කෝවිඩ් වැලඳී සිවු නිවුන් දරුවන් බිහිකර ඉතිහාසගත වුණු පළමු අම්මා

පෙබරවාරි 10, 2021

 

කිරි සුවඳ උතුරා ගලන ශ්‍යාමලීගේ කැදැල්ලට ගියෙමු.

 

මේ මිහිපිට බොහෝ දුක් උසුලන්නී ආදරණීය මවයි. හිරු විවේකයක් නො ලබන්නා සේම මවක් වූ දා පටන් ඇය ද නොනිමි මෙහෙවරක නියැළෙයි. සියලු බර දරා සිටින අම්මකුගේ ශක්තිය අසමසම වන්නේ ඒ නිසාය.

පුංචිම පුංචි කලලයක් තම කුස පිළිසිඳ ගත් දා පටන් ඇය මව්වත්කමේ පාරමිතා පුරන්නට පටන් ගනියි.

පුංචිම පුංචි එක් කලලයක් වෙනුවට එවන් කලල හතරක්.

ඒ කියන්නේ සිවු නිවුන්නු. හිතට පොඩි චකිතයක්, තිගැස්මක් ඇති නොවුණාමත් නොවෙයි. ඒ විතරක්ද හිසමතට වැටෙන බර, වගකීම මේ සියල්ලටම නුදුරේදීම මුහුණ දිය යුතු නොවේද? විසිපස් හැවිරිදි හංසිකා ශ්‍යාමලීටත් විසි හය හැවිරිදි ගිහාන් චන්ද්‍රතිලකටත් එහෙම හිතුණේ මීට මාස කිහිපයකට උඩදීය. අලුත විවාහපත් යුවළක් දරු සම්පතක් ප්‍රාර්ථනා කරද්දී මේ යුවළ මුල ඉඳන් ම හිටියේ දරු සම්පත් දෙකක් ම, ඒ කියන්නේ නිවුන්නු ලැබෙනවා නම් හොඳයි කියන තැනයි. එහෙම හිතන්නත් හේතුවක් තිබුණා. ශ්‍යාමලීගේ ම අක්කට ඉන්නෙත් නිවුන්නු. ඒ පුත්තු දෙන්නෙක්. එයාගේ බාප්පාගේ පුතාටත් ලැබුණේ නිවුන්නු. මේ නිසා නිවුන්නු පිළිබඳ අත්දැකීම මේ පවුලේ අයට ආගන්තුක දෙයක් වුණේ නැහැ.

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් පතිරණ චැනල් කරලා පළමු ස්කෑන් එකෙන් ම සිවු නිවුන්නු ඉන්න බව දැනගන්න ලැබුණා.

“මුලින්ම ඩොක්ටර් කිව්වේ බබාලා පහක් කියලා. ඊට පස්සේ 4 ක් කියලා කිව්වා.”

පිළිසිඳගෙන මුල් මාස තුන, හතරේ ශ්‍යාමලී වැඩි කාලයක් කරලා තියෙන්නේ වමනේ දාපු එක.

ඒ වන විට පානදුරේ දන්තායතනයක සේවය කරමින් සිටි ශ්‍යාමලී රැකියාවෙන් ඉවත් වුණේ ගැබිනි බව සමඟ ඇතිවුණු කායික අපහසුතා නිසා.

සති දෙකෙන් දෙකට ඩොක්ටර් රුවන්ගෙන් උපදෙස් ලබාගත් ශ්‍යාමලී ද සොයිසා රෝහලේ 16 වන වාට්ටුව භාරව සිටි ඔහුගේ සායනයට යොමු කළා.

දරුවෝ තුන් දෙනෙක් සාමාන්‍ය විදිහට වැඩුණා.

එක් දරුවකුගේ බර අඩුවෙන් තිබුණේ. ශ්‍යාමලීගේ බරත් කිලෝග්‍රෑම් 53 ඉඳලා කිලෝග්‍රෑම් 68 ක් පමණ වැඩි වුණා. මෙහෙම කාලය ගත වෙද්දී ඩොක්ටර් රුවන් ඈට ලියුමක් දුන්නේ වාට්ටුවේ නවතින්න.

ලියුමත් අරන් නිවෙසට ගිය ශ්‍යාමලී සතියකින් පමණ නැවත ආවේ, කායික අපහසුතාවටත් වඩා වෛද්‍ය අණට පිටුපාන්න බැරි නිසා. ඒ කෝවිඩ් දෙවැනි රැල්ල අති බියකරු අන්දමින් පැතිර ගිය කාලයක්.

ශ්‍යාමලී මේ වෙද්දී හිටියේ මරදානේ කැටවලමුල්ල පෙදෙසේ පිහිටි ඇගේ නිවෙසේ. ලොක් ඩවුන් කළ ප්‍රදේශයක නිසා අනිවාර්යයෙන් ම පී. සී. ආර්. කරන්න වුණා. කොහොමත් ගැබිනි අම්මලා සියල්ලක් ම වගේ සොයිසා කාන්තා රෝහලට ඇතුළු කරගත්තේ (සායන හැරුණු කොට) පී. සී. ආර්. කරලා.

පී. සී. ආර්. එකට බයේ ශ්‍යාමලී වාට්ටුව දෙවනත් කරලා අඬන්න පටන් අරන්. හරියටම 2020 නොවැම්බර් 30 දා ඇයව ඇතුළු කරගත්තෙ කෝවිඩ් ආසාදිත යැයි සැක කෙරෙන මව්වරුන් ඉන්න වාට්ටුවට. හිතාගන්නවත් බැරි විදිහට ශ්‍යාමලී ගේ පී. සී. ආර්. වාර්තාව පොසිටිව් වුණා. ඇගේ නිවෙසේවත්, වටපිටාවේවත් කෝවිඩ් ආසාදිත කිසිම කෙනෙක් ඉඳලා නැහැ. ශ්‍යාමලී නිවෙසෙන් පිටත කොහේවත්ම ගිහින් තිබුණේ නැහැ.

අත්දැකීම් විරල තරුණ මවක් වෙන්න ඔන්න මෙන්න සිටි ඇය මානසිකව ඇද වැටුණා. කෝවිඩ් ආසාදිත අනෙකුත් අම්මලා මුල්ලේරියාව රෝහලට මාරු කර යැවෙද්දී ඇය වෙනුවෙන් වෙනම වාට්ටුවක් වෙන් වුණා. මේ වාට්ටුව පුරාවට ම හිටියේ ශ්‍යාමලී පමණයි. ‘අනේ මගේ දරුවන්ටත් කෝවිඩ් වැලඳේවිද?’ ඇය හිතන්නට වුණා. එහෙත් ‘මේ අවස්ථාවට මම ශක්තිමත්ව මුහුණ දෙනවා’ ඇය අදිටන් කර ගත්තා. හැබැයි ඇතැම් අවස්ථාවලදී සංවේදී වුණා. සංකූලතා ක්‍රම ක්‍රමයෙන් එන්නටත් ගත්තා. ‘මමම කිව්වා සීසර් කරලා බබාලව ගන්න’ කියලා.

එදා 2020 දෙසැම්බර් 17 දා 11.20 ට ඇගේ පළමු දරුවා පුතෙක් ලෙස මෙලොව එළිය දුටුවා. දෙවැන්නා දුවෙක්. ඒ දරුවා තමයි මුල ඉඳන්ම බර අඩුවෙන් සිටි කෙනා. තෙවැන්නාත් දුවක්. සිව්වැන්නා පුතෙක්. පළමු හා දෙවැනි දරුවා අතර විනාඩි 2 ක පරතරයක් තියෙද්දී අනෙක් දරුවෝ විනාඩියේ පරතරයෙන් මෙලොව එළිය දුටුවා. වෛද්‍යවරු කණ්ඩායමක් ම ඒ වෙනුවෙන් ඇප කැප වුණා. ලෝකයෙන්ම කෝවිඩ් වැළඳී සිවු නිවුන් දරුවන් බිහි කළ කෝවිඩ් පළමු අම්මා ලෙසට ශ්‍යාමලී ඉතිහාසගත වුණේ ඒ විදිහට.

සිවුවෙනියට ආ පුංචි පුතා ස්වසන ආධාරකයක් වෙත යොමු කෙරුණේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මත. දින දෙකක් ම යනතුරු ශ්‍යාමලී ඇඳෙන් නොබැස හිටියේ කායික අපහසුවට. ඒ අතරේ කිරි දොවලා දරුවන්ට දුන්නා. දින පහක් පමණ ගතවෙද්දී කිරිකැටියන්ට වරින් වර කිරි දෙන්න ලැබුණා. බර අඩුම බබාට තමයි වැඩියෙන්ම කිරි දෙන්න ලැබුණේ. ඒ වෛද්‍ය නිර්දේශය අනුව.

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් පතිරණ සහ දිලුක් සේනාධීර ඇතුළු ද සොයිසා කාන්තා රෝහලේ වෛද්‍ය කණ්ඩායමට ම තමන් සදා ණයගැති බව කෘතඥපූර්කව පවසන්නට ශ්‍යාමලී සහ ගිහාන් අමතක කළේ නැහැ.

මාස එකහමාරකට අධික කාලයකට පසු පසුගිය ජනවාරි 15 දා දරු සම්පත් හතරක් ම ඇතැතිව ශ්‍යාමලීත් ගිහානුත් නිවෙසට පැමිණියා. තවමත් උණුහුමට තුරුලු වී ඉන්නටයි මේ හතරදෙනාගෙම කැමැත්ත. එක් කිරි කැටියෙක් වෙනුවට කිරි කැටියන් හතරදෙනකු ම අම්මගේ උකුළේ නැළවෙන්න, කිරි රසය විඳ ගන්න පොරබදනවා. තාමත් මේ අය හොයන්නේ අම්මගේ කුසේ ඉද්දි දැනුණු උණුහුම.

යෙවින් භාසිත්, විනුකි භාසති, ලිනුකි ලෝසති, ජෙවින් ලෝසිත් ඇඳේ පේළියට නිදි සුව විඳිනවා. ශ්‍යාමලීට මේ දරුවන්ව බලා කියා ගන්න ඇගේ මව ඇතුළු හිතෛෂීන් උදව් කරනවා. බබාලා නාවන්නේ අම්මා. බර අඩුවෙන් ඉන්න දැරිවියව තවමත් නාවලා නැහැ.

ශ්‍යාමලී ගේ සැමියා ගිහාන් කළුතර පොලිස් පුහුණු පාසලේ සේවයේ නියුතුව ඉන්නේ. දරුවන්ගේ මූණු බලන්න හැමදාම නිවෙසට එනවා. ඒ එද්දි රෑ 10 ත් පහුවෙනවා.

සාමාන්‍ය පවුලක් ලෙස දිවි ගෙවන ශ්‍යාමලී සහ ගිහාන්ට දරුවෝ හතර දෙනාම සම්පතක්. ඒත් එය හිතට දැනෙන බරක්. බර අඩුවෙන් සිටින දැරිය පමණක් එහෙම පිටින්ම මව්කිරිවලින් යැපෙද්දී අනෙක් දරුවෝ තුන්දෙනා මව්කිරි සමඟින් ළදරු කිරිපිටි වර්ගයකිනුත් පෝෂණය වෙනවා. පැය 3 කට වරක් මිලිලීටර් 70 ගණනේ දැනට මේ අයට දෙනවා. ග්‍රෑම් 400 කිරි පිටි ටින් එකක් දින 3 න් අවසන්. පින් සිතැති ඔබගේ දෑත් ශ්‍යාමලී සහ ගිහාන්ගේ සිවුනිවුන් දරුවන් වෙනුවෙන් දිගු වේ නම් එය මහත් ආනිසංස ගෙන දෙන්නක් වේවි. එවන් බෝසත් සිතක් හිමි ඔබටයි ඔවුනගේ මේ ගිණුම් අංකය. ලංකා බැංකුවේ එච්. පී. ගිහාන් චන්ද්‍රතිලක නමින් ඇති 3308891.

 

ඡායා - ශාන් රූපස්සර

 

විශේෂ ස්තූතිය - කෝවිඩ් සැකසහිත මව්වරුන්ගේ ඒකකය භාර හෙද සොයුරිය

එච්. එම්. පී. රංජනී මහත්මියට