ගෑස් සිලින්ඩරයක් ලේසියෙන් පුපුරන්නේ නෑ

අවදානමෙන් මිදෙන්න මේ සරල පිළියම් ගැන දැනගන්න
දෙසැම්බර් 6, 2021

 

*ගෑස් කාන්දුවක් සිදුවෙනවාද කියලා පරීක්ෂා කරලා බලන්න

* ළිපේ තිබෙන බර්නරය මාස දෙක තුනකට වරක් හොඳින් පිරිසුදු කරන්න

* රෙගියුලේටරයේ තත්ත්වය හා ප්‍රමිතිය ගැන සොයා බලන්න

 

කොරෝනා වසංගතය පැත්තක තිබියදී දැන් ජනතාවගේ ලොකුම බිය නිවෙසේ ගෑස් සිලින්ඩරය ගැනයි. උදේ පාන්දර අවදිවන ගෘහණිය මුලින්ම මුළුතැන්ගෙට පිවිසෙන්නේ දෙගිඩියාවෙනි.

“අපේ ගෑස් සිලින්ඩරෙත් ලීක් වෙනවාද දන්නේ නෑ...“ මෙවැනි සිතුවිල්ලක් සෑම ගෘහණියකටම තිබෙයි. ගෑස් කාන්දුව පිළිබඳ නිශ්චිතව හේතුවක් තවමත් සොයාගෙන නැති පසුබිමක අප මේ සටහන තබන්නේ ඒ ගැන තවත් විග්‍රහ කිරීමට නොවේ. පවතින තත්ත්වය මත අප මෙවැනි ගෑස් කාන්දුවක් සිදුවීමෙන් ඇතිවන අනතුරක් වළක්වාගැනීමට අපට කළ හැකි පිළියම් කිහිපයක් ගැන දැනුවත් කරන්නටය. එසේම ගෑස් කාන්දුවක් සිදුවේද යන්න හඳුනා ගැනීමට අපට කළ හැකි සරල උපක්‍රම කිහිපයක් ගැන පැහැදිලි කිරීමටය. මේ සඳහා අප විමසුමක් කළේ ස්වාභාවික වායු සහ ඛනිජ තෙල් පර්යේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා මහතාගෙනි. ඔහු මේ ගැන දැක්වූ කරුණු ගෘහණියකට වඩාත් ප්‍රයෝජනවත් මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයකි.

සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිලිස්ඩයක් ඉතාම ශක්තිමත්. ඒ නිසා ගෑස් ටැංකියක් පුපුරා යෑමට විශාල පීඩනයක් ඇති විය යුතුයි. ගැස් සිලින්ඩරයක ප්‍රධාන වශයෙන් තිබෙන්නේ ප්‍රොපේන් සහ බියුටේන් කියන වායු දෙකේ මි

ශ්‍රණයක්. මෙය ගෑස් සිලින්ඩරය තුළ පවතින්නේ බියුටේන් 70% සහ ප්‍රොපේන් 30%ක අනුපාතයෙන්. නැත්නම් බියුටේන් 65%ක් ප්‍රොපේන් 35%ක අනුපාතයකටයි. මේ සංයුතිය වෙනස් කළොත් තමයි ගෑස් සිලින්ඩරයක් පුපුරා යන්නේ. සාමාන්‍යයෙන් ගෑස් ටැංකියකට අමතරව ප්‍රධාන වශයෙන්ම රෙගියුලේටරය, ගෑස් ළිප දක්වා ගමන් ගන්නා බටය සහ ගෑස් ළිප තමයි තිබෙන්නේ. ගැස් ටැංකියක ඇති ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය වෙනස් කරලා ඊට වඩා වැඩි ප්‍රමාණයකින් දැම්මොත් ඒක ගැස් පිටවෙන වෑල්ව් එකට ඔරොත්තු දන්නේ නැති වෙන්න පුළුවනි. ගෑස් ටැංකියක තියෙන බියුටේන්වල පීඩනය අඩුයි. හැබැයි ප්‍රොපේන් පීඩනය ඊට වඩා හතර ගුණයක්. මේ සියල්ලටම ඔරොත්තු දෙන වෑල්ව් එකක් යෙදීම ඉතාම වැදගත්. එසේම රෙගියුලේටරය. මේ සියල්ල නියම ප්‍රමිතියට අනුව තිබේ නම් ඔබ සුරක්ෂිතයි.

ඔබ නිවෙසට ගෙනියන ගැස් සිලින්ඩරයක වැල්ව් එකෙන් ගෑස් කාන්දු වෙනවා නම් එයට හේතුව සංයුතියේ වෙනස්වීමක් විය හැකියි. සංයුතිය වෙනස්වීම නිසා පීඩනය වැඩිවීමෙන් තමයි මේ ආකාරයට ගෑස් ලීක් වෙන්නේ.

පාරිභෝගිකයන් හැටියට ඔබට පුළුවන් මේ ආකාරයේ ගෑස් කාන්දුවක් සිදුවෙනවාද කියලා පරීක්ෂා කරලා බලන්න. ඔබ ගෙදරට ගෙනෙන ගෑස් ටැංකියේ සීල් එක ගැලෙව්වට පස්සේ කුඩා මූඩියකට සබන් ටිකක් දියකර පෙණ ටිකක් සාදා ගන්න. එය ටැංකියේ කරමත ගාන්න. එයින් බුබුළු පුපුරා යනවා නම් ඔබ වහාම මිලදී ගත් ස්ථානයට ආපසු භාර දෙන්න. පාරිභෝගික අධිකාරියට දන්වන්න. එය ඔබටත් අනෙක් ජනතාවගේ ආරක්ෂාවටත් වැදගත්.

ඔබ ගෑස් ටැංකියක් පාවිච්චි කරන විට නිරතුරුවම රෙගියුලේටරයේ තත්ත්වය හා ප්‍රමිතිය ගැන සොයා බලන්න. එසේම ඔබගේ නිවෙසේ ගෑස් ටැංකියට යොදා ඇති බටය පරීක්ෂා කරන්න. සමහර විට එය මීයන් විසින් පළුදු කරන්න පුළුවන්. සමහර ස්ථානවලින් නැමී ගිහින් ගෑස් නියම අයුරින් ගමන් නොකිරීමෙන් අවහිරතා ඇති වෙන්න අවස්ථාව තියෙනවා. එසේම ගෑස් ළිපේ තිබෙන බර්නරය මාස දෙක තුනකට වරක් හොඳින් පිරිසුදු කරන්න. සමරහවිට ඔබ මේ ළිප පිරිසුදු නොකිරීම නිසා මල බැ‍ඳෙන්න ඉඩ තියෙනවා. එසේම නියම දහනයක් නොවීම නිසා නිල් දැල්ල නොතිබීමෙන් ගෑස් නාස්තිවීමට තිබෙන ඉඩකඩ වැඩියි.“

ඔබ පාරිභෝගිකයෝ ලෙස ගෑස් ටැංකියක ඇති සංයුතියට වඩා ගෑස් ළිපක් භාවිතය ගැන දැනුවත් විය යුතු වෙයි. ඒ සඳහා ගෑස් ටැංකියක් සවි කිරීමේ සිට ගෑස් ළිපක් භාවිතා කිරීමේදී අනතුරක්වීමට ඇති සම්භාවිතාවය අඩුකර ගැනීමට කළ හැකි හොඳම පිළියම වන්නේ මුලින්ම උදෑසන නිවෙසේ ගෑස් ළිප දැල්වීමට ප්‍රථම මුළුතැන්ගෙයට හොඳින් වාතාස්‍රය ලැබන ලෙස දොර ජනෙල් විවෘත කර මිනිත්තු කිහිපයක් තබන්න. ගෑස් කාන්දුවක් පිළිබඳ හෝඩුවාවක් ඇති නම් ඒ ගැන හොඳින් පරික්ෂා කර බලන්න. විශේෂයෙන්ම කුඩා දරුවන් ගෑස් ළිප අසලට යෑමෙන් වළකා ගන්න. සෑම දිනකම මේ ක්‍රියාකාරකම් පෙළ නිවැරැදිව අනුගමනය කරන්න. ඔබගේ ගෑස් ළිපට අමතරව රෙගියුලේටරය හා ගෑස් ළිපට සම්බන්ධ වෙන බටයේ ක්ලිප් හොඳින් සීල් වී තිබේදැයි පරීක්ෂා කර බලන්න.

එසේම විවිධ උත්සව අවස්ථා සඳහා විශාල ප්‍රමාණයේ ගෑස් උඳුන් පාවිච්චියේදී ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන ඔබට අවබෝධයක් නොවේ. එවැනි උඳුන් පාවිච්චි කිරීමට හොඳින් දන්නා අයෙකුගෙන් සහයෝගය අනිවාර්යෙන්ම ලබා ගන්න. මෙවැනි සරල ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමෙන් ඔබට ද ගෑස් කාන්දුවීමේ අවදානමෙන් මිදෙන්න අවස්ථාව ලැබේවි.