සඳතැන්නේ අසිරිය මැද පුංචි එංගලන්තේ වසන්ත සවාරිය

මාර්තු 24, 2021

 

නිසල තැන් හරිම නිහඬය. අප සැම විටම සොයා යන්නේ මෙවැනි නිහඬ නිසල පරිසරයක සුවය විඳගන්නටය. එහෙත් එවැනි පරිසරයක සුවය විඳගන්න පසුගිය කාලය පුරාම අපට නොහැකි වුණේ මුළු ලෝකයම ගිලගත් කොරෝනා වසංගතය නිසයි. දැන් ඒ බිය ටිකෙන් ටික අඩුවෙන විට ආයෙමත් අපේ නිදහස සොයනවා.

 

පවුලේ සාමාජිකයන් එක්ක මේ වසන්තයට නුවරඑළියේ සවාරියක් යන්න තිබුණොත් කොයි තරම් අපූරුද? ඔබටත් මෙවැනි සිතුවිල්ලක් සිතේ දැවටෙනවා ඇති. බොහෝ විට අප නුවරඑළියේ සංචාරයක සූදානම් වෙන්නේ මාස දෙකතුනකට පෙර නවාතැන් වෙන්කරගෙනයි. එහෙම නොවුණොත් වසන්ත කාලයේ නුවරඑළියේ නවාතැනක් සොයා ගැනීම තරමක් අසීරුයි.

ඔබට නැවතීමට නවාතැනක් සොයා ගන්නවා වගේම නුවරඑළියේ සුවය විඳින්න පුළුවන් සුන්දර ස්ථාන ගැනත් දැනගෙන අවබෝධයක් තිබීමත් හරිම වටිනවා. එතකොට තමයි ඔබේ සවාරිය වඩාත් ආනන්දනීය වෙන්නේ. අප හැමදාම නුවරඑළියේ ගිහින් දකින ස්ථානවලට වඩා සොඳුරු තැන් බොහෝ තිබෙනවා. හරිත නිම්නයෙන් වටවුණු සීතල තුහීනයෙන් බරවුණු සඳතැන්න නැතිනම් Moon plain කියන්නෙත් එවැනි චමත්කාරජනක පරිසර පාරාදීසයක්.

පුංචි එංගලන්තයේ සුවය සොයා යන චාරිකාවේදී අප ඔබව කැඳවාගෙන යන්නේ මේ අපූරු පාරාදීසයටය.

සඳතැන්න කියන්නේ් අපේ රටේ දේශීය අර්තාපල් නිෂ්පාදන ගොවිපොළට. කඳු මුදුනක පිහිටි ඉතාම අලංකාර බිම් වපසරියක වූ මේ ගොවිපොළ දිවා කාලයේදී වගේම රාත්‍රී කාලයේදී හරිම ආකර්ෂණීයයි. දේශීය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන මේ ලස්සන ගොවිබිමට ඇතුළුවීමට පෙර එය පාලනය කරනු ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සඳතැන්න නිෂ්පාදන ගොවිපොළේ අධ්‍යක්ෂ එන්. පී. ජයසිංහ මහතා අපට ලබා දුන් උපදෙස් පෙළ ඉතාම වැදගත්.

 

“මේ ගොවිපොළ පාලනය වෙන්නේ අර්තාපල් ජාන සම්පත් මධ්‍යස්ථානයක් ලෙසයි. ඒ නිසා මෙහි ඉතාම සෞඛ්‍යාරක්ෂිතව තමයි අප සංචාරකයන් ඇතුළුකර ගන්නේ. ඉදිරියේදී දිනකට අප රථවාහන 100 ට වඩා ඇතුළුකර නොගැනීමට තීරණය කර තිබෙනවා. රථවාහන පැමිණෙන පිළිවෙළට තමයි ඇතළු කිරීම සිදු වන්නේ. එසේම මේ භූමියට පැමිණෙන කණ්ඩායම්වල අයට වෙනත් කණ්ඩායමක් සමඟ ගමන් කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. එසේම කිසිම හේතුවක් නිසා අතරමඟදී බැසීමට අවස්ථාව ලබා නොදෙන්න අපගේ මඟ පෙන්වන නිලධාරින් කටයුතු කරනවා. අප රටේ පවතින තත්ත්වය අනුව මේ නීති තදින්ම ක්‍රියාත්මක කරන අතර නිරතුරුවම සංචාරක පොලීසිය විසින් අපේ මේ භූමිය පරීක්ෂා කිරීම සිදු කරනවා.

සඳතැන්නේ අසිරිය

 

 

මේ සොඳුරු පරිසරය පිහිටා තිබෙන්නේ නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 6 ක දුරකිනි. සොබා දහමේ අපූරුවත්වය එක්තැන් වූ මේ ගොවිපොළේ දසත විහිදී ගිය කඳු පංති මතින් මැවෙන්නේ් අපූරු චිත්‍රයකි. ඒ සිතුවම පරිසරය විඳින්න ප්‍රිිය කරන ඔබට ගිමන් හරින්නට නවාතැනක්.

 

සඳතැන්න නිර්මාණය වී ඇත්තේ අපූරු පරිසර භූමියක් කේන්ද්‍රකර ගනිමිනි. මධ්‍යම කඳු පන්තියේ ඌව බෑවුමේ පිහිටි තෘණ භූමියක් වූ මෙහි මැවෙන්නේ කඳුකර ප්‍රදේශයට ආවේනික වූ පරිසරයකි. අසිරිමත් හෝටන්තැන්නට සමාන ලක්ෂණවලින් සැදුම්ලත් මේ බිමේ හාත්පසින්ම මැවෙන්නේ විචිත්‍රමත් වූ සිතුවමකි. එම දර්ශනතලය අංශක 360 ක් පුරා විහිදී යන්නේ අති නවීන ඩ්‍රෝන කැමරා කාචයක සටහනක් ලෙසිනි.

මේ බිමේ රාත්‍රී කාලයේ වන සතුන්ගෙන් පිරී යයි. හෝටන්තැන්නේදී හමුවන ගෝන්නු, කුළු මී හරක්, මුවන්, ඕළු මුවන්, වලසුන්ගෙන් ගහණ වූ මෙහි රාත්‍රී කාලය ඔවුන්ගේ නිදහස් රජදහනකි. වඳුරන්ගේ හා වල් ඌරන්ගෙන්, මොනරුන්ගෙන්, වළිකුකුළන්ගෙන් උදෑසන කාලය වඩාත් හැඩ කරයි. මේ වන සතුන්ට අමතරව අප රටට ආවේනික කුරුල්ලන්ගෙන් මෙහි වූ තුරුලතාවල නිහඬබව මකා දමයි. කහ කොණ්ඩයා, සිතෑසියා, කඳුකර මල් කුරුල්ලා, මයිලගොයා, නිල් මැසිමාරා හෙවත් කෝපි කුරුල්ලා, දළ දෙමලිච්චා වැනි පක්ෂීන් නිරතුරුවම ඇස ගැටෙන කුරුලු වර්ගය. එසේම උරග වර්ග ද බොහෝය.

මෙහි ඔබ නෙත ගැටෙන තවත් විශේෂම දර්ශනයක් වන්නේ ඌව පළාතට අ ාවේනික වූ මොනරුන්ය. හිරු අවරට ඇදෙන විට ගෝනුන්ට මෙහි නිදහස් භූමියකි. ඌව පළාතින් කඳු බෑවුම සීමා කරන මෙහි සීතල කඳුයාය අනෙක් සීීමාව මායිම් කරමින් පරිසර පද්ධති දෙකක සංකලනය විඳ ගැනීමේ අවස්ථාව ලැබීම අප ලබන නැවුම් අත්දැකීමකි.

මුහුදු මට්ටමේ සිට අඩි 9300 ක් උසින් වූ මේ ගොවිපළ ආරම්භය සනිටුහන් කරන්නේ 2014 වසරේදීය. අක්කර 155 ක් වූ මෙම ගොවිබිමේ එක් කොටසක් වන රක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන අතර අර්තාපල් වගා කළ භූමි ඉතාම සංවේදී කලාපයක් ලෙස බීජ අර්තාපල් වගාවටත් උඩරට එළවළු වගාව කදිම කෘෂි බිමකි.

ඒ නිසාම ඔබ මෙහි පැමිණි විට මුලින් සඳහන් කළ පරිසර රෙගුලාසි හොඳින්ම පිළිපදින්න. එසේම රටේ වර්තමානයේ පවතින නීති රෙගුලාසි ද නිසි ලෙස අනුගමනය කරමින් ඉතාමත් විනීත ලෙසින් හැසිරීමටත් ඔබගේ ආරක්ෂාව ද නිබඳවම රැක ගත හැකිවනු ඇත.

ගමන් මාර්ගය

මෙම පරිසර කලාපයට පිවිසීමට ඉතා පහසුය. නුවරඑළියේ වැලිමඩ ප්‍රධාන පාරේ ග්‍රෙගරි වැව අන්තයෙන් වමට හැරී කිලෝමීටර් දෙකක් ගමන් කළ පසු මෙම සංචාරක කලාපයේ් පිවිසුම හමුවෙයි. උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා විවෘතව ඇති මෙම පරිසර කලාපය තුළ තමුන්ගේ රථයක ගමන් කිරීමට අවසර නොලැබෙයි.

මාර්ගෝපදේශකයන් සමඟ සෆාරි ජීප් රථ මෙම ගොවිබිම තුළ ක්‍රියාත්මකව ඇත්තේ ඔබගේම පහහසුවටය. එය පැය දෙකක පමණ සුන්දර පරිසර චාරිකාවකි. ඒ සඳහා රු. 2000 ක් පමණ අයකරනු ලබයි. හය දෙනෙකුට ගමන් කළ හැකි මෙම රථයක එක් අයකුට අයකරනු ලබන්නේ රු. 290 ක් වැනි සාධාරණ මුදලකි. මෙහි වූ නැරඹුම් අට්ටාලයට නැගගත් විට සතර අත අපූරුවට දිස් වෙයි. මෙහි ඔබගේ සංගීත භාණ්ඩ හෝ ශබ්දය පිට කරන උපකරණ රැගෙන ඒමට අවසර නොවෙයි. එසේම මෙහි සත්ත්ව නිදර්ශක හා ශාක නිදර්ශක එකතුකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මේ සියලු දේ නිර්මාණය වී ඇත්තේ ඔබට රිසි සේ පරිසරයේ සුවය විඳගන්නටය. එය රැකගෙන ඔබේ ජංගම දුරකතනයේ අපූරු කාච සටහනක් තැබීමට කිසිම තහනමක් නොවෙයි. එහෙත් සංවරව හැසිරීම හා පරිසරයට හානි නොවන සේ් ඔබගේ සුසුම් පොදක් පමණක් ඉතිරි කර ආපසු එන්නට තරයේ සිත්හි සටහන් තබා ගැනීම පරිසරකාමියකු ලෙස ඔබේ වගකීමයි.

 

ඡායාරුප - සම්පත් ජයලාල්