වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පාසල් දරුවන්ට වස වසෙන් තොර කෑම දෙන ආදරණීය කෑම නැන්දා..
මාලිනී අවදිවූයේ තිගැස්මකිනි. එලාම් එක වදින හඬ ඇසුණේ නැත. දෑස් දිවගියේ ඔරලෝසුව වෙතය. එහි වේලාව අළුයම තුන බවට සටහන්ව තිබුණි.
'අහ්.. මම හිතුවෙ පරක්කු වෙලා කියලා..' සිතමින් නැඟිටින්නට ගිය ඇයට සිහි වූයේ පාසල් නිවාඩු බවයි.
ඇයගේ කටයුතුවලට ජීවන සහකරු අළුයම සිට ම සහාය වේ. කුඩා පුතුන් දෙදෙනා ද තමාට හැකි ආකාරයේ කුඩා වැඩපල කරමින් අම්මාට සහාය වන්නේ සැබෑම හැඟීමකිනි. පවුලේ බඩපිස්සිය වූ අවුරුදු දෙකේ සුරතල් දියණිය ද අවදි වී පවුලේ අය කරන වැඩදෙස බලමින් ඇයට ද කිරීමට වැඩ ඉල්ලා සිටී. එසේ නොදුන් විට ඇය සොඳුරු කරදරයක් බවට පත්වේ. ඒ නිසා ම ඇයගේ දායකත්වය ද මේ ක්‍රියාන්විතයට එක්කර ගැනීමට අම්මාත් තාත්තාත් කටයුතු කරති.
ඇය, තණමල්විල වෙසෙන ගරුසිංහගේ නන්දා මාලිනී ය. ඇයගේ පවුල මෙසේ උදෑසන සිට වෙහෙසෙන්නේ කුමක් සඳහාදැයි ඔබට සිතෙනු ඇත. අපි එය ඇයගෙන්ම දැන ගනිමු.
මගේ පුතාලා දෙන්නා ගියේ කිවුලආර සමන්සිරි කරුණාරත්න ප්‍රාථමික විදුහලට. මේ විදුහලේ දරුවන්ට උදෑසන ආහාර සැපයීමේ වගකීම මම නොකඩවා අවුරුදු පහක් ම සිදු කළා. මේ ආහාර සැකසීම සඳහා මම යොදා ගත්තේ කාබනිකව සැකසූ ආහාර. දරුවන්ට වස විසෙන් තොර ආහාර වේලක් ලබා දීම තමයි මගේ අරමුණ වුණේ. දරුවො කියන්නේ අනාගතේ බාර ගන්න ඉන්න අය. ඔවුන් නිරෝගී වුණොත් තමයි රටේ අනාගතය හොඳ වෙන්නේ.
මට මුලින් ම මේ අවස්ථාව ලැබුණේ සමන්සිරි ප්‍රාථමික විදුහලේ සීලවතී විදුහල්පතිනිය නිසයි. එතුමිය මට කිව්වා මාලා ඔයාට පුළුවන් නම් මේ දරුවන්ට කෑම වේල සපයන්න.. ඒක හොඳ දෙයක් කියලා.. මට කෑම වර්ග හැදීමේ හැකියාවක් තියෙනවා. පාසලේ උත්සව අවස්ථාවක් තියෙනකොට ඒකට අවශ්‍ය කෑම හදන්නේ මම. ඒ නිසා විදුහල්පතිනිය මං ගැන දැනගෙන හිටියා. මේ දේට මමත් කැමැති වුණා. රජයෙන් ලබා දෙන වට්ටෝරුවට අනුව තමයි කෑම වේල ලබා දෙන්නේ.
මගේ දරුවන් ඒ පාසලෙන් ඉවත් වෙලා වෙනත් පාසලකට ගියත් මම දිගට ම මේ කාර්යය කළේ වස විස නැති ආහාර වේලක් දරුවන්ට දෙන එක ලොකු පිනක්, සේවයක් කියලා හිතලමයි. මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උපදෙස් ලැබුණා.. ඒවගේම සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ ගැන සොයා බලනවා... ඒ විදියට තමයි මං ගැන ලෝක ආහාර සංවිධානේ අය දැනගෙන තිබුණේ.. ඒ විදියට තමයි මට විශිෂ්ටතම කාන්තා වෘත්තිකයන් 50 දෙනා සඳහා වන සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම සමාජ සේවිකාව සම්මානය හිමි වුණේ.
කාබනික වගාබිමක් ඔබට මේ වෙනකොට තිබුණද? ඇගේ ගලා යන කතාවට බාධා කළේ සිතේ නැගි පැනයකට ඉඩ කඩ සාදා දෙමිනි.
මගේ ඉස්සර ඉඳන් ම පුරුද්දක් තිබුණා මල් පැළ හිටවන. පොළට ගියොත් රෝස වගේ මල් පැළ ගෙනත් හිටවනවා. කාලයක් යද්දී මට හිතුණා, දැන් මල් හිටෙව්වා ඇති එළවළු පැළ වවන්න ඕනේ කියලා. ඉන් පස්සේ මම පොඩි එළවළු කොටුවක් හදා ගත්තා. මුලින් ම පවුලේ කෑම බීමවලට තමයි මේක ප්‍රයෝජනයට ගත්තේ පස්සෙ ටික ටික මේ කොරටුව වැඩි දියුණු කළා. මගේ පුතාලා දෙන්නා පවා මාත් එක්ක මේ එළවළු කොරටුවේ වැඩ කරනවා. පැළවලට වතුර දානවා.
මට වයස දෙකක දුවෙක් ඉන්නවා. ඇය හම්බෙන්න ඉන්දෙද්දි දුව ඉපදුණ දවසට කලින් දවස වෙනකල් ම මම පාසලට ගියා. මම ඒ තරම් කැපවීමකින් තමයි මේ රාජකාරිය කළේ. මේ දවස්වල පාසල් යන්න නැති එක හරිම දුකක්.
පුංචි දරුවන්ගේ ආදරය, කරුණාව ලැබෙනකොට පුදුම සතුටක් ලැබෙනවා. දරුවො එක්ක ඉන්නකොට අපිට තියෙන ප්‍රශ්න අමතක වෙනවා. එයාලා මාව පාරෙදි දැක්කත් බත් අම්මේ කියනවා, කෑම නැන්දේ කියනවා.. එක එක නම් කියලා මට කතා කරනවා. මම කෑම අරන් යනකම් බලාගෙන ඉන්නවා. ඒ පුංචි උන්ගේ ආදරය මට ගොඩක් වටිනවා. මට මගේ දරුවොයි, ඒ දරුවොයි කියලා වෙනසක් නැහැ.
අපේ කලාපේ පාසල් 44ක් තියෙනවා. ඒ පාසල්වලින් පාසල් 10ක විතර තමයි කෑම දෙන්නේ.. අනෙක් අය කෑම දෙන එක පාඩුයි කියලා එක නවත්තලා. ඒත් මම හිතන්නේ අපේ දියුණුවට වැඩිය රටේ දරුවන්ට යමක් කරන්න ලැබුණු අවස්ථාව වටිනවා කියලයි. මේ පලාතේ ඉන්නේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවො. උදේ රැස්වීමෙදි ළමයෙක් දෙන්නෙක් කලන්තෙ හැදිලා වැටෙනවා. මේ පාසලේ දරුවො 104 ක් ඉන්නවා. මේ දරුවන්ට කෑම වේලක් දීලා මම සතුටක්, වින්දනයක් ලබනවා. මහත්තයාගේ නම ආර්. පී. එම්. සුගත්. එයා උදේම නැගිටලා කෑම හදන්නත් උදවු වෙනවා.
ඒ විතරක් නෙවෙයි මගේ දරුවොත් මේවට උදවු වෙන්නේ හරිම උනන්දුවෙන්. එයාලා ලූනු සුද්ද කරනවා, හාල්මැස්සො සුද්ධ කරනවා ඒ දේවල් මට ගොඩක් වටිනවා. මම පැළ වවනවා දැක්කම එයාලාත් පැළ හිටවනවා. මේ දේ නිසා අපේ පවුලම නිතරම වැඩ කරන්නේ එකට. පවුලේ සමගියටත් මේක හේතුවක් කියලයි මට හිතන්නේ.
මගේ නිවසත් හදාගෙන යන එකක්. කාමර දෙකක්, කුස්සියක් තමයි ඒකේ තියෙන්නේ. මගේ කුස්සියේ මැටි බිමක් තියෙන්නේ. ඒ වුණත් අපි සතුටින් ඉන්නවා. මට ඒ පාසලෙන් අවසර ලැබෙන තෙක් මම මේ දේ කරනවා.
මගේ තාත්තාත් ගොවි මහත්තයෙක්. එයාලා රසායනික පොහොර, පළිබෝධ නාශක දාලා තමයි වගා කරන්නේ. මම කුඩා කාලේ ඉඳලම මේ දේවල් දැක්කා. විකුණන්න මහා පරිමාණයෙන් කරන නිසා ඒ විදියට රසායනික ද්‍රව්‍ය යෙදුවත් මම ඒ දේට එතරම් කැමැති නෑ. ඒ නිසයි කාබනික ද්‍රව්‍ය දාලා වගාවක් කරන්න හිතුවෙ. වෙළෙඳපොළේ තියෙන එළවළු පලතුරු වස වසෙන් යුතු නිසා තමයි පාසලේ දරුවන්ටත් කාබනික ආහාර ලබා දෙන්න කටයුතු කළේ. ඇත්තට ම ඒ අත්දැකීම නිසා මගේ දරුවන්ට දෙන්න පොඩි වගාවක් කළේ. දැන් මට මේ හැම දරුවෙකුට ම වස විස නැති ආහාර දෙන්න ලැබීම මට සතුටක්. මගේ ඒ කාර්යයට ඇගයීමක් මට ලැබුණා. මේ ලැබුණ සම්මානය ගැනත් මට තියෙන්නේ ලොකු සතුටක්. මෙහෙම දෙයක් ලැබෙයි කියලා මට හිතුණෙ නෑ.
මේ දරුවන්ගේ ආශීර්වාදය නිසා තමයි මට මේ සම්මානය, ඇගයීම ලැබුණේ. මගේ මහත්තයා, දරුවො වගේම මගේ මවුපියොත් ගොඩක් සතුටු වුණා. මගේ දරුවන්ට පවා ඒ ආශීර්වාදය ලැබෙන බව මම විශ්වාස කරනවා.
මම කරනදේට කවුරුන් හෝ ශක්තියක් වෙනවා නම් මෙය තවදුරටත් දියුණු කිරීමට මම කැමැතියි. එහෙම වුණොත් තවත් පාසල් සඳහා වුවත් ආහාර ලබා දීමට මම කැමැතියි.
තමාගේ දරුවන්ට පවා පහසුව නිසා වසවිස කවන අම්මලාට දැයේ දරුවන්ගේ සෞඛ්‍ය ගැන හිතන මෙවන් මව්වරු තව තවත් පහළ වේවා...
ඡායා -ඉන්දික ගරුසිංහ