වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සොබාවික තටාකයේ ගිලී නාන්න ඔබත් එන්න
“ආදරණීය මිනිසුනේ.... සුළගේ නැවුම්බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ. ඒ නිසාම ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත.”
මේ වටිනා සටහන රතු ඉන්දියානු නායක සියැටල් විසින් තබන්නේ ක්‍රි. ව. 1854 දී පැවැත්වූ දෙසුමකදීය. ඔහු සැබැවින්ම මහ පොළොවට ආදරය කළ නායකයෙකි. එසේම සොබා දහම සමඟ ජීවත් වූ පරිසරවේදියෙකි. ඔහු සඳහන් කළ ලෙසින්ම අපට අයිති නොවූ මේ මහ පොළොවට අසීමිත ලෙසින් අපි පෙම් බඳිමු. එහි සුවය සොයා මිහිමඬල පුරා සැරිසරමු. ඒ නිසාම මිල කළ නොහැකි වූ මේ මහ පොළොවේ සුන්දරත්වය සොයා යන්නට දක්වන්නේ අසීමිත කැමැත්තකි. එය සොබා දහමට ළබැඳි මිනිසුන්ගේ ස්වභාවයයි. අප නොදුටු, ඇස නොගැටුණු ඉසව්වක සුවය විඳින්නට ඇති නම් එය වඩාත් අර්ථවත්ය. අපගේ මේ සොඳුරු සැරිසර චාරිකාව ද එවැනි ඉසව්වකටය. එය සැබැවින්ම සොබා දහම විසින් මැවූ සිහින දනව්වකි. ඔබත් එන්න ඒ සිහින දනව්වේ දවසක් ගත කරන්න.
උඩගිල්ම පරිසර පද්ධතිය නිර්මාණය වන්නේ සෞම්‍ය දේශගුණයක් උරුම වූ සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමිනි. සබරගමුව පළාතට අයත් වූ පරිසරයක් වුවත් මධ්‍යම පළාතට සමීප වූ පරිසර පද්ධතියකට නෑකම් කියන නිකැළැල් සුසිනිඳු හරිතයායකි. ඈත මෑත පෙනෙන කඳු පන්ති මතින් හමා එන්නේ නැවුම් තේ දල්ලක වූ ආත්මීය සුගන්ධයයි. එය අපගේ මේ සවාරියට එක් කරන්නේ ආකර්ශනීය උද්දීපනයකි
උඩගිල්මේ සුවයට යන මඟ වූ සුන්දරත්වය
සොබා සුන්දරත්වය අපගේ ජීවිතයට සමීප කර ගැනීමට යන ගමනකට වඩාත් වටිනා ආශීර්වාදය වෙන්නේ එම ගමනේදී අප ඇස ගැටෙන දසුන්ය. මේ ගමනේදී එවැනි තැන් බොහෝ ඇස ගැටෙයි.
කැලණි ගඟට එක්වන අතු ඔයක් වූ වී ඔයට සමාන්තර වූ මේ ගමනේ දී අපට මුලින්ම හමු වන්නේ යටියන්තොට නගරයයි. එහි සිට කිලෝමීටර් 15 ක් තරම් දුර ගමන් කරන විට ඇස ගැටෙන්නේ හාත්පස විහිදී ගිය කඳු යායකි. දසතින් වූ කඳු මතින් ගලා හැලෙන ඕලු ඇල්ල දෙස් විදේස් සංචාරකයන්ගේ ආකර්ශණය දිනූ අපූරු ස්ථානයකි. අප රටේ සුන්දර දිය ඇලි අතුරින් හතරවන ස්ථානය ලෙස සැලකෙන මෙහි දිග මීටර් 127 ක් පමණය. තැන් කිහිපයකින් ගලා හැලෙන මෙහි එක් ස්ථානයක් අප ගමන් ගන්නා මාර්ගය හරහා ගමන් කරයි. එය ගලා හැලෙන මාර්ගය හරහා වූ ලී පාලම ඉංග්‍රීසි පාලන සමයේ ඉදිවූවකි. ඉතාම ශක්තිමත් දැවයෙන් තැනූ එම පාලම තරමක් අබලන්ව පැවතියත් එහි වූ පෞරාණිකත්වය නිසාම එය එලෙසින් නඩත්තු කිරීමට පියවර ගෙන ඇත්තේ එයින් දිය ඇල්ලට ලැබෙන වටිනාකම වැඩිවන නිසාමය.
ඔබ ඇස ගැටෙන තවත් අපුරු දසුනක් වන්නේ ගල්ගොල්ල තේ කර්මාන්ත ශාලාවයි. එය ද කැලණිවැලි වතු සමාගමට අයත් ඉපැරැණි කර්මාන්ත ශාලාවකි. මෙම කර්මාන්ත ශාලාවන් නාගස්තැන්න තේ කර්මාන්ත ශාලාවත් අතර තේ දලු ප්‍රවාහනය කළ පැරැණිම ක්‍රමය වන්නේ කේබල් යොදා ගනිමිනි. ඈත කඳු මැදින් දිවෙන කේබල් මත වූ තේ දලු මලුවල අසුරා පහළට ප්‍රවාහනය කළ කේබල් හා යන්ත්‍ර තවත් එහි දැක ගැනීමට ලැබෙන්නේ ඉතාම දුලබ දර්ශනයක් ලෙසිනි. එය ඉංග්‍රීසි පාලන සමයේ යොදා ගත් සාර්ථක ප්‍රවාහන ක්‍රමයක් ලෙස සැලකෙන අතර තවමත් ඉතිරිව දැක ගැනීමට හැකිවීම දරුවන්ට කදිම පාඩමක් කියා දෙයි.
අපගේ ගමනේ සුන්දරම ප්‍රදේශය සටහන් කරන්නේ උඩගිල්මයි. මෙම ගමට උඩගිල්ම නම ඇති වන්නේ එහි සිට ඇදහැලෙන ඇල්ලේ ආරම්භය සමඟ වූ ගිල්ම ගැසුණු ජල තටාකයයි. සොබා දහම විසින් මැවූ මේ අසිරිය තුළ උඩගිල්ම ගම ඉතාම නිසලය. තේ වගාව නිසා සංවර්ධනය වූ භූමිය පුරා ඇත්තේ හරිත වර්ණයෙන් හැඩ වූ කඳු පන්තියකි. ඒ කඳු අතුරින් ගලා හැලෙන තවත් කුඩා දිය ඇලි කිහිපයක්ම ඈතින් දිස්වෙයි. ඔබට මෙහි දිය නෑමට ඇති ස්ථාන බොහෝය. එසේම පරිසරයේ සුවය විඳ ගැනීමට හැකි අයුරින් නිර්මාණ වූ පරිසර හිතකාමී හෝටලයක් ද හමු වෙයි.
උඩගිල්මට පැමිණෙන මාර්ගය
කොළඹ සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් වූ උඩගිල්ම පිහිටා ඇත්තේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයේය. ඔබ කොළඹ සිට පැමිණෙන විට අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ මුලින්ම යටියන්තොට නගරයට පැමිණිය යුතු වෙයි. එහි සිට ඔබ ගමන් කළ යුත්තේ සීපොත් මාර්ගයේය. පරුස්සැල්ල ග්‍රාමය පසු කර කිලෝමීටර් 12 ක් තරම් දුරක් ගමන් කළ පසුව හමුවන්නේ ගල්ගොල්ල තේ කර්මාන්ත ශාලාවයි. එම කර්මාන්තශාලාවේ අසල සිට දකුණු දෙසට හැරී කිලෝමීටර් 6 පමණ ගමන් කළ විට හමු වන්නේ උඩගිල්ම ප්රදේශයයි. මෙම මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කළ විට ඔබට හමුවන්නේ ස්වාධීන රූපවාහිනි සම්ප්‍රේෂණ කුලුන පිහිටි වදවිතලාව ප්රදේශයයි. එයද ඉතාම රමණීය වූ ස්ථානයකි. එහෙත් ගමන තරමක් අසීරුය. ඔබ උඩගිල්මට පැමිණීමට පෙර ද දිය නෑමට සුදුසු වූ ආරක්ෂිත ස්ථාන කිහිපයක් ඇස ගැටෙයි. තෙප්පකොළම නමැති ස්ථානය ද එවැනි ස්ථානයකි. එය ද ස්වාභාවික නාන තටාකයකි.
මේ සොඳුරු පරාදීසයේ තවමත් නොනැසී ඉතිරිව ඇත්තේ ඉතාම දුලබ ජල මුලාශ්‍රයෙන් ලැබෙන නැවුම් දිය බිඳයි. සිරිපොද වැස්සෙන් තෙමෙන තුරු ලතාවන්ගෙන් ලැබෙන සෙවණයි. තණපත් අතර පිපි වනමලක මකරන්දය තවමත් යාන්තමින් ඉතිරිව තිබෙයි. එය වාසනාවකි. එය රැකගනිමින් සිසිල් දිය පොදක සුවය විඳ ගන්නට ඔබට කිසිම තහංචියක් නැත. එහෙත් මේ භූමිය ශුද්ධ වූ වස්තුවක් ලෙසින් රැක ගැනීම ඔබගේ පරම යුතුකමයි.
විශේෂ ස්තුතිය
යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරාධිකාරි පොලොන්නරුවේ සමිත හිමිට සහ උඩගිල්ම හෝටලයේ් කළමනාකාර කේසර මහතාට