දුවෙක් ද පුතෙක් ද කලින් ම දැනගන්න ඕනෙ ද?

ජූලි 14, 2021

 

කිරිකැටි දරුවකුගේ මුහුණ බලන්න නොතින් ආශාවෙන් සිටින මව්වරුන්, ස්කෑන් පරීක්ෂාවට යොමුවන්නේ පුදුමාකාර උද්යෝගයකින්. හිරණ්‍යාත් සේමිතත් දෝරේ ගලා ගිය සතුටකිනුයි මේ සඳහා එක්වුණේ.

 

ගර්භණී සමයේ දෙවැනි ත්‍රෛමාසිකය තුළ එනම් සති 20 - 24 පමණ සිදුකෙරන මෙය හඳුන්වන්නේ ඇනොමලි ස්කෑන් පරීක්ෂාව නමින්.

බබාගේ සිරුරේ අවයව එකක් ගානේ පරීක්ෂා කෙරෙද්දී කායිකව දරුවාගේ වැඩීම පිළිබද පූර්ණ අවබෝධයක් ලබාගන්නට මෙමඟින් පුළුවන්. ඇතැම් දරුවෝ කුස පිළිසිඳ ගනිද්දීම යම් යම් ආබාධ ඇති අය ලෙසින් වැඩෙනවා. වෛද්‍යවරු මවගේ ඇනොමලි ස්කෑන් පරීක්ෂණයක දී මේ බව හඳුනාගෙන ඒ සඳහා කළ හැකි යම් ප්‍රතිකාර ඇත්නම් ඒ සඳහා වහාම යොමුවෙනවා.

පෙනහලුවලට පිටින් වතුර පිරීම නිසා හෘදය වස්තුවේ රුධිර සංසරණ පද්ධතියේ යම්යම් ගැටලු මතු විය හැකියි. දරුවාගේ මුත්‍රාශයේ යම් යම් අවහිරවීම් සිදුවිය හැකියි. මේ සඳහා කුසතුළදීම ප්‍රතිකාර කළ හැකියි.

හෘදය වස්තුවේ යම් ආබාධයක් ඇත්නම් ඒ බව කුස තුළදීම හඳුනාගත්තොත් දරුවා මෙළොව එළිය දුටු වහාම අදාළ ශල්‍යකර්ම සඳහා යොමු කරන්න පුළුවන්. කුස තුළ සිටින දරුවා සුව කළ නොහැකි ආබාධයකින් පෙළේනම් ඒ බව හඳුනාගතහොත් මවට කුස තුළ සිටියදීම පැවසීමෙන් මවගේ මානසික මට්ටම මුල සිටම ගොඩනඟා ගන්න පුළුවන්. දරුවා උපන් පසු දැනගතහොත් මව එහෙම පිටින්ම මානසිකව කඩා වැටේවි.

මේ ස්කෑන් පරීක්ෂණයට දරුවාගේ මව සහ පියා දෙදෙනාම පැමිණීම වැදගත්. පවුලට එකතුවන්නට සිටින අලුත්ම සාමාජිකයා කුස තුළදී හොඳින්ම දකින අවස්ථාවක් මේ. ඇනොමලි ස්කෑන් එකක දි සැමියාට තම ගර්භණි බිරිය ගැන හිතන්න, බිරියට තම සැමියා, දරුවන්... මේ ගැන නව සිතුවිලි ඇති කරගන්න හොඳම අවස්ථාවක් මේ.

සාමාන්‍ය කාලයක් ගත කොට වෛද්‍යවරයා මව සහ පියාට නොදුටු දරුවා පිළිබඳ කරන පැහැදිලි කිරීම හරිම වින්දනීය අත්දැකීමක්. එදා වගේ නෙවෙයි දැන් තාක්ෂණය ඉතාම දියුණුයි. Colour Prinout වලින් දරුවාගේ මුහුණේ ඡායාරූප, සම්පූර්ණ ඇනොමලි ‍ ස්කෑන් එකම ඩී.වී.ඩී. පටයක් ලෙසින් ලබාදෙනවා. ගැබිනි මව්වරුන් මේ ඩී.වී.ඩී. පටය සිය සැරයකට වඩා බලනවා නොඅනුමානයි. කුස පිරිමදිමින් මෙය වරින්වර බලද්දී දරුවාට ඒ බව හොඳින්ම දැනෙනවා. සංවේදීව දරුවා අම්මගේ කුසට පයින් ගහගෙන ගහගෙන යනවා. මේ වෙද්දී බබාගේ දැඟලීම අම්මට දැනෙන්න පටන් අරන් නිසා අම්මා ඒ හැඟීමත් ඉතාම ආශ්වාදනීය ලෙස විඳ දරා ගන්නවා.

මේ ස්කෑන් පරීක්ෂණයත් සමඟින් මව, පියා, නූපන් දරුවා අතර මනා බන්ධනයක් ඇතිවන බව විද්‍යාත්මකව සනාථ වූවක්.

බබාගේ හෘද ස්පන්දනය මුළු ස්කෑන් කාමරයේ ම දෝංකාර දෙනවා. බබා නිරෝගිබව මේ හෘදය ස්පන්දන ශබ්දයෙන්ම කියන්න පුළුවනි. කුටීර හතර වෙන්වෙන්ව දැකගත හැකියි. හිසේ සිට දෙපතුල දක්වාම එක් එක් අවයව එකින් එක විග්‍රහ කිරීම ඇරැඹෙනවා. 4G ස්කෑන් එකක් ලෙස පෙන්වන නිසා සජීවීව ඒ අත්දැකීම හරි අපූරුවට මවට, පියාට දැනෙනවා.

හිසේ හරස්කඩක් ගෙන එහි එක් එක් මිමි ලබාගන්නවා. මේ හැම අවයවකම අදාළ මිමි අදාළ සති ගණනට අනුව වර්ධනය වී ඇත්දැයි බැලීමත් අතිශය වැදගත් කාරණාවක්. මොළය එකින් එක විග්‍රහ කිරීම හොඳින්ම සිදුවනවා. උදරය වටා පරිධිය මැනෙනවා. එය නියමිත මිමිවලින් තිබිය යුතුයි. පෙකණිය සවි වී ඇති අන්දම පෙනෙනවා.

බබාගේ කකුල් ඇදේට තියෙනවද, අංශක 90 ප්‍රමාණට තිබේද යන්න බැලෙනවා. කොඳුඇට පේළියේ සුෂුම්නාව අතර හරස්කඩ බැලෙනවා. නාරි ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් මෙහි සුළු වෙනසක් පවා තිබුණොත් අවධාරණය යොමු කරනවා.

වැදැමහ තිබෙන අයුරු එහි දියර නිසි ලෙස තිබේද, පෙකනිවැල නියමාකාරයෙන් තිබේ ද මේ දේවලුත් වැදගත් වෙනවා.

උරහිස, අත, වැලමිට, අතේ ඇඟිලි බලද්දී අතේ ඇඟිලි ගණන් කරන්නත් පුළුවන්.

ගර්භාෂයට නියමාකාරයෙන් රුධිරය ගෙන යෑමත් බැලෙනවා.

පුංචි බබා දුවෙක් ද, පුතෙක් ද බව මේ ස්කෑන් එකෙන් හොඳින්ම කියන්න පුළුවන්. හැම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ගේම සිතේ තිබුණු බලාපෙරොත්තුව පිළිබඳ නිශ්චිත නිගමනයකට එන්න පුළුවන්. හැබැයි අම්මයි, තාත්තයි දෙන්නම කැමැති නම් විතරයි බබා දුව ද, පුතා ද කියලා කියන්නේ. කොහොම වුණත් දරුවාට අවශ්‍ය උපකරණ නිල් පැහැයෙන් හෝ රෝස පැහැයෙන් සකස් කරගන්න, කල්තියාම සූදානම් වෙන්න, දුව ද පුතා ද කියලා දැනගන්න අම්මලා කැමැතියි. කොහොම නමුත් දරුවා මෙලොව එළිය දකින මොහොතේ එය හැඳින ගැනීම ජීවිතයේ කවමදාකවත් අමතක කරන්න බැරි අතිශය සුන්දර අත්දැකීමක් වේවි.

හිරණ්‍යා සහ සේමිතත් හිතුවේ ඒ සර්ප්‍රයිස් එක එවෙලෙම අත්විඳ ගන්නයි. ඒ නිසා ඔවුන් දුව ද, පුතා ද කියා අසා දැන ගන්න ඉස්සර වුණේ නැහැ. හිරණ්‍යා සහ සේමිතට වගේම මේ ඇනොමලි ස්කැන් පරීක්ෂණයට මුහුණ දෙන සෑම මවක්ම, පියෙක්ම අසීමිත සතුටක් ලබන බව නම් නිසැකයි.

 

 

අදහස් දැක්වීම

ද සොයිසා කාන්තා රෝහලේ

නාරි හා ප්‍රසව

විශේෂඥ වෛද්‍ය

රුවන් පතිරගේ