වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ආබාධ සහිතව ඉන්න කවුරුවත් මනසින් පරාජය බාර ගන්න එපා
කොරෝනා අභියෝගය මැද පැවැති මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිපල පසුගියදා නිකුත් විය. විභාග ප්‍රතිඵල අතර ඉහළම ලකුණු ලැබූ දක්ෂයන් ගැන මේ වන විටන් මුළු රටම දනියි. ඒ පිළිබඳව වාර්තා කරනු වෙනුවට මෙවර සම්ප්‍රදාය බිඳින්නට සිතූ අප දක්ෂයන් අතුරින් විශේෂ ජයග්‍රහණයක් ලැබු සිසුවියක් සොයා ගියෙමු.
ඇය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වත්සලා යසන්ති මුතුකුඩේ දැරිවියයි. ඈ මෙවර තුන්වැනි වරට උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටිමින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අතුරින් ප්‍රමුඛස්ථානයට පත් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේම 21 වැනියා වෙමිනි. ඇය පිළිබඳ මෙලෙසින් සටහන් තබන්නට හේතු බොහෝය. උපතින්ම ආබාධිත දැරිවියක් වූ වත්සලා දියණිය පළමු ශල්‍යකර්මයට භාජනය වන්නේ වයස මාස තුනක් වැනි ළදරු අවධියේය. ඉන් පසුව මේ දක්වා ඇය ශල්‍යකර්ම 25 කට භාජනය කර තිබේ. ඇයගේ දකුණු අතේ වැලමිටෙන් පහළ කොටස් උපතින්ම අහිමි වී ඇති අතර වම් අතේ එක් ඇඟිල්ලක් පමණක් (මහපටැඟිල්ල) හිමිව උපන් ඇයගේ අනෙක් සියලු ඇඟිලි ශල්‍යකර්ම ගණනාවක් කිරීමෙන් සකස් කර ගැනීමට හැකිව ඇත්තේ වෛද්‍යවරුන්ගේ මහත් කැපවීමකිනි. එසේම ඇය උපදින විටම ඇයගේ නහයේ සිට තල්ල දක්වා අහිමිව තිබී ඇත. ප්ලාස්ටික් ශල්‍යකර්ම ඇතුළුව ශල්‍යකර්ම 25 ක් කර ඇති මේ දරුවා මේ ජයග්‍රහණය හිමි කරගත්තේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට මාස තුනකට පෙර ඇඟිලි පුරුකක ඇති වු ආබාධයක් නිසා ශල්‍යකර්මයකට පෙනී සිටීමෙන් පසුවය.
ජයග්‍රහණයේ සතුටු කඳුළු මැද ඇගේ ධෛර්යවන්ත ගමන ගැල අප හට මුලින්ම හෙළි කළේ ඇගේ ආදරණීය මව ලුම්බිණි කුමාරි මුතුකුඩේ මහත්මියයි.
දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මව වූ ඇයත් මුදල් අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනුර බණ්ඩාර මුතුකුඩේ මහතාගේ කැදැල්ලට එක් වූ පළමු දරුවා මෙලෙසින් ආබාධිත වූ ඇය ජයග්‍රහණය කරා මෙහෙයවූ අයුරු හෙළි කළේ සෑම මවකටම ආදර්ශයක් වෙමිනි.
"දුව ඉපදුණේ පේරාදෙණිය රෝහලේදී. වත්සලා දුව ඉපදෙන්න ඉන්නකොට මට වෛරස් උණක් හැදුණා. මට හොඳටම අමාරු වුණා. ඊට පස්සේ දරුවා ලැබෙනකොට තමයි දැනගත්තේ ආබාධ සහිත දරුවෙක් කියලා. ඇය මගේ පළමු දරුවා. ඊට අවුරුදු 1 1/2 කට පස්සේ පුතා ඉපදුණා. එයා ගැනත් බය නිසා කොළඹ ජාතික රෝහලේ රොහාන් ජයසේකර සර් ගාවට ගියා. එයා අපට කිසිම දෙයකට බය වෙන්න එපා. දරුවාට වෛරස් එකක් ගිහින් මේ වගේ වුණාට පුතාට කිසිම ආබාධයක් නෑ කිව්වා. දැන් අපට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මෙයා 13 පාරක් නිර්වින්දනය කරලා තියෙනවා. කොහොම හරි සෑහෙන ශල්‍යකර්ම කරලා තමයි සාමාන්‍ය තත්ත්වයට ආවේ. දරුවා කුඩා කාලේ පටන්ම ඉගෙනීමට දක්ෂයි.
මෙයාට ශිෂ්‍යත්වයට ලකුණු මදි වුණා. එයාට වැඩිපුර කාලය දෙන බව දැනගෙන හිටියේ නෑ. දුව සා/පෙළ දක්වා ස්වර්ණමාලි විද්‍යාලයට ගියා. උසස් පෙළට තමයි උසස් බාලිකා විද්‍යාලයට ගියේ. මම රැකියාව කළා. නමුත් දරුවා නිසා එයින් ඉවත් වෙලා දරුවා වෙනුවෙන්ම කැප වුණා. පුතා පළමුවරටම ගිය අවුරුද්දේ ඉංජිනේරු පීඨයට සමත් වුණා. දුව 2018 වසරේදී පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිට බී සමාර්ථයක් හා සී සමාර්ථ දෙකක් ලබා ගත්තා. 2019 වසරේදී යළිත් විභාගයට පෙනී සිටි ඇයට බී සමාර්ථ තුනක් ලබාගෙන 163 වැනියා වුණා. එයාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණා.
ඒත් දුවගේ අධිෂ්ඨානය වුණේ වෛද්‍ය පීඨයටම යන්නයි. මේ වසරේ ඇය විභාගයට ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබාගෙන ඉහළින්ම සමත්වෙලා ඒ ඉලක්කය ජය ගත්තා. එයා කිසිම දවසක බැහැ කියන වචනයට කැමැති වුණේ නෑ."
අප සමඟ ඉන් පසුව පිළිසඳරට එක් වූයේ වත්සලා දියණියයි. ඇයගේ සෑම වචනයකම සටහන්ව තිබුණේ කුඩා කළ සිට ලැබූ අභියෝග හමුවේ ලැබූ පන්නරයයි.
"මට පුංචි කාලේ පටන්ම අනෙක් අය වගේ වේගයනේ ලියන්න බැහැ. ඇඟිලි හදලානේ තියෙන්නේ. සමහර වෙලාවට යාළුවන්ගෙන් බලාගෙන ලියනවා. පස්සේ ටික ටික ලියන්න හුරුවුණා. නිර්මාණ කිරීමත් හුඟක් මහන්සියෙන් පුරුදු වුණා. මගේ ආබාධ දැකලා සමහරු මට හිනා වෙලා තියෙනවා. නමුත් මම ඒවා අභියෝගයක් කරගෙන ඉගෙන ගත්තා. මම පොඩි කාලේ පටන්ම වැඩි කාලයක් රෝහලේමයි හිටියේ. ඒ නිසා පුංචි කාලේම මගේ හිතට ආවා කවදා හරි වෛද්‍යවරියක් වෙලා රටට සේවය කරනවා කියලා. මම පළමුපාර දෙවැනි පාර කරනකොට ගුරුවරු කිව්වා අතඅරින්න එපා කියලා. ඒ දිරිමත්වීම සමඟ කොරෝනා කාලේ මට පුළුවන් විදිහට කළා. මගේ අන්තිම ඔපරේෂන් එක කළේ අගෝස්තු මාසේදියි. ලියලාම අතේ ගෙඩියක් ආවා. සමහරු මට උසුළු විසුළු කළාට මානසික වැටෙන්න නැතිව යන්න මට යාළුවෝ උදව් කළා. ගුරුවරු පවා මවුපියෝ වගේ උදව් කළ නිසයි මට මේ ජයග්‍රහණය ලබන්න හැකිවුණේ. ඇත්තටම ඕනෑම කෙනෙකුට තමුන්ගේ හිත ශක්තිමත් කර ගත්තොත් ලබන්න බැරි ජයග්‍රහණයක් නැහැ. මගේ අත්දෙක උදුර ගත්තට මගේ අධිෂ්ඨානය උදුර ගන්න මම කාටවත්ම දුන්නේ නැහැ. තරගයකට ගියොත් මිනිස්සු කතා කරන්නේ ජයග්‍රාහකයෝ ගැන විතරයි. පරාජිතයෝ මොන තරම් තරගයක් දුන්නත් අවසානයේ ඒ අය එකතු වෙන්නේ පරාජිත ගොඩටයි. මම දැනගත්තා ජයග්‍රහණය කරනවා නම් විශිෂ්ට විදිහටම දිනන්න ඕන කියලා. මම ඕ ලෙවල් වෙනකල් ඉස්කෝලේ ගියේ ස්වර්ණමාලි බාලිකාවට. ඒ අටයි බී එකයි අරන් පාස්වෙලා මම උසස් බාලිකාවට ගියේ. මුල් කාලේ මම ඉස්කෝලේ ගියේ ස්කූල් වෑන් එකේ. මට සමාජය හුරු කරන්න ඕන කියලා අම්මයි තාත්තයි මාව බස් එකේ ඉස්කෝලේ එව්වා. ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මුල්කාලේ මට බස් එකේ හිටගෙන යන්න බැහැ වැටෙනවා. අල්ලගන්නනත් ආමාරුයි. පස්සේ පස්සේ එකට පුරුදු වුණා. අත්දෙකම එකවර සැත්කම් වලට ලක් කළාම වෙළුම් පටිදාලා වෙළනවා. එතකොට අම්මා තමයි කවන්නේ පොවන්නේ හැමදේම කරන්නේ. අම්මා, තාත්තා, මල්ලී, නංගී කවදාවත්ම එයාලට මාව බරක් කියලා පෙන්නුවේ නැහැ. මගේ අත්වල අඩුපාඩු දැකලා මිනිස්සු එක එක දේවල් ඇහුවම අම්මා ගෙදර ඇවිත් හොඳටම අඬනවා. අම්මා හිතන්නේ එහෙම අහනකොට මට දුක හිතෙයි කියලා. මම ඒවගෙන් තවත් ශක්තිමත් වුණා. මම වෙනුවෙන් ජීවිතය කැප කරපු අම්මාට තාත්තට ජීවිතයේ ලබාදෙන්න පුළුවන් ලොකුම සතුට කවදාහරි ලබා දෙනවා කියලා මම හිතුවා. අද මට ඒක කරන්න පුළුවන් වුණා. ආබාධ සහිතව ඉන්න කවුරුවත් මනසින් පරාජය බාර ගන්න එපා. අපිට දෙයක් අහිමි වෙනකොට තවත් හිමි දෙයකට දොරටු විවිර වෙනවා. අවශ්‍යය වෙන්නේ කැපවීම, අධිෂ්ඨානය විතරයි."
ඒ වදන් අතර වූයේ සැබෑම ශක්තියකි. එය සෑම දසරුවකුටම වටිනා ආදර්ශයකි. එසේම විදේශ රටවල ධනාත්මක චින්තනය පිළිබඳ වියතුන්ට වඩා ඇය වැනි දරුවන්ගෙන් අපට ලැබිය හැකි ආදර්ශය වඩාත් ප්‍රබලය.
වත්සලාගේ කතාවෙන් අපේ දරුවන්ට උගත හැකි පාඩම් බොහෝ තිබේ.
තොරතුරු සහ ඡායාරූප සැපයීම -
අසේල කුරුළුවංශ