තාත්තා මගේ අතට බොක්සිං ග්ලවුස් දැම්මේ අපූරු ප්‍රාර්ථනාවක් එක්ක

ජනවාරි 24, 2022

Olympic ගිය බොක්සිං විනිසුරුවරිය

නෙල්කා ශිරෝමාලා

නම නෙල්කා ශිරෝමාලා

රැකියාව - කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක

පාසල - ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය

¾ ලංකාවේ ප්‍රථම කාන්තා බොක්සිං කණ්ඩායමේ සාමාජිකාවකි.

¾ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම බොක්සිං ක්‍රීඩිකාව සහ කාන්තා බොක්සිං කණ්ඩායම් නායිකාව.

¾ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා විනිසුරුවරියන් හතරදෙනාගෙන් එක් අයෙකි.

¾ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයකට සහභාගි වූ ප්‍රථම ශ්‍රී ලාංකේය බොක්සිං විනිසුරුවරිය.

¾ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියක් නියෝජනය කළ ප්‍රථම බොක්සිං කාන්තා තරග තීරක සහ විනිසුරුවරිය.

¾ ලෝක කාන්තා / පිරිමි බොක්සිං ශූරතා තරගාවලි, ලෝක යොවුන් කාන්තා / පිරිමි බොක්සිං ශූරතා, ආසියානු කාන්තා බොක්සිං ශූරතා, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, අග්නිදිග ආසියානු ක්‍රීඩා, ඔලිම්පික් මහාද්වීපික තේරීම් තරගාවලි සහ විවිධ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියන් හි බොක්සිං තරග තීරක සහ විනිසුරුවරිය වශයෙන් තරග 1500කට වැඩි ප්‍රමාණයක කටයුතු කර තිබීම.

¾ දේශීය බොක්සිං තරගාවලියන් 5000කට අධික ප්‍රමාණයක තරග තීරක සහ විනිසුරු කාර්යභාරය ඉටුකර තිබීම.

¾ 1998 වර්ෂයේ ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂතම වෙඩි තබන්නාට හිමි සම්මානය.

¾ දැල්පන්දු, බැඩ්මින්ටන්, බොක්සිං ක්‍රීඩා සඳහා පොලිස් වර්ණලාභිනියක්.

¾ 2017 වර්ෂයේ ආසියානු දක්ෂතම බොක්සිං විනිසුරුවරිය සහ ප්‍රථම වතාවට එම සම්මානය කාන්තාවක් විසින් හිමිකර ගැනීම.

¾ දකුණු සහ අග්නිදිග ආසියාවේ බිහිවූ ප්‍රථම තුන්වැනි පෙළ (බොක්සිං ක්‍රීඩාවේ විනිසුරු වර්ගීකරණයේ ඉහළම ශ්‍රේණිගත කිරීම) විනිසුරුවරිය.

¾ දකුණු සහ අග්නිදිග ආසියාවෙන් බිහිවුණු

ප්‍රථම කාන්තා වෘත්තීමය විනිසුරුවරිය.

¾ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට සහභාගි වූ ප්‍රථම ලාංකිය විනිසුරුවරිය.

¾ ඔලිම්පික් බොක්සිං තරගාවලියක අවසන් තරග දෙකක විනිසුරු කාර්යය ඉටුකළ ලොව ප්‍රථම කාන්තාව ( 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ කාන්තා පිරිමි මුළු තරග සංඛ්‍යාව 13කි.)


ගැහැනියක් කියන්නෙම අපූරු දරාගන්නියකි. ජීවිතයෙන් හිමිවන සැපත, සංතෝෂය, සතුට වාගේම දුක, කඳුළ, සංකාව මේ හැමදෙයක්ම ඇය හරි අපුරුවට දරාගන්නීය.

ඒ වාගේම සෑම කාන්තාවක්ම සිය ජීවිත කාලය තුළ භූමිකා කිහිපයක් එහෙමත් නැතිනම් චරිත කිහිපයක් නිරූපණය කරන්නීය. දියණියක්, සොහොයුරියක්, බිරියක්, මවක්, මිත්තණියක් හැරුණුවිට දක්ෂ ව්‍යවසායිකාවක්, වෘත්තිය නිලධාරිනියක්, පාලිකාවක්, ක්‍රීඩිකාවක් ආදී වශයෙන් චරිත බොහොමයකට ඇයට පණ පෙවිය හැකියි. නමුත් මේ සෑම චරිතයක්ම ඉතා සාර්ථකව පවත්වාගෙන යාම බෙහෙවින්ම අසීරු වුවද එවැනි කාන්තාවන් ද අපි අතර නැත්තේ නොවේ.

මෙවර තරුණී කවරය හැඩකරන ඇයද එවැන්නියකි. ලොවක් හඳුනන දක්ෂ බොක්සිං විනිසුරුවරියක්, ක්‍රීඩිකාවක්, පොලිස් නිලධාරිනියක් සේම බිරියක්, මවක් ලෙසින් ඕ සිය භූමිකවන් හරි අපූරුවට නිරූපණය කරන්නීය. එපමණක් නොව බොක්සිං ක්‍රීඩාව හරහා අන්තර්ජාතික සලකුණක් බවට පත්වී අන් අයගේ Roll model එකක් වී හමාරය.

පසුගිය දිනවලදී මෙරට විශිෂ්ටතම කාන්තාවන් දසදෙනා අතරට ද එකතු වූ ඈ ඔලිම්පික් තරගාවලියකට සහභාගි වූ ප්‍රථම ශ්‍රී ලාංකේය විනිසුරුවරියයි. ඔලිම්පික් බොක්සිං තරගාවලියක අවසන් තරග දෙකක විනිසුරු කටයුත්තේ නියැළුණු ලොව පළමු කාන්තාවයි.

නෙල්කා ශිරෝමාලා නම් වූ ඇයයි මෙවර අපේ කතා නායිකාව.

ජීවිතයේ විවිධාකාර දුෂ්කරතා, අභියෝග, ඇද වැටීම් හමුවේ සුවිශේෂී ජයග්‍රහණ හිමිකර ගත්තියකි ඔබ. ජාත්‍යන්තරය තුළ වාගේම පසුගියදා අපේ රට තුළත් ඇගයුමට ලක්වුණා. මොනවගේ හැඟීමක්ද ඒ ගැන දැනෙන්නේ?

“ඇත්තටම පුදුමාකාර සතුටක් දැනෙනවා. ඒ සතුට හරිම නිහතමානියි. තරගයක විනිසුරුවරියක වීමට ලැබීමම හීනයක්. ඒ හීනය සැබෑ වුණා. ඒ විතරක් නෙමෙයි 2021 වසරේ ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ මෙරට විශිෂ්ටතම කාන්තාවන් දසදෙනා අතරට එකතු වන්නට ලැබීමත් මගේ ජීවිතයේ ලද සුවිශේෂී ජයග්‍රහණයක්.“

ඔබේ බොක්සිං ක්‍රීඩා හැකියාව පිටුපස සිටින්නෙ ආදරණීය පියා.

“ඔව්. මගේ තාත්තා දක්ෂ ක්‍රීඩකයෙක්. බොක්සිං, රගර්, ෆුට්බෝල් කියන ක්‍රීඩා තුනෙන්ම ජාතික කණ්ඩයාම නියෝජනය කළ කෙනෙක්. ඔහු පිට පිට හත් වතාවක්ම බොක්සිං හෙවිවේට් බර පන්තියේ ජාතික ශූරයා. ‘රජරට බොක්සිං ශූරයා‘ කියන විරුදාවලිය ලැබුව ටී. සම්පත් කියන්නෙ මගේ පියා.“

හැබැයි ඔබේ ක්‍රීඩා දිවිය වඩාත් ඔපවත් වුණේ පාසල් කාලයේදී. පාසල් නේවාසිකාගාරය ඒකට හේතුවක් වුණා කියලා ඔබ කිව්වා.

“මගේ පියා රැකියාව කළේ නාවික හමුදාවේ. ඔහුගේ රැකියාව නිසා මේ රටේ විවිධ ප්‍රදේශවලට යන්න වුණා. ඉතින් ඒක අපේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙන නිසා අපිව නේවාසිකාගාර ගත කරන්න ඔහු තීරණය කළා. ඒ වගේම තමයි අපේ පවුලේ කෙල්ලොම හතරක්. මම වැඩිමලා. හරිම දඟ මලු ටිකක්. ඉතින් තාත්තා අපිව යැව්වෙත් පාසල් හතරක නේවාසිකාගාර හතරකට. ඒ අනුව තමයි මම ගාල්ල රිපන් බාලිකාවට ගියේ.

ඉතින් ක්‍රීඩාවේ මුලකුරු මම කියෙව්වෙ රිපන් බාලිකාවේ දී. ක්‍රීඩා නායිකා, උප නායිකා වාගේම පාසලේ ශිෂ්‍ය නායිකාවක් වුණු මට මනා විනය, ජයග්‍රහණ ලැබීමේ පන්නරය, අභියෝග භාර ගැනීම වාගේම ජය පරාජය විඳ දරා ගැනීමේ හැකියාව මේ හැමදේටම උපකාරි වුණේ පාසල සහ ශිෂ්‍ය නේවාසිකාගාරය.

ඉන්පසුව පොලිස් සේවයට එකතු වුණු ඔබ බොක්සිං ක්‍රීඩාව ප්‍රගුණ කරනවා පමණක් නෙවෙයි තරග සඳහාත් ඉදිරිපත් වෙනවා.

“මම පොලිස් සේවයට එකතු වු‍ණේ 1997 වර්ෂයේ දී. එහිදී බැඩ්මින්ටන්, දැල්පන්දු සහ බොක්සිං ක්‍රීඩා සඳහා පොලිස් වර්ණලාභිනියක් වෙන්න පුළුවන් වුණා. ශ්‍රී ලංකා පොලිසියේ පළමු බොක්සිං ක්‍රීඩිකාව වගේම කාන්තා බොක්සිං කණ්ඩායම් නායිකාවත් වුණේ මම.“

ඔබ දක්ෂ බොක්සිං ක්‍රීඩිකාවක්. නමුත් තරග කළ හැම වතාවකම දෙවැනි ස්ථානය තමයි හිමි වුණේ.

“ඔව්. මම අඛණ්ඩවම වසර පහක් බොක්සිං ක්‍රීඩාවේ දෙවැනියා බවට පත්වුණා. හැබැයි ඒ සෑම වතාවකම දක්ෂතම පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබාගෙන තියෙනවා.“

ඒ පරාජයම තමයි ඔබේ ඔලිම්පික් ගමන් මගේ ජයග්‍රහණය බවට පත්වුණෙත් නේද?

“සත්තකින්ම. මොකද මගේ තාත්තා 2001 වසරේ ලංකාවේ පළමු ආසියාතික තේරීම් තරගාවලියේ පළමු තරගයට මම සහභාගි වෙද්දි මගේ අතට බොක්සිං ග්ලවුස් දෙක දැම්මේ අපුරු ප්‍රාර්ථනාවක් එක්ක. “මට ගොඩවෙන්න බැරිවුණු ඔලිමිපික් බොක්සිං වළල්ලට පුතේ ඔයා ගොඩවෙන්න ඕනේ කියලා.“ නමුත් ක්‍රීඩිකාවක් විදිහට තාත්තාගේ ඒ බලාපොරොත්තුව ඉටු කරන්න බැරි වුණත් බොක්සිං තරග තීරක සහ විනිසුරු කෙනෙක් හැටියට ඒ ගමන යන්න ලැබීම ගැන මට තියෙන්නෙ නිහතමානී සතුටක්.“

නමුත් ඒ අසිරිමත් මොහොත දකින්න තරම් ඔබේ පියා වාසනාවන්ත වුණේ නෑ.

“ඒක ගැන නම් මට තියෙන්නෙ කියාගන්න

බැරිතරම් දුකක්. මම යුරෝපියානු ඔලිම්පික් තරගාවලියට සහභාගි වෙලා ඉන්නකොට තමයි දැනගත්තෙ හදිසි හෘදයාබාධයකින් තාත්තා ජීවිතයෙන් සමුගත් පණිවිඩය. මම ලංකාවට ඇවිදින් තාත්තාගේ දේහය ළඟට ඇවිදගෙන යනකොට තමයි ඔලිම්පික් තරගාවලියට මාව තේරුණා කියන ඇමතුම ආවේ. ඉතින් මගේ ජිවිතයේ ඒ සතුට තාත්තා එක්ක බෙදාගන්න මට බැරිවුණා.“

ඔබේ මව දැන් පැවිදි දිවියකට ඇතුළු වෙලා.

“මගේ අම්මා කුසුමා පද්මිණී ද සිල්වා. ඇය කඩවත විශාකා සරනි යන නමින් පැවිදි දිවියකට ඇතුළත් වෙලා දැන් වසර කිහිපයක් ගත වෙලා.“

නෙල්කා කියන්නෙ පොලිස් නිලධාරිනියක්. ක්‍රීඩිකාවක්, බොක්සිං විනිසුරුවරියක් වගේම ආදරණීය බිරියක් සහ මවක්.

“මගේ සැමියා චන්දන වික්‍රමනායක. කටුකුරුන්ද පුහුණු පාසලේ විශේෂ කාර්ය බලකායේ සේවය කරනවා. එකළොස් හැවිරිදි මගේ දියණිය හය වසරේ ඉගෙනුම ලබනවා. මගේ සහෝදරියෝ වගේම සැමියාගේ එකම සොහොයුරියත්, සැමියාත් මේ හැමෝම එකතුවෙලා දරුවා රැකබලා ගනිමින් මගේ මේ ගමනට හොඳ සහයෝගයක් ලබා දෙනවා.“

ඔබේ පියා ඇවිදගෙන ආපු මාවත දිගේ ඔබත් ඉදිරියටම ගියා. කවදා හරි දියණියත් ඒ මාවතම තෝරාගනීවි නේද?

“මම කිසිම දවසක කිසිම දෙයකට බලපෑම් කරන කෙනෙක් නෙවෙයි. දියණියටත් ඒක අදාළයි. හැබැයි එයා දැනට ක්‍රීඩා කටයුතුවල නියැලෙනවා. ඒත් තාම බොක්සිං ක්‍රීඩා කරන වයසට ඇය පැමිණ නැහැ. නිසි වයසේ දී ඇය මේ ක්‍රීඩාවට කැමැති වුණොත් මගේ පියා මා දිහා බලා සතුටු වුණා වගේ මගේ දුව දිහා බලලා මටත් සතුටු වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.“

අපේ රටේ වැඩිදෙනෙක් හිතනවා බොක්සිං කියන්නෙ කාන්තාවකට නොගැළපෙන ක්‍රීඩාවක් කියලා. ඔබ කාන්තාවක්, මවක් විදිහට ඒ ගැන හිතන්නෙ කොහොමද?

“මම නම් කියන්නෙ ක්‍රීඩාව කියන දේ බොක්සිං, කරාටේ, පිහිනුම්, මලල ක්‍රීඩා කියලා වෙනසක් නෑ. ක්‍රීඩාවක් ප්‍රගුණ කිරීමයි වැදගත්. ඒ තුළින් කාන්තාවකගේ ජීවිතයට ලැබෙන ප්‍රතිලාභය හරිම වැදගත්. ජයග්‍රහණය වාගේම පරාජය එකසේ විඳ දරා ගැනීමට ඇති හැකියාව, ඉවසීම, විනය, ශික්ෂණය වාගේ දේවල් ක්‍රීඩාව හරහා අපට හිමිකර ගත හැකියි. ඒ වාගේ දේවල් විශේෂයෙන්ම කාන්තාවක බබළවන්නට හැකි ආභරණ. මේ ආභරණවලින් වර්ණවත් වූ කාන්තාව හරිම ශක්තිමත්, දිරිය කාන්තාවක් ලෙසයි මම නම් සලකන්නේ. ඔවුන් කවදාවත් ජීවිතයේ අභියෝග හමුවේ පලා නොයාවි.

 

සටහන

චම්පා වරුසප්පෙරුම

¾ඡායා

ශාන් රූපස්සර