරොත්තු නොවූ ආකාරයේ නුහුරු, අඳුරු අත්දැකීම් සම්භාරයක් සමඟිනි.

මෙලෙසින් මුහුණ දීමට සිදුවූ අභියෝග හමුවේ වසර ගෙවී ගියේ කෙසේදැයි සිතා ගැනීමට ද නොහැකි තරම් ය. එහෙත් නව වසර ගැන බොහෝ අයගේ සිත් තුළ ඇත්තේ අලුත් බලාපොරොත්තුවකි. වසරක් ගෙවී නව වසරක් ලැබීම ජීවිතයකට විවිධාකාරයෙන් බලපායි. බොහෝ දෙනෙක් මෙය මෙතෙක් තමාට කළ නොහැකි වූ විවිධාකාර දේ කිරීමට හැකි වසරක් බවට පත්කර ගනී. නව වසරක්... නව මිනිසෙක්... යන සංකල්පය සිත්හි දරාගෙන කටයුතු කිරීමට අපට හැකියාව ඇත. ඒ සඳහා අප සැලසුම් සහගතව වැඩ කළ යුතුය. සමහර අය කොරෝනා වසංගතයේ අත්දැකීම් නිසා බිඳවැටෙද්දී, අසාර්ථක වෙද්දී ඇතැම් පුද්ගලයන් එය අවස්ථාවක් කරගනිමින් ජීවිතයේ තවත් එක් අත්දැකීමක් පමණක් බවට පත්කරගෙන පවතින තත්ත්වයට අනුගත වෙමින් ගමනක් යනවා.

ගසකට දුෂ්කර කාලයන් පැමිණෙද්දී.. එම ගස තමාගේ පැවැත්ම වෙනුවෙන් පත්‍ර හලා ගනී. එහෙත් තව දුරටත් නියඟය දැඩි වෙද්දී දැඩි සටනක් දීමෙන් අනතුරුව ගස මිය යාමට පටන් ගනී. එහෙත් ගසකට වඩා දියුණු ජීවියෙක් වන මිනිසාට තමාට පාලනය කළ නොහැකි සිද්ධි අබිමුව තමාගේ හැසිරීම පාලනයකර තත්ත්වය වෙනස් කිරීමට හැකියාව පවතී. කොරෝනා වෛරසය ද එවැනි අභියෝගාත්මක තත්ත්වයකි.

2021 වර්ෂයත් 2020 වසර මෙන්ම ගෙවී යාමට ඉඩ හරිනවාද? එසේත් නැතිනම් අපේ චර්යාවන්, පුරුදු ආදිය වෙනස් කරගෙන අපි අපේ ගමන යනවාදැයි තීරණය කළ යුතුය.

අපි හිතමු යම් කිසි කාරණයකට ඔබට ගාලුපාර දිගේ මාතර සිට කොළඹට ඒමට සිදු වෙනබව. එහිදී අතරමඟ ප්‍රදේශයකට තදින් වැසි වැටීම නිසා දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ නම්, ඔබ කොළඹට එන මාර්ගය වෙනස් කිරීමට සිදුවේ. අනිවාර්යයෙන් ම ඔබට විකල්පයක් භාවිත කිරීමට සිදු වේ. දැන් අපි ඒ විකල්ප මොනවාදැයි බලමු.

ඇතැම් විට ඔබ එම ජලය පිරුණු ප්‍රදේශයෙන් ගමන් කිරීම සඳහා බෝට්ටුවක්, ඔරුවක් වැනි දෙයක් භාවිත කළ හැකිය. එසේත් නැතිනම් ගාලුපාර මඟහැර අධිවේගී මාර්ගයේ කොළඹට ඒමට සැලසුම් කළ හැකියි. මෙයට අමතරව හිනිදුම, දෙනියාය හරහා මතුගම ඔස්සේ වෙනත් මාර්ගයකින් කොළඹට එනවා වන්නටත් පුළුවන්. මේ සියල්ලට අමතරව ඔබ මඳක් දුර මාර්ගයක් වුවද හම්බන්තොට, ඇඹිලිපිටියට ගොස් එතැනින් රත්නපුර හරහා කොළඹට එනවා වන්නටත් පුළුවන්.

අපිට ජීවිතයේ අභියෝග ජයගැනීමට සිදු වන්නේ ද එලෙසිනි. කුමන වේලාවකවත් අපි අපේ අරමුණෙන් පිට යාම සුදුසු දෙයක් නොවේ. අප කළ යුතු එකම දෙය වන්නේ යම් බාධකයක් පැමිණි විටෙක දී ඒ සඳහා වෙනත් විකල්පයක් සොයා ගැනීමයි. බොහෝ දෙනා ඉලක්ක ජය ගැනීම සඳහා පහසුම මාර්ගය පමණක් භාවිත කිරීමට උත්සාහ ගනී. එය හොඳ බව සැබෑ නමුත් ඉන් ඇතිවිය හැකි අතුරු විපාක ගැන ද අවබෝධයක් ලබා ගත යුතුය. ඇතැම් විට ඊට වඩා පරෙස්සම් සහිතව මඳක් දිගු මාර්ගයකින් ඔබට ඉලක්කය ජය ගැනීමට සිදු විය හැකියි.

ඉලක්කයකට යන ගමනේ දී බාධක නැතිනම් දුෂ්කරතා පැමිණෙද්දී බොහෝ දෙනා කරන්නේ තමාගේ අරමුණ අමතකකර මෙය මට කළ නොහැකි දෙයකැයි මන්දොත්සාහී වීමයි. මේ කොළඹ ගමන ගැනම සිතා මෙය පැහැදිලි කරනවා නම් මෙවැනි ජල ගැල්මක් ඇති වූ විට කොළඹට එන ගමන අතහැර දැමීමයි. වතුර බැස යන තෙක් වැස්සට දොස් කියමින්, පාරෙහි අඩුපාඩු ගැන කියමින්, කාලගුණයට දොස් කියමින්, ගංවතුර ඇති වූ ආකාරය ගැන සිතමින් කනගාටු වෙමින් එය බැස යන තෙක් බලා සිටීමයි. ඇතැම් විට මේ නිසා යාමට සිටි ගමන නැවත කිසි දිනෙක ඔබට යාමට නොහැකි වන්නටත් පුළුවන්.

මෙහිදී සිදුවන්නේ ඔබටත් නොදැනී ඔබගේ ආයුෂ ද ගෙවී යාමයි. එහෙත් සාර්ථකත්වය වෙනුවෙන් දැඩිව කැපවෙන පුද්ගලයන් අනෙකාට දොස් කියමින්, අඩුපාඩු විවේචනය කරමින්, පසුතැවෙමින් සිටින්නේ නැතිව විකල්ප මාර්ග, විකල්ප ක්‍රම සොයා එමඟින් තමාගේ ඉලක්කය සාක්ෂාත් කරගනී.

මේ අනුව ලබන නව වසර අපට නව ඉලක්කයක්, ආරම්භයක් ලබා ගැනීමට අවශ්‍ය පන්නරය, ජවය, ශක්තිය ලබා දෙයි. අපි කොරෝනා වසංගතයට දොස් පවරමින් සිදු වූ දේවලට බණිමින්, මෙය කරුමයකැයි කියමින් නොසිට නව ආරම්භයක් ලබා ගැනීම වැදගත් වේ. නව වසරක් අපට ස්වභාවයෙන් ම අපට නව ඇරැඹුමකට අවශ්‍ය චිත්ත ධෛර්ය පරිසරයෙන් ම සපයයි. සාමාන්‍යයෙන් නව වසරක් ලැබීම මෙන්ම සිංහල අලුත් අවුරුද්ද අපට අභ්‍යන්තරයෙන් ම නැවුම් හැඟීම් දැනවීමට සමත් පරිසර තත්ත්වයන් ද ඇතිකරන කාලයකි. දැනට ද අප මේ ගෙවන කාලය දැඩි උණුසුමකින් තොරව ගෙවී යන කාලයක් බව පෙනී යයි. එය වඩා සුදුසුයි.

පවත්නා තත්ත්වයට අනුව අපි අපේ හැසිරීම වෙනස් කරගත යුතුයි. එහෙත් අපේ සිතුවිලි අලුත් කරගැනීමේ හැකියාව පවතී. ඔබට ජීවිතයේ සුවිශේෂී කෙනකු වීමට නම් ඔබ සතුව සුවිශේෂී බවක් තිබිය යුතුයි. ඒ සඳහා ඔබ සමඟ සිටින අනෙක් පුද්ගලයන් කරන්නට කම්මැලි එහෙත් කළ යුතු දේ කිරීමේ හැකියාව ඔබට තිබිය යුතුය. ඔබේ සගයන් සුව නින්දේ සිටින වෙලාවේ දී පවා ඔබට පැයක් දෙකක් නිදි වර්ජිතව ඔබේ යහපත වෙනුවෙන් යමක් කළ හැකි නම් සෙසු අය විවේචනය කරමින් සිටින ස්ථානවල නොසිට ඒ කාලය ද තමාගේ දියුණුව වෙනුවෙන් යෙදිය හැකි නම් අන් අය යමක් අත්හරින, මඟහරින දේවල දී ඒ වෙනුවෙන් විකල්ප භාවිත කළ හැකි නම් යම් ස්ථාවරයකින් තවත් පියවරක් ඉදිරියට තැබීමට හැකි නම් ඔබට ජීවිතයේ ඔබ අපේක්ෂා කරන සාර්ථකත්වය ලබා ගැනීමට හැකියි.

ගඟක් සුන්දර වෙන්නේ බාධක මැදින් ගලන විට බව අප සියලු දෙනාම දන්නා කරුණක්. එමෙන්ම ජීවිත ලස්සන වෙන්නේ ද අභියෝග ජය ගන්නා තරමට ය. එමනිසා මෙය ද අප අලුත් අත්දැකීමක් කරගෙන 2021 නව වසර අලුතින් ම අරඹමු.

අතීතය ගුරුවරයෙකි. කොරෝනා වසංගතයෙන් මෙන්ම 2020 වසරෙන් ද අපට ලැබුණු පාඩම් බොහෝ ය. එම පාඩම් නව වසරේ දී සාර්ථකත්වය කරා යන ගමනේ දී භාවිතයට ගෙන ශක්තීන් මෙන්ම පියගැට කරගැනීමට සිහි තබා ගන්න. නව වසරේදී නව ඇරැඹුමකට ඔබට දිරිය ලැබේවා!. සුබ නව වසරක් වේවා!.!

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා

මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු