'දරුවා ඔවුන් ළඟ නිතරම නෑ'

වෙනත් යුවළක් වෙනුවෙන් දරුවකු බිහි කරන්නට තම කුස දන් දුන් මවකගේ කතාව...
පෙබරවාරි 21, 2022

ෂෙච්ටර් උසාවිය ඉදිරියේ පැවසූ සමහර කරුණු අසා මම පුදුමයට පත්වූයෙමි. ඔහු පැවසුවේ ඔහුටත් අනෙකුත් විශේෂඥයන්ටත් සාරා මා සහ මගේ පවුලේ අය කෙරෙහි කෙතරම් නැඹුරුවක් දක්වන්නේදැයි දැනගන්නට වුවමනා වූ බවය.

සාරා; රයන්, ටියුස්ඩේ සහ රික් දැක ඇත්තේ ඉතා කෙටි කාලයකට පමණකි. ඒ ඇය ඉතාමත්ම බිලිඳු වියේදීය. ඉන්පසුව මා හට වුව ඇය දකින්නට ලැබුණේ ඔවුන් නියම කළ පැය දෙකක කාලසීමාව තුළ පමණි. එයද ආරක්ෂක නිලධාරීන්ගේ රැකවරණ මධ්‍යයේය. ඒ අනුව ඇයට දැන් අප සියලු දෙනා ආගන්තුකයින් හා සමානය.

එහෙත් ෂෙච්ටර් පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් අසත්‍ය කරුණු කාරණාය.

“අපි ඔවුන් අතර සම්බන්ධතා නිරීක්ෂණය කරන්නට ඔවුන්ගේ නිවෙසට ගොස් සිටියා. උදාහරණයක් හැටියට; වයිට්හෙඩ් පවුලේ වෙනත් කෙනෙක් කාමරයේ නොමැති විටෙක ඔවුන්ගේ හැසිරීම් රටාව අපි පරීක්ෂා කළා.

“මම ඔවුන්ගේ මුළුතැන්ගෙයින් පුටුවක් අරගෙන ගිනි උදුන ළඟින් වාඩිවුණා. අපි එහි පැය 4ක 5ක පමණ කාලයක් ගත කළා. අපි දරුවා පිළිබඳව, ඇය රයන් සහ ටියුස්ඩේ සමඟ කටයුතු කරන ආකාරය ගැන පරීක්ෂා කළා.“

ඒ මොහොතේ මගේ නීතිඥයකු නැඟී සිටින්නට උත්සාහ කළේ අප නිවෙසේ උදුනක් නොමැති බව පවසන්නටය. නමුත් ඊට ඉඩක් නොලැබිණි.

“වයිට්හෙඩ් පවුලේ සාලය ඉතා අලංකාරයි. ලී බඩුවලින් පිරිලා. මං හිතන්නේ ස්ටර්න් නිවෙසටත් වඩා හොඳයි.“

ෂෙච්ටර් තවදුරටත් කතා කරමින් සිටියේය.

“දැරිය හොඳින් හැසිරුණා. නමුත් දරුවා හිටිගමන් අඬන්නට පටන් ගත්තා. ඇය වයිට්හෙඩ් මහත්මිය පසුපස එන්නට උත්සාහ කරද්දී ඇය කාමරයෙන් පිටව ගියා.“

අනතුරුව ඔහු මට පහර ගසන්නට නොයෙකුත් කතා ගොතා තිබුණේ විස්මයජනක ලෙසටයි.

අපි ඇතුළට එන විට වයිට්හෙඩ් මහත්මිය දරුවාට කිව්වා මෙහෙම; “අපි ‘පැටි - කේක්‘ සෙල්ලම කරමු.

ඒත් දරුවා නිහඬවම සිටියා. ඊළඟට වයිට්හෙඩ් මහත්මිය දැරිය උකුළට ගෙන වාඩිකරවාගත්තා. ඉන්පසු ඇය අත්පුඩි ගසමින් ‘හුරේ‘ කියන්නට පටන් ගත්තා. ඒ වන විට ඇයට ‘පැටි-කේක්‘ අමතකයි. ඒ වෙනුවට හුරේ කියලයි කිව්වේ.“

ඒ ඔහු දුටු මගේ පළමුවැනි වරදය. මගේ ඊළඟ වරද දරුවාට වැරැදි ක්‍රීඩා භාණ්ඩයක් අතට දීමය.

“සෙල්ලම් බඩු.“

ෂෙච්ටර් සෙල්ලම් බඩු ගැන දිගු විස්තරයක් කළේය.

“සෙල්ලම් බඩු අතර සත්තු ගොඩක් තිබුණා. එක එක ප්‍රමාණයට අඩි එකේ ඉඳලා අඩි 4 - 5 උසට ඒ සත්තු අඩුක් කරලා තිබුණා. ඒ අතර පැන්ඩලා හතර දෙනෙක්ම. කතා කරන වලසෙකුත් හිටියා. ඒ සතා අප කියන දේවල් නැවත ආපසු කියනවා. ඒ උගේ ශරීරය ඇතුළේ ඇති ටේප් පටියක ආධාරයෙන්.

මට පුදුමයි. දරුවා ඔවුන් ළඟ නිතරම නෑ. නමුත් මාස නවයක් වයස දරුවකුට ඔය තරම් සෙල්ලම්බඩු ගොඩක්.

සාමාන්‍යයෙන් ඒ වයසට අවශ්‍ය දරුවාට කවන්ඩ පොවන්ඩ; ඒ ඒ අවශ්‍යතාවලට වුවමනා කරන ‘බඩු භාණ්ඩ‘ විතරයි.“

එදින සන්ධ්‍යා භාගයේදී ලොරේන් ඒබ්‍රහම් ෂෙච්ටර්ගෙන් මෙවන් පැනයක් ඇසුවාය.

“ඔබ එහිදී වැඩිහිටියන් කීප දෙනෙකු සමඟ සාකච්ඡා කළ බව පැවසුවා. ඒ අනුව ඇයට කිසියම් මානසික රෝගී තත්ත්වයක් තිබෙන බව හෙළිදරවු වුණාද?“

“ඔව්.“

“ඒ කාටද?“

“ඒ මේරි බෙත් වයිට්හෙඩ් යන අයට.“

ෂෙච්ටර් කාමරය සිසාරා දෑස් යවමින් මා සෙව්වේය.

“මා ඇගේ රෝගය විනිශ්චය කිරීමෙන් අනතුරුව දැනගන්නට ලැබුණේ ඇයට ඇත්තේ ‘මිශ්‍ර පෞරුෂ ආබාධය‘ (Mixed Persenality Disorder) නමැති රෝගී තත්ත්වය බවයි.“

මාර්ෂල් ෂෙච්ටර් තවදුරටත් එකී රෝගය පිළිබඳව විස්තර කළේය.

“සාමාන්‍යයෙන් බැලූ බැල්මට යමෙකුට ඒ

රෝගය තිබෙනවායැයි හඳුනාගන්නට පුළුවන්කමක් නැහැ. එහි අවස්ථා කිහිපයක් තිබෙනවා. මේරි බෙත් වයිට්හෙඩ් එහි පළමු අවස්ථාව පෙන්නුම් කළා, මැයි 5 වැනිදා. ඇය එදින පොලීසියට දරුවා භාරදීම ප්‍රතික්ෂේප කළා. තවත් විශේෂ දෙයක් එදින සිදු වුණා.

ඇය ඒ බිලිඳු දැරිය ජනේලය තුළින් වයිට්හෙඩ් මහතාට බාර දුන්නා; ඉන් අනතුරුව දරුවාට කුමක් සිදුවේදැයි කිසිම හැඟීමකින් තොරවම.

එයින් පෙන්නුම් කරන්නේ ‘නාර්සිසිටික්‘ පෞරුෂ ආබාධිත තත්ත්වය. ඒ අනුව ඇය ප්‍රමාණය ඉක්මවා අන් අයෙකු ගැන විශ්වාස තැබුවා.

“බොහොම හොඳයි වෛද්‍යතුමනි.“

ඒබ්‍රහම් නැවත ප්‍රශ්නයක් මතු කළාය.

“ඔබ ඇය සම්බන්ධයෙන් එබඳු අසාමාන්‍ය අවස්ථා තවදුරටත් නිරීක්ෂණය කළාද?“

 

මීළඟ දිග හැරුම ලබන සතියේ

පරිවර්තනය
සුනිලා විජේසිංහ