වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කාන්තා දින සැමරුම් සතියේ
පෙර පාසල් 25කට ලක්ෂ 6 බැගින්
පිරිමින්ට මේ අවස්ථාව දෙන්නේ කාන්තාව වෙනුවෙන්
ඇය ජීවිතයට විරාමයක් දෙන්නට නොසිතා මහත් වූ වෙහෙසක් හා මහන්සියක් ගනිමින් දහසක් ආර්ථික ගැටලු මැද දිවා රෑ වෙහෙසුණේ තම පුංචි පුතා රජෙක් කරන්නටය.
ඈ දහඩිය කඳුළු වගුරවමින් මහපොළොව සමඟ පොරබදන අරගලය දෙස ඔහු බලා සිටියේ මහත් වේදනාවෙනි. ඇයගේ දෑතේ කරගැටවලට වටිනාකමක් ලබාදෙන්නට ඔහුට නොහැකි බව හොඳින්ම දැනසිටියේය. එහෙත් ඇය ඔහු වෙනුවෙන් කළ අපරිමිත වූ කැපකිරීමට දිය හැකි වටිනාම තිළිණය වූයේ හොඳීන් ශිල්ප සතර හදාරා රටට වැඩ ඇති පුතකුවීමය.
දහසක් බලාපොරොත්තු මැවූ ඒ ආදරණීය මවගේ සිහිනය සැබෑකරමින් ඔහු ලොවක් ජයගත්තේ කලාකරුවකු, ආදරණීය ගුරුවරයකු, මහජන නියෝජිතයකු ලෙසින් රටට ම වැඩදායී පුද්ගලයකු වෙමිනි. එහෙත් ඔහු රටට දැයට වැඩැති පුද්ගලයකු ලෙසින් ජනතා නියෝජිතයකු වී සේවය කරන්නට සූදානම් වෙන මොහොත වන විට ආදරණීය අම්මා පිළිකා රෝගයෙන් මිය යන්නේ නොසිතූ ලෙසිනි.
මෙලෙසින් මව මියගොස් සති දෙකක් ගතවන මොහොතේ ඔහුගේ සිතට පහළවෙන්නේ තම ආදරණීය අම්මා වෙනුවෙන් මුළු ලෝකයේම සිටින මව්වරුන් හට අර්ථපූර්ණ වැඩසටහනක් නිර්මාණය කිරීමටයි. ඔහුගේ සිතෙහි ඒ උදාර සංකල්පය මුලින්ම ගීතයක් ලෙසින් නිර්මාණය කරදෙන්නට පවසන්නේ ලංකාවේ ප්‍රවීණ ගීත රචක සුනිල් ආර්. ගමගේ මහතාටය. අම්මා ගැන ගීතයක් ලිවීමට වඩා උතුම් වූ සමාජ සද්කාරයක් ලෙසින් සමාජයට අම්මාගේ වටිනාකම පිරි වැඩසටහනක් නිර්මාණය කිරීමට ඔහුට හැකිවෙන්නේ ඉන් පසුවය. 2013 වසරේ දී ‘අම්මාවරුනේ’ ලෙසින් ආරම්භ වූ මෙම වැඩසටහන ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, රටපුරා වැඩසටහන් 64 ක් පවත්වා සාර්ථකත්වයට පත්වූයේ ඉතාම වටිනා අර්ථවත්, අධ්‍යාත්මික, සෞන්දර්යාත්මක සංකල්පයක් ලෙසිනි. ඒ පුතු අන් කවරකුවත් නොව පියල් නිශාන්ත මහතාය.
එලෙසින් තම ආදරණීය අම්මා වෙනුවෙන් ආරම්භ කළ මේ වැඩසටහන නිර්මාණය කළ නිර්මාණකරුවා වසර හතකට පසුව තම ජීවිතය දෙස ආපසු හැරී බලන්නේ මහත් අභිමානයෙනි. එදා ප්‍රාදේශීය ජනතා නියෝජිතයකු ලෙසින් දේශපාලනයට ප්රවිශිෂ්ඨ වූ ඔහු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැතිය. එතුමන් මෙවර කාන්තා දිනය සමරන්නේ (මාර්තු 8 වැනිදා) ‘අම්මාවරුණේ’ නම් ඒ උතුම් වූ අධ්‍යාත්මික වැඩසටහන ජාතික මට්ටමින් ක්‍රියාවට නංවමිනි.
කාන්තා දිනය වෙනුවෙන් නිර්මාණය වූ මේ විශේෂ වූ සංගීත වැඩසටහන (මාර්තු 8 වැනිදා) කොළඹ නිදහස් චතුරස්රයේදී සවස 3.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. අප එම වැඩසටහන් මාලාව ගැන පියල් නිශාන්ත මහතා සමඟ පිළිසඳරකට එක්වූයේ කාන්තා කටයුතු ඇමැතිවරයා ලෙස සිදුකරන මෙම කටයුත්ත හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක්දැයි දැන ගැනීමේ අපේක්ෂාවෙනි.
“මෙවර කාන්තා දිනයේ අප නම් කළ තේමාව වන්නේ ‘රටකි දැයකි ලොවකි ඇය’ යන්නයි. ඒ සංකල්පය අනුව මාර්තු 8 වැනිදා පෙරවරු 10.00 ට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 ම ව්‍යවසායක කාන්තාවන්ට නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සිද්ධවෙනවා.
දෙවැනි දිනය මාර්තු 9 වැනිදා ‘සුවපත් දිවියක් උදෙසා’.
ගැහැනු දරුවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලමින් සුවපත් දිවියක් උදෙසා දියණියට උරුම සෙනෙහස තිළිණ කරන ආදරණීය වැඩසටහනක්. මෙම වැඩසටහනට ඊවා ආයතනය මඟින් තමයි අනුග්‍රහය දක්වන්නේ. පාසල් 300 ක දරුවන්ට අපි මුල් අවස්ථාවේදී සනීපාරක්ෂක ලබාදීමට අපේක්ෂා කරනවා.
තුන්වැනි දවස මාර්තු 10 වැනිදා, අපි නම්කරලා තියෙන්නේ ‘දිරිය ජනනි’ කියලා. අපේ සනුහරේ හයිය නමැති තේමාව යටතේ මේ වැඩසටහන පවත්වන්නේ සුහුරුපායේදී. විශේෂයෙන්ම ‘ඔබේ දා බිඳු සුවඳයි’ නමින් ව්‍යවසායකත්ව ඇගයීමකුත් මා කලින් සඳහන් කළ විදියට අපේ ‘සනුහරේ හයිය’ නම් දිරිය ජනනි වැඩසටහනත් පැවැත්වෙනවා.
මීට අමතරව එදිනම පස්වරුවේ පෙර පාසල් විසිපහකට ලක්ෂ 6 බැගින් ලබාදෙමින් පෙර පාසල් සඳහා සනීපාරක්ෂක උපකරණ ලබාදීමත්, එම පෙර පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මැදිහත්වීමත්, කුඩා ව්‍යාපාර සඳහා ආධාර ලබාදීමත් මීගමුව ඔලන්රෝ හෝටලයේදී සවස 3.00 ට පැවැත්වෙනවා.
මාර්තු 12 දා සශශ්රීක මානව සම්පතක් උදෙසා ‘නැණ ප්‍රදීප’ නමින් සෙත්සිරිපාය බත්තරමුල්ල ළමා ලේකම් කාර්යාලයේදී පෙරවරු 10.00 ට වැඩසටහන පැවැත්වෙනවා. එදිනම හවස්වරුවේ සවස 4.00 ට ‘ඇය වෙනුවෙන් අතිශයින්ම පිරිමින්ට පමණයි’ කියන වැඩසටහන පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. මෙම වැඩසටහන පැවැත්වෙන්නේ අකුරුගොඩ යුද හමුදා මූලස්ථානයේදී. මේ වැඩසටහනේ පරමාර්ථය තමයි සාමාන්‍යයෙන් කාන්තා දිනයකදී පිරිමි පාර්ශ්වය ගැන කතා කරන එක යම් තරමකට අඩුයි. හැබැයි පිරිමි පාර්ශ්වය තමන්ගේ බිරිය ගැන අවබෝධ කරගැනීම ඉතාම වැදගත්. අපි දකිනවා සමාජයේ ගැටලුවලට බොහෝ හේතුව තමයි අන්‍යෝන්‍ය අවබෝධය අවමවීම. ඉතිං මේ කාන්තා දිනයේදී අපි නවමු අදහසක් වශයෙන් පිරිමින් සඳහා වැඩසටහනක් සැලසුම් කළා. මේ වැඩසටහන පිරිමින්ට අවස්ථාව දෙන්නේ කාන්තාව වෙනුවෙන්. මාර්තු 13 වැනිදාට යෙදෙන වැඩසටහන තමයි ‘නිවිච්ච හැදිච්ච පිරිච්ච සොඳුරු මිනිසුන්ගෙන් සපිරි පින්බර දේශයක් උදෙසා’ පැවැත්වෙන ‘පළමු පාසල මව් කුසයි’ කියන වැඩසටහන. අපි දකිනවා අද ජනසමාජයේ පවතින සමාජ ගැටලු සියදිවිය නසාගැනීම්, පවුල්වල දික්කසාදවීම්, ළමා අපචාර, අපයෝජන, මත්ද්‍රව්‍ය භාවිතය මේ වගේ විශාල සමාජ ප්‍රශ්නවලින් මේ රට ඇත්තටම ගිළගනිමින් තිබෙනවා. ඉතින් මේ හැමදේකටම විසඳුමක් තමයි අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ කුටුම්බය ගොඩනැගීම. මෙන්න මෙතැනදී ජනසමාජය පළමු ගුරුවරයා වෙන්නේ අම්මා. මාර්තු 14 වැනිදාට යෙදිලා තියන්නේ වැඩිහිටි නිවාසවල හුදෙකලා වෙලා ඉන්න අම්මාවරුන් ඇගයීමේ ආදරණීය වැඩසටහනක්. ඒ වාගේම එදිනට අපි අම්පාර දිස්ත්‍රික්කයේදී කාන්තාවන් සඳහා තමන්ගේ ව්‍යාපාරය කරගෙනයාමට අවශ්‍ය වන උපකරණ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
ඉතින් මේ මාතෘ වන්දනා වැඩසටහනත් සමඟ මෙම වැඩසටහන් මාලාව අවසාන වෙනවා. හැබැයි ඉතිං ඒක අවසානයක් නෙවෙයි. මෙම වැඩසටහන් සියල්ලම මම කලින් ප්‍රකාශ කළා වගේම දිවයින පුරා විවිධ ප්‍රදේශ වල විවිධ ස්ථානවල වසර පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.”