සැමියා ගෙදර ඉන්න විට කතාබහ අවසන් වෙන්නේ රණ්ඩුවකින්

ජනවාරි 24, 2022

ඔබත් මේ වගේ පීඩනයකින් ඉන්න බිරියක් නම් හැසිරෙන්න ඕනෙ කොහොමද?

පුංචි පුංචි ආදරණීය නෝක්කඩු සහ බහින්බස්වීම් සෑම විවාහක යුවළක් අතරම පවතිනවා. නමුත් අවාසනාවකට සමහර අඹු සැමියන්ගේ බහින්බස්වීම් අසුන්දර ලෙසින් දික් ගස්සවාගෙන, දික්කසාදය දක්වා ගෙන යනවා. දෙදෙනකු එකිනෙකාව නොරිස්සමින් ජීවත්වීම තරම් මානසික පීඩාවක් තවත් නැහැ. ඒ වගේම ඔබේ ආදරණීයයන්ගේ ගැටලු නිසාත් ඇතැම් විට ඔබට මානසික වශයෙන් කඩා වැටීම්වලට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. එවැනි ගැටලු ඔබටත් ඇති. ලියන්න ඔබේ ගැටලුව තරුණීට. අප ඔබට ඉක්මන් විසඳුම් ලබා දෙන්නෙමු. අපේ ලිපිනය,අපගේ ලිපිනය කියන්න බැරි දේ ලියන්න තරුණී- ලේක්හවුස් කොළඹ 10

ප්‍රශ්නය

31 හැවිරිදි මා දෙදරු මවක්. සැමියා වැඩි කතාබහක් ඇති අයකු නොවේ. කතා කළත් පිළිතුරු ලබා දෙන්නේ නොරිස්සුමෙන්. ඔහුගේ ඒ හැසිරීමෙන් පෙනෙන්නේ ඔහු මා වදයක් ලෙස සලකන බවයි. මේ ගැටලුව නිසා පවුලේ ගත යුතු ඇතැම් තීරණ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කොට තීරණයකට එළැඹීමට අපහසුයි. තරහාකරුවන් ලෙස මෙසේ නිවෙසේ විසීම මා හට අපහසුවක් ගෙන දෙන්නකි.

කතා බහ කරන විට ඔහුගේ නොරිස්සුම් සහගත පිළිතුරු නිසා ඒ කතා බහ අවසන් වන්නේ රණ්ඩුවකිනි. ඔහුගේ මේ හැසිරීමට මා කළ යුත්තේ කුමක් ද?

බහින්බස් වීම් දුර දිග යන්නේ ඇයි?

බොහෝ බහින්බස් වීම් දුර දිග යන්නේ අකාරුණික බව නිසයි. දෙදෙනකු අතර ඇති වන වාදයක් සාර්ථකව නිම කළ හැක්කේ දෙදෙනාම තර්කානුකූලව කරුණු දිග හැර දැක්වූ විටයි. තමාට අදාළ කරුණු පිළිබඳව පැවසීමෙන් බොහෝ බහින්බස් වීම් ඉක්මණින්ම කෙලවර කර ගත හැකියි. නමුත් බොහෝ වාදයෙන් දිනන්නට උත්සාහ කරන්නේ අනෙකාව අපහාසයට ලක් කරමින් හෝ තර්ජනාත්මකව බිය ගැන්වීමෙනුයි. ඉතින් බහින්බස් විම් අසුන්දර ලෙස දුර දිග යාම අහන්නත් දෙයක්ද.

සිතේ ඇති දෙය නොපැවසීම

අනවශ්‍ය දබර ඇති වීමට බලපාන එක් හේතුවක් වන්නේ සිතේ ඇති අවංක හැඟීම් හෙළි නොකර සිටීම. තමන්ගේ සහකරුගේ යම් හැසිරීමකට ඔබ අකැමැති නම් ඒ බව කාරුණාවන්තව පවසන්න. එසේ නොමැති නම් ඔහු ඔබගේ යම් හැසිරීමකට ඇමැතියි කියා පෙනෙයි නම් ඒ ගැන විමසන්න. ගැටලුව එතැනින්ම අවසන් වනු ඇත. ඒ වෙනුවට බොහෝ දෙනා කරන්නේ තමාගේ සිතේ ඇති ගැටලුව සඟවාගෙන, වෙනත් සුළු සුළු දේවල් කෙරෙහි කෝප වීමය.

උදාහරණ - සැමියා තමා කෙරෙහි දැක්වූ ආදරය අඩු යැයි දැනෙන විට ඒ පිළිබඳ නොවිමසා, සැමියා ප්‍රමාද වී නිවෙසට පැමිණීම ගැන දබර කරන්නට යාම.

මෙවැනි අවස්ථාවලදී අනෙකාට ඔබේ සිතේ ඇති දේ තේරුම් ගැනීමට ශක්තියක් නැති නිසා ඔබ වෙනත් කරුණු ගැන බහින්බස් වීමට යාම අර්ථ විරහිතයි. මින් ඇති වන්නේ වැරැදි වැටහීම් සහ සිත් රිදවීම් පමණයි.

අදහස්වල ඇති වෙනස්කම් ඔබේ පවුලට එක්කළ යුත්තේ විවිධත්වයක් මිස බහින්බස් වීම් නොවේ.

අප එකිනෙකාගේ අදහස් එකිනෙකාට වඩා වෙනස් බව අපි හැමෝම දන්නවා. වෙනස් අදහස් ඇති දෙදෙනෙක් විවාහ වූ විට කළ යුත්තේ ඒ විවිධත්වයෙන් යුතු වූ අදහස් යොදාගෙන පවුල ගොඩ නැඟීමයි. මෙතරම් කලක් එකම ක්‍රමයකට කරගෙන ආ දේවල්, දෙදෙනාගේම විවිධත්වයකින් යුතු වූ අදහස් යොදාගෙන විවිධ ක්‍රමවලින් සිදු කළ හැකියි.

උදාහරණ - නිවෙසේ භාණ්ඩ තැබිය යුතු ආකාරය ගැන වාද විවාද ඇති කර ගැනීම වෙනුවට දෙදෙනාගේම අදහස් මත ගෘහ අලංකරණය සිදු කළ හැකියි.

“ඔයා කියන විදිහට පුටු සැටිය තිබ්බාමත් ලස්සනයි. අපි එහෙම තියලා බලමු.“ මේ ආකාරයට සැමියාගේ කැමැත්තට ඉඩ දී වෙනසක් කරලා බලන්න තරම් ඔබ බුද්ධිමත් වන්න. ටික දවසක් ගියාට පස්සෙ යළිත් ඔබේ කැමැත්ත පරිදි අවශ්‍ය වෙනස කර ගන්න ඔබට සැමියාගේ සහාය ලබාගන්නත් පුළුවන්.

පවුලක බැඳීම් ආදරය බව තේරුම් ගත යුතුයි

සමහර පවුල්වල මව්පියන් කෙළවරක් නොමැතිව දබර වෙනවා. නමුත් කෙසේ හෝ පවුල් ජීවිතයත් රැක ගන්නවා. ඉතින් බොහෝ විට එවැනි පවුල්වල දරුවන්ගේ සිතේ රැඳෙන ආදර්ශය වන්නේ රණ්ඩු දබර කිරීමෙන් සබඳතාවයට හානි නොවන බවයි. එවැනි දරුවන් විවාහ වූ පසු ආදරයෙන් ප්‍රශ්න විසදා ගැනීම වෙනුවට, දබර කිරිමේ ක්‍රමවේදය අනුගමනය කරන්නට පටන් ගන්නවා.

කරුණු පැහැදිලි කර දීමෙන් විසඳාලිය හැකි බොහෝ ප්‍රශ්න ඔවුන් දබර කර ගැනීම මඟින් දුර දිග යවනවා. එකිනෙකාට ගරු කිරීම පවුල් ජීවිතය රැක ගැනීමට මඟ බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

මෘදු වචන භාවිත කරන්න

වාද විවාද ඇති වීම වලක්වාලිය නොහැකි වුවත්, සැර පරුෂ වචන භාවිත කිරීමෙන් වැළකීමට ඔබට හැකියාව තිබෙනවා. ඔබට අවශ්‍ය දේ පැවසීමේදී යමක් පැහැදිලි කිරීමේදී, අනෙකා කළ අඩුපාඩුවක් පිළිබඳව පැවසීමේදී චෝදනාත්මක මුඛයෙන් නොව මෘදුව වචන හසුරුවන්න. එකිනෙකාගේ සිත් රිදවා ගැනීමට වඩා එය කෙතරම් අගනේද? ඔබ එසේ හැසිරෙන විට සැමියාත් නොරිස්සුම් සහගත බව ඉවත දමා ඔබ සමඟ සුහදව කටයුතු කරයි.

නැවතී හැරි බලන්න

හදිසියේ හෝ ඔබ දෙදෙනා අතර බහින්බස් වීමක් ඇතිවුවහොත් මඳ වෙලාවක් ගත වන විට නැවත හරි සිහියට පැමිණෙන්න. ඔබ මෙතරම් දබර කරන්නේ දබර කළ යුතු කාරණාවකටදැයි ඔබෙන්ම අසන්න. සමහරුන් දබර වන්නේ මේසයට දැමිය යුත්තේ මොන වර්ණයෙන් යුතු මේස රෙද්දක්ද යන්න පිළිබඳව විය හැකියි. ඔබ දෙදෙනාගේ සබඳතාවයට වඩා එවැනි සුළු කරුණු වැදගත් වන්නේ කෙසේද? එසේ සිතුවහොත් ඔබට ඔබ ගැන ලැජ්ජාවක් ඇති වේවි.

සැමියා උනන්දුවන දෙයක් ගැන කතා බහ කරන්න

සැමියා වැඩි කතා බහක් නැති අයකු නම්, ඔහු වඩා ප්‍රිය කරන මාතෘකාවක් ගැන ඔහුත් සමඟ කතා කරන්න. එවිට ඔහු වඩා උනන්දුවෙන් ඒ පිළිබඳව ඔබත් සමඟ කතා කරාවි. එවැනි පුංචි පුංචි දේවල්වලින් සැමියාගේ අවධානය, ආදරය දිනා ගන්න පුළුවන් බව ඔබට වැටහේවි.

සටහන

විදුමිණි දිසාකරුණා

උපදෙස්

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ

විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ