මහපොළොවට බරක් නොවූ ගැමි පවුලක සෙනෙහසේ අන්දරය

පෙබරවාරි 28, 2022

 

පිදුරු සෙවිකළ පැල්පතේ

ඇති සාමේ නැත මහ මන්දිරේ..

ටිකිරි හසරැල් බොළඳ සිතුවිලි

මෙහි තිබේ හොඳ ආදරේ...

මෙහි තිබේ හොඳ ආදරේ...

මෙවැනි අහිංසක ගැමි ජීවිත තවත් අප අතර තිබේ ද? වර්තමානයේ බොහෝ දෙනකුට එය ප්‍රශ්නයකි. එවැනි පවුලක වූ සුවය හා සාමය ගීතයක පදවැල් පමණක් දැයි සිතන තරමටම ලෝකය දියුණුය. සමාජය සංකීර්ණය. එවැනි සංකීර්ණ වූ සමාජයක පිදුරු සෙවිකළ ගෙපැළක් තියා පොල් අතු පැළක් සොයා ගැනීම ද අපහුසය.

පසුගිය සතියේ අපට අසන්න ලැබුණු පුවත පුදුමාකරය. එසේම හරිම සුන්දරය. ඒ කැලෑමල්වල සුවඳ විඳගෙන කුරුලු ගී හඬ අසමින් ජීවත්වන පවුලක් ගැනය. එවැනි අහිංසක ගැමි ජීවිතයක් ගත කරන පවුලක් ගැන අපට අසන්නට ලැබුණේ ගලේවෙල, මොරගොල්ල, පාළුවත්ත ගම්මානයෙනි.

කැලෑව ආශ්‍රිතව කටුමැටි ගෙපැළක් සාදාගෙන ජීවත්වන මේනක නිශ්ශංක විජේරත්නගේ වයස අවුරුදු 30 කි. ගනේෂ මූර්ති දර්ශනීගේ වයස අවුරුදු 24 කි. ඔවුන් දෙදෙනාගේ හමුවීම ද දෛවෝපාගත සිද්ධියකි. දමිළ යුවතියක වූ දර්ශනී පස්යාලේ ගොවිපොළක සේවයට පැමිණියේ හැටන් ප්‍රදේශයෙනි. එම ගොවිපොළේම සේවය කළ සහෝදරයා හමුවීමට මොරගොල්ලේ මේනක එහි කිහිපවරක්ම ගියේ කොළඹ පැමිණි දිනවලය. මෙලෙසින් සහෝදරයා බැලීමට පැමිණෙන මේනක පිළිබඳ දර්ශනීගේ සිත ඇදී ගියේ සියලු ආගම් ජාති භේද බිඳගෙනය. ඒ කතාවේ සුන්දරත්වය දර්ශනී අව්‍යාජ ලෙසින් පැවසුවේ මෙලෙසිනි.

“මම හැටන් ප්‍රදේශයේ ඉඳන් තමයි පස්යාලට රස්සාවට ආවේ. අපේ ආර්ථික දුෂ්කරතාවන් නිසා මේ ගොවිපොළේ වැඩ කළා. එහිදි තමයි මට මේනක හමුවුණේ. මේනක දැක්ක පළමු දවසේම මට හිතක් පහළ වුණා. ඒ දවස්වල මට සිංහල කතා කරන්න බැහැ. කොහොමහරි මේනකට දෙමළෙන් කතා කළාම එයාට ටිකක් දෙමළ තේරෙනවා. පස්සෙ මම දෙමළ භාෂාවෙන් මේනකට කිව්වා මම එයාට ආදරෙයි කියලා. එයා පස්සේ උත්තරයක් දෙන්නම් කිව්වා. එහෙම ඉඳලා ටික දවසක් යනකොට මට කැමැත්ත ප්‍රකාශ කළා.“

“මම එයාට කිව්වා අම්මලාගෙන් අවසර ගන්න දෙමළ කෙල්ලෙක්ට ආදරේ කරනවා කියලා. එහෙම නැති වුණොත් අපිට ආදරේට ප්‍රශ්න ඇති වෙයි කියලා. එයා හරි අහිංසකයි. ඒ නිසාම තමයි මම එයාට ගොඩක් ආදරේ. අපි දෙන්නා කොළඹ ඉඳලා මොරගොල්ල ට ආවා. පළමු දවස් ටිකේ අපිට ඉන්න තැනක් තිබුණෙ නැහැ. මිනී කනත්තක සොහොනක මිනිය තියන්න හදලා තියෙන කුටියක තමයි හිටියෙ. හැබැයි දින කීපයක් ඉන්නකොට අපි එකතුවෙලා මැටි ගහලා මේ පුංචි පැළ හදාගත්තා.“

එදා ඉඳලා අද දක්වාම ඒ පැළේ ජීවත් වෙනවා. මට දරුවෝ තුන් දෙනෙක් ලැබෙන්න ඇවිල්ලා නැතිවුණා. පස්සේ මම වෛද්‍ය ප්‍රතිකාර කරලා බබෙක් කුසට ආවා. එදා ඉඳලා මාස නවයක් දිනපතාම බෙහෙත් විද්දා. එහෙම බෙහෙත් විදලා දරුවො දෙන්නෙක් හදා ගත්තා. ඒ දෙන්නත් හරිම ලස්සනයි. ආදරෙයි. දැන් ලොකු දුවට අවුරුදු 06 යි. එයා ලබන අවුරුද්දේ ඉස්කෝලේ යනවා. පුතාට තාම මාසයයි.

“මම සිංහල කතා කරන්න, ලියන්න දැනගෙන හිටියෙ නැහැ. මේනක තමයි මට ඒවා ඔක්කොම කියලා දුන්නේ. මම කවදාවත් කඩේකට ගිහිල්ලා නෑ. කුලී වැඩකට ගිහිල්ලා නෑ. මේනක ඒ සියල්ල කරනවා. මගේ එකම ප්‍රාර්ථනාව කටුමැටි පැළේ ඉන්න එකට මාලිගා හදන එක නෙවෙයි. බාධාවක් නැතුව ආදරෙන් මැරෙනතුරු සතුටින් ජීවත්වෙන්නයි.

මේ පුංචි කැදැල්ලේ සෙනෙහස පිරී ඉතිරී ඇති අයුරු සඳහන් කළේ මහත් සතුටිනි.

“මම මේ මුළු වත්ත පුරාම ගොවිතැන් කරලා තියෙනවා. තල, මෙනේරි, කුරක්කන්, ඉඟුරු වගේම විවිධ අල වර්ග, ගෙදරට අවශ්‍ය සියලුම එළවළු වගා කරගෙන තියෙන්නේ. අපට මුදල්වලින් අඩුපාඩු තියෙනවා. හැබැයි ආහාරවලින් අඩුපාඩු නැහැ. කුලී වැඩක් කරලා කීයක් හරි හොයා ගත්තාම ඒ මුදල ඇති. අපට ලොකුවට වියදමක් යන්නේ නැහැ.

මේ වගේ ජීවිතේ ගෙවන්න සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉන්නේ කටුමැටි ගහපු පැළක. හැබැයි මේ පැලේ තියෙන ආදරය සිරියාව කොහෙවත් තියෙනවා කියලා හිතන්න බැහැ. මොකද ජනාකීර්ණ පැත්තක හිටියනං අපට මේ ජීවිතය ගෙවන්න බැරි වෙයි කියලා හිතනවා. ඒ නිසා තමයි කැලේට වෙලා ඉන්නේ අපේ ආරක්ෂාවට බල්ලො දහ දෙනෙක් ඉන්නවා. එයාලා අපිට හරි ආදරෙයි. කැලේ ඉන්න හාවෝ දෙන්නෙකුත් ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඉවත් කරන බුලි කෑන්, ටින් අරන් ඇවිල්ලා අපි වත්ත පුරාම මල් හදලා තියෙන්නේ. මල් වර්ග පණහක් හැටකට වැඩිය අපේ ගෙදර ති‍ෙයනවා. අපි දෙන්නගෙ රස්සාව වගේ දැන් මල් හදනවා පුදුමාකාර සතුටක් වින්දනයක් තියෙන්නෙ මල් පිපෙන කොට. එයා නිතරම කියන්නේ මට කලින් එයා මැරෙන්න ඕනෙ කියලා. මොකද එයාට බැහැලූ මගේ මරණය දකින්න. මම කියන්නේ එහෙම වෙන්න බෑ එයාට කලින් මං මැරෙන්න ඕනේ කියලා. මටත් බෑ දර්ශියා මැරෙනවා බලන්න. කොහොම වුණත් අපි මේ ආත්මෙ විතරක් නෙවෙයි උපදින හැම ආත්මෙකම එකට ඉපදෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ.“

ඔවුන් කළ මඤ්ඤොක්කා වගාව ඉතාම සාරවත්ය. මෙවර අස්වැන්නෙන් ඔහු කිලෝ 20ක පමණ අලයක් අපට ගලවා පෙන්වූයේ අප සියල්ලන් මවිතයට පත් කරමිනි. කාබනික වගාවෙන් ඉතාම සාර්ථක අස්වැන්නක් ලබා ගන්නා මේනකට ලොකු බලාපොරොත්තු නැත. එහෙත් ඔවුන්ගේ පුංචි ආදර කැදැල්ලේ ආදරය සෙහෙසින් උතුරා ගලයි.

“ඒ සෙනෙහස හැමදාමත් පවතීවා!“ ඒ අපේ පැතුමයි.

 

 

 

 තොරතුරු සහ ඡායාරූප සැපයීම - දඹුල්ලේ කාංචන ආරියදාස