ඉලක්ක ජයගැනීමට නම් මිථ්‍යා විශ්වාසවලින් මිදිය යුතුය

ජනවාරි 20, 2021

බොහෝ මිනිසුන් යථාර්ථයට වඩා මිථ්‍යාවට ළඟ ය. එසේ වන්නේ යථාර්ථය විඳ ගැනීම තරමක් අපහසු බැවිනි. එහෙත් ජීවිතය තුළ යථාර්ථවාදීව කටයුතු කරන පුද්ගලයන් ජීවිත දිනන්නන් වන බව ඔවුනගේ චරිත අධ්‍යයනය කිරීමේ දී ඔබට වටහා ගත හැකිය.

බොහෝ මිනිසුන් යථාර්ථයට වඩා මිථ්‍යාවට ළඟ ය. එසේ වන්නේ යථාර්ථය විඳ ගැනීම තරමක් අපහසු බැවිනි. එහෙත් ජීවිතය තුළ යථාර්ථවාදීව කටයුතු කරන පුද්ගලයන් ජීවිත දිනන්නන් වන බව ඔවුනගේ චරිත අධ්‍යයනය කිරීමේ දී ඔබට වටහා ගත හැකිය.

අපි ජීවිතය යම් ඉලක්කයක් කරා මෙහෙයවීමේ දී මිථ්‍යාවේ එල්බගෙන ඒ ගමන යාම අපහසු ය. ඉලක්ක ජයගැනීමට නම් ඔබ මිථ්‍යා විශ්වාසවලින් මිදිය යුතුය.

මිනිසා යනු ශක්ති ආකරයකි. නමුත් මේ ශක්තිය අවදිකර ගැනීමේ දී අපේ සිතුවිලි හා සිතන පතන ආකාරය වැදගත් වේ. බටහිර ධනාත්මක චින්තනයට අනුව නම් මෙය 'ආකල්ප' ලෙස හඳුන්වයි.

එහෙත් බුදු දහමට අනුව මෙය 'චේතනා' ලෙස හඳුන්වනු ලබයි. නමුත් 'චේතනාව' ධනාත්මක චින්තනයේ කතා කරන ආකල්පවලට වඩා පුළුල් වූ කරුණකි. බුදු දහමේ මෙය සඳහන් වන්නේ 'චේතනා හම් භික්ඛවේ කම්මං වදාමි' ලෙසයි. චේතනාව නැතිනම් සිතුවිලි කි‍්‍රයාවන් බවට පත් වේ. ක්‍රියාව ප්‍රතිඵලය බවට පත්වේ.

අපි යම්කිසි මිථ්‍යාවක් විශ්වාස කරයි නම් අපේ සිතුවිලි ජනනය වන්නේ එයට අනුවයි. එමෙන්ම ඒ ඉපදුණ සිතුවිලිවලට අනුව ක්‍රියාව සිදුවන අතර එම ක්‍රියාවට අනුව ප්‍රතිඵලය ලැබේ. ඒ නිසා ජීවිතයේ ඉලක්ක ජයග්‍රහණය කිරීමට සූදානම් වන කෙනෙක් සියල්ලට ම වඩා තමන්ගේ විශ්වාස, ඇදහිලි, සිතුවිලි කෙරෙහි අවධානයක් යොමු කළ යුතුය.

උදාහරණයක් ලෙස ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතන තරුණියකැයි සිතමු. මේ ව්‍යාපාරය කුඩාවට හෝ ආරම්භ කිරීම සඳහා සියල්ල සූදානම් කරගත් විට ඔබේ මව හෝ පියා නැතිනම් වැඩිහිටියන් මේ සඳහා සුදුසු කාලයක් නැකතක් බැලීම වැදගත් යැයි ඔබට පැවසිය හැකියි. වැඩිහිටියන්ගේ ඉල්ලීම මත ඔබ දෛවඥයෙක් හමුවීමට ඔබගේ ජන්මපත්‍රය ද රැගෙන ගියා යැයි සිතමු.

එම දෛවඥයා ඔබගේ ජන්මපත්‍ර පරීක්ෂාවෙන් පසු ඔබට මේ පවතින කාලය කිසිදු දෙයකට, විශේෂයෙන් ම ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට සුදුසු නැති බවත් එවැන්නක් ආරම්භ කළහොත් තිබෙන දේවල් පවා නැති වී යා හැකි බවත් පැවසිය හැකියි.

මෙය ගණන් නොගෙන ව්‍යාපාරය ආරම්භ කරනවා යැයි ඔබ පසුව සිතුවා විය හැකියි. එහෙත් දෛවඥයකු හමු වීමට ඔබ යන්නේ ග්‍රහතරු ගැන ඔබ තුළ යම් තරමකට හෝ විශ්වාසයක් පවතින බැවිනි. විශ්වාස සියල්ලට වඩා ප්‍රබල බව අප කලින් පැවසුවා ඔබට මතක ඇති. ඔබට හෝ ඔබේ පවුලේ අයට මේ අදහස සම්පූර්ණයෙන් ම ඉවත්කර මේ කටයුත්ත කිරීමට අපහසු ය.

එමනිසා ඔබ ඇතැම් විට මේ ව්‍යාපාරය ආරම්භ නොකර සිටීමට තීරණය කළ හැකිය. එසේත් නැතිනම් ව්‍යාපාරය ආරම්භ කළ හැකිය. එය ආරම්භකර පවත්වාගෙන ගියත් 'මේ ළමයා මේ කරන වැඩෙන් තියෙන දේවල් පවා නැතිවෙන්න පුළුවන්...' යැයි පවසා පවුලේ අයගේ උදවු උපකාර ඔබට නොලැබී යනවා පමණක් නොව, ව්‍යාපාරය නවතා රැකියාවක් සොයා ගැනීමට ඔවුන් ඔබට නිතර පවසනවා ඇත.

ලෝකයේ සෑම ව්‍යාපාරිකයෙක් ම තම ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර දෛවඥයන්ගේ උපදෙස් ලබා ගන්නවාදැයි මඳක් සොයා බලන්න. එසේ වූ පමණින් ඔවුන් අසාර්ථක වෙනවාද? වෙනත් අයකු පවසන දෙයක් නිසා ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීම අතපසු කරගන්නවාදැයි සිතා බැලිය යුතුය.

ඔබගේ සාර්ථකත්වයට බාධා පමුණුවන මිථ්‍යා විශ්වාස මොනවාදැයි අපි සොයා බලමු.

ඉන් එකක් වන්නේ, 'සියල්ල සිදුවන්නේ ලබා උපන් හැටියට' යන විශ්වාසයයි. මෙය බුදු දහමෙන් ගත් දෙයක් ලෙස බොහෝ අය පැවසුවත් එය සත්‍ය ලෙසම එසේදැයි සොයා බැලීම වටී. බුදු දහමේ දී සියල්ලම කර්මය නිසා සිදු වේ යැයි පැවසෙන්නේ නැත. යමක් සිදු වීමට බලපාන කරුණු කාරණා ලෙස බීජ නියාම, ඍතු නියාම, චිත්ත නියාම ආදී දේ බුදුන් වහන්සේ දේශනාකර ඇත.

එමෙන්ම ධම්මපදයේ පැවසෙන්නේ, 'උට්ඨානවතෝ සතිමතෝ සුචි කම්ම නිස්සම්මකාරිනෝ...' යන ගාථා පාඨය අප බොහෝ දෙනාට හුරුපුරුදු ය. 'උට්ඨාන වීර්යය තිබේ නම් මනා සිහි කල්පනාවෙන් සිහි නුවණින් අනලස්ව නිසි කටයුතු සිදු කරයි නම් එවැනි පුද්ගලයාට ධන, ධාන්‍ය, කීර්තිය, ප්‍රශංසා වැඩි වර්ධනය විය හැකි' බව මෙම ගාථාවෙන් පැවසේ. මෙහි සියල්ල සිදු වන්නේ ලබා උපන් හැටියට බව හෝ සියල්ල සිදු වන්නේ ග්‍රහ තරුවලට අවශ්‍ය ලෙස බව සඳහන් නොවේ.

මේ නිසා සියල්ල සිදු වන්නේ කර්මය අනුව බව හෝ සියල්ල සිදු වන්නේ ලබා උපන් හැටියට බව සිතීම ඔබේ සාර්ථකත්වයට බාධාවකි. සාර්ථක පුද්ගලයකු වීමට තම ඉලක්ක වෙත යන පුද්ගලයන් උත්සාහයෙන් කටයුතු කරනු විනා මෙවැනි මිථ්‍යා මතයන් කරතබා ගෙන යාම සාර්ථකත්වය ලබා ගැනීමට බාධාවක් විය හැකියි.

එමෙන්ම ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන්නේ, 'අලසය කුහුඹුවාගෙන් ඉගෙන ගනුව' යන්නයි. එයින් පැවසෙන්නේ අලසව නොසිට කුහුඹුවකු මෙන් කඩිසර වී තම කාර්යයෙහි නිරත වන්න යන්නයි.

මේ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකි චරිත ලෝකය පුරා මෙන්ම අපේ රටේද බොහෝ වෙති. ඉතාමත් දිළිඳු පවුල්වල උපත ලබා අඩුපාඩු මධ්‍යයේ වුවද උට්ඨාන වීර්යයෙන් යුතුව කටයුතු කිරීම නිසා ජීවිතය සාර්ථකත්වය කරා ඔසවා තැබීමට මෙවැනි පුද්ගලයන්ට හැකි වී තිබේ. කෘෂිකාර්මික, ව්‍යාපාරික මෙන්ම රැකියාවක් කරන පුද්ගලයන්ට පවා තම උත්සාහය අනුව දියුණුව ළඟාකර ගැනීමට හැකියාව ඇත.

එපමණක් නොව, අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කරගැනීම උදෙසා අරමුණක් ඇතිකරගෙන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වුවද තමා කැමැති අංශයෙන් ඉගෙනුම ලැබීමටත් තමාගේ ඉලක්කය සාර්ථක කරගැනීමටත් අනෙක් මිථ්‍යා මතයන් ගැන නොසිතා, උත්සාහයෙන් කටයුතු කිරීමෙන් හැකියාව ලැබේ. අධ්‍යාපනයෙන් ඉහළට යාමට නොහැකි බව අනාවැකි කරුවන් පැවසූ ඇතැම් පුද්ගලයන් ඉන් උකටලී නොවී, උත්සාහයෙන් අධ්‍යාපන කටයුතු කිරීම නිසා උසස් අධ්‍යාපනය පවා ලැබ තම ජීවිතය සාර්ථකත්වය කරා මෙහෙය වූ අවස්ථා කොතෙකුත් පවතී. එවන් මිනිසුන් මිථ්‍යාව විශ්වාස කොට තමාගේ අරමුණ පසෙකින් තබා තමාගේ ඉරණම වෙනස් කළ නොහැකි යැයි ළතැවෙමින් සිටියා නම් ජීවිතය සාර්ථක කරගැනීමට නොහැකි වේ.

මොහාන් පල්ලියගුරු utube චැනලය මඟින් ද ඔබට මෙවැනි තවත් කරුණු දැනගත හැකියි.

මේ පිළිබඳ තවත් කරුණු කාරණා අප ලබන සතියේදීත් තව දුරටත් සාකච්ඡා කරමු.

 

උපදෙස් - 

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු