කෝවිඩ් පශ්චාත් මරණ පරීක්ෂණය හදිසියේම කෙනෙක් නිවෙසේදී මිය ගිය හොත් කළ යුතු දේවල්

මැයි 12, 2021

 

වසරකට වැඩි කාලයක් පටන් පවතින මේ කෝවිඩ් වසංගතය වත්මන වනවිට මුළු ලොවටම බලපෑම් කරමින් තිබේ. දරුණුම තත්ත්වයට මුහුණ දෙමින් සිටින්නේ අපගේ අසල්වැසි රට ඉන්දියාවයි.

කෝවිඩ් නිසා ඉන්දියාවේ දස දහස් ගණනින් මිය යන රෝගීන් දෙස බලන විට අප ද සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම ඉතා වැදගත්. මේ වසංගතය පැතිරවීම වළක්වාලීම සඳහා සෞඛ්‍ය නීති පණවා තිබෙන්නේ සැමගේම යහපතටයි.

විවිධ සෞඛ්‍ය නීති රැසක් ඒ වෙනුවෙන් සැකසෙද්දී මිය යන පුද්ගලයන්ගේ දේහයන් සම්බන්ධයෙනුත් නීති රීති සැකසිලා.

ඒ නිසා මෙවැනි වසංගත කාලයකදී කෙනකු කෝවිඩ් වැලඳීමකින් හෝ වැලඳීමකින් තොරව මියගියහොත් ඒ සම්බන්ධ සෞඛ්‍ය නිතී රීති පිළිබඳ දැනුවත්ව සිටීම වැදගත් වනු ඇත.

සාමාන්‍යයෙන් කෙනෙක් මියගිය අවස්ථාවක මරණ පරීක්ෂණය සිදු කරන්නේ කොහොම ද?

සාමාන්‍ය කෙනකු මිය ගියහොත් ග්‍රාමසේවක මහතා පරීක්ෂා කර, මරණයට හේතුව සඳහන් කර මෘත ශරීරය ඥාතීන්ට ලබා දෙනවා. නමුත් මරණයේ හේතුව පිළිබඳ ගැටලුවක් ඇත්නම් පොලීසිය දැනුවත් කිරීම කළ යුතුයි. ඉන්පසු ඒ සම්බන්ධව මරණ පරීක්ෂකට දැන්විය යුතුයි. ඒ පරීක්ෂණයෙන් පසුවයි ඥාතීන්ට මෘත ශරීරය ලබා දෙන්නේ..

මේ දිනවල මරණ පරීක්ෂණය සිදු වෙන්නේ කොහොම ද?

කෙනකු මිය ගියහොත් පෙර පරිදිම පළමුව ග්‍රාම සේවක මහතා දැනුවත් කිරීම කළ යුතුයි. එහිදී මිය ගිය පුද්ගලයා මිය යාමට හේතුව නිවැරැදිව දන්නේ නම් ගැටලුවකින් තොරව අවසන් කටයුතු කළ හැකියි. නමුත් මියගිය පුද්ගලයා කෝවිඩ් රෝගයේ රෝග ලක්ෂණ තිබුණේ නම් හෝ එම පුද්ගලයා කෝවිඩ් ආසාදිතයකු ඇසුරු කර තිබුණේ නම් හෝ මරණය සැක සහිත නම් පොලීසියට හා හදිසි මරණ පරීක්ෂකට දැන්වීම කළ යුතුයි. හදිසි මරණ පරීක්ෂක විසින් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් MOH සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැන්විය යුතුයි. ඉන්පසුව ඇන්ටිජන් පරීක්ෂාව කරනු ලබයි. එහිදී ඇන්ටිජන් පරීක්ෂාවේදී negative නම් දේහය ඥාතීන්ට බාර දේ. ඇන්ටිජන් පරීක්ෂාව postive වුවහොත් PCR පරීක්ෂාව සිදුකරනු ලබයි. PCR පරීක්ෂාවේදී negative නම් ගැටලුවක් නොමැත. එහෙත් positive නම් කෝවිඩ් නීති රීතින්ට අනුකූලව අවසන් කටයුතු සිදුකරනු ලබයි.

හදිස්සියේම කෙනෙක් නිවෙසේදී මිය ගියහොත් කළ යුතු ක්‍රියා මාර්ගය කුමක් ද?

කෙනකු නිවෙසේදී මියගියහොත් ග්‍රාමසේවක සහතිකය පමණක් ප්‍රමාණවත් නොවේ. පළමුව ඒ පිළිබඳව වහාම ළඟම පිහිටි පොලීසියට දැන්විය යුතුයි. ඉන්පසු මරණ පරීක්ෂකට දැන්විය යුතුයි. ඉන්පසු එම ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකට දන්වා පෙර ලෙසම අනෙක් ක්‍රියා පටිපාටිය අනුගමනය කරනු ලබයි.

මේ දිනවල කෙනකු රෝහලේදී මිය ගියහොත් හෝ හදිසි අනතුරකින් මිය ගියහොත්...

පුද්ගලයෙක් සෙම හෝ යම් රෝගයක් නිසා රෝහල් ගත වී රෝහලේදී මිය ගියහොත් එම දේහය මෘත ශරීරාගාරය වෙත යවයි. එසේ යවා එම මෘත ශරීරය විශේෂ බෑග් එකකට දමයි. එය සලකන්නේ සැක සහිත කෝවිඩ් මරණයක් ලෙසයි. ඉන්පසු එම මරණය සම්බන්ධව රෝහල් පොලීසිය හරහා හදිසි මරණ පරීක්ෂකවරයාට දන්වයි. ඉන්පසු PCR පරීක්ෂාව කරනු ලබයි.

හදිසි අනතුරකින් අයකු මිය ගියහොත් මරණ පරීක්ෂකට දැන්වීම කළ යුතුයි. එහිදී මරණය මෘත ශරීරාගාරයට යවනු ලබයි. හදිසි අනතුරකින් මියගිය පුද්ගලයන්ට ද PCR පරීක්ෂාව කළ යුතුයි.

පුද්ගලයා මිය යාමට හේතුව නිදන්ගත රෝගයක් නම් එය ද වාර්තාවේ සඳහන් කරයි. එහෙත් කෝවිඩ් වැලඳී ඇතැයි සැකයක් ඇත්නම් එය ද පශ්චාත් මරණ පරීක්ෂකවරයාට යොමු කර PCR පරීක්ෂාව කළ හැකියි.

මෘත දේහ PCR පරීක්ෂාවට ලක් කරනු ලබන්නේ කෙසේ ද?

මෘත දේහ PCR කරන්නේ දවසට දෙවරකි. එනම් උදෑසනත් දහවල් කාලයේදීත් පමණයි. ඒ සඳහා ඉතාම ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරනු ලබයි. එහිදී PCR ගන්නා වෛද්‍යවරයා කෘත්‍රිම ආරක්ෂක ඇඳුම් කට්ටලයක් ඇඳිය යුතු වේ. මෙසේ PCR කර ලබා ගන්නා සාම්පල රෝහලේ රසායනාගාරයේදීම පරීක්ෂා කරයි.

නිවෙසක හෝ අතරමඟ හෝ රෝහලෙන් පිට මිය ගිය කෙනකුගේ කරන PCR සාම්පල යවන්නේ බොරැල්ල පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයටයි.

මේ සඳහා සාම්පල එවන්නේ අධි ආරක්ෂිත බහාලුම් තුනක් දමාය. මේ පරීක්ෂණය කරන්නේ වෛරස් රසායනාගාරයකදී විශේෂිත ක්‍රමවේද වලට අනුකූලවය. මේ පරීක්ෂාවට පැය 10කට ආසන්න කාලයක් ගත වේ. වාර්තා නිකුත් කිරීමට පැය 12 - 24 ක පමණ කාලයක් ගත වේ. එම වාර්තා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට යැවූ පසු අදාළ පොලීසිය වෙත යවනු ලබයි.

ඉන්පසු වාර්තාවට අනූව වාර්තා ද සමඟ අනූව දේහය ඥාතීන්ට බාර දෙනු ලබයි.

කෝවිඩ් වැලඳී මිය ගිය කෙනකුගේ මරණ පරීක්ෂණය සිදු කරන්නේ කෙසේ ද?

කෝවිඩ් වැලඳීමෙන් සිදු වූ මරණයක් නම් පශ්චාත් මරණ පරීක්ෂයක් සිදු කරන්නේ නැත. එවිට වාචික පශ්චාත් මරණ පරීක්ෂාවක් කරයි. රෝගියාගේ මීට පෙර රෝග පරීක්ෂණ වාර්තා සමඟ සසඳා මරණයට ආසන්න හේතු හා කෝවිඩ් නිසා සිදු වූ මරණයක් බව සඳහන් කරයි.

කෝවිඩ් නිසා මිය ගිය කෙනකුගේ අවසන් කටයුතු සිදු කළ යුත්තේ කෙසේ ද?

කෝවිඩ් වැලඳී තිබෙන දේහ ඥාතීන්ට බාර දෙන්නේ නැත. එම්බාම් කරන්නේ ද නැත. ළඟම ඥාතීන් පස් දෙනකුට මෘත ශරීරාගාරයට පැමිණිය හැකියි. එහිදී සීල් කළ දේහය බැලීමට පැමිණෙන අය මාස්ක් දමා සෞඛ්‍යාරක්ෂිත ලෙස පැමිණිය යුතුයි. ඒ සඳහා අදාළ ප්‍රදේශයේ PHI ද පැම්ණිය යුතුයි. සීල්කළ දේහය සහිත බෑගය විවෘත කර බැලීම කළ නොහැකියි.

ඥාතීන් විසින් මිනී පෙට්ටියක් ලබා දිය යුතුයි. මෙහිදී මිනී පෙට්ටියට දමන්නේ බෑග් එකක් සහිත සීල් කළ දේහයකි. ආදහනය හෝ භූමිදානය රජයේ වියදමින් සිදු කරනු ලබයි. අවසන් කටයුතු පැය 24ක් ඇතුළත කළ යුතු වේ.

 

උපදෙස් 
වෛද්‍ය පී.පී.ආර්.පී. රාජපක්ෂ
නාගරික හදිසි මරණ පරීක්ෂක  දිස්ත්‍රික් 
මහ රෝහල 
ගම්පහ
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.