“වීදි දරුවන් සහ කාන්තාවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා ”

මාර්තු 7, 2022

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත

පසුගිය වසරේදී ජාත්‍යන්තර කාන්තා දිනය අප රටේ සැමරීමේ වැඩසටහන සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඉතිහාසය පුරා එක් දිනයකට පමණක් සීමා වූ ජාත්‍යන්තර කාන්තා දිනය එම වසරේදී නව මුහුණුවරකින් මාසයක් පුරා දින 7ක් පළාත් හතක පැවැත්වීමට කටයුතු සංවිධානය කළේ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සංකල්පයක් ලෙසිනි.

එම වැඩසටහන ඉතාම සාර්ථක වූයේ කාන්තාවන් භෞතික හා ආර්ථිකමය අතින් ශක්තිමත්වීම සඳහා විශාල දායකත්වයක් සපයමිනි. විශේෂයෙන් කාන්තාවන්ගේ ආකල්ප වෙනසක් ඇති කිරීමට ද හැකි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක විය. එලෙසින් ක්‍රියාත්මක වූ වැඩසටහන තවත් ඉදිරියට යමින් මෙවර කාන්තා දිනය වෙනුවෙන් පවත්වන වැඩසටහන් පිළිබඳ සටහනක් තබන්නට පියල් නිශාන්ත මහතා ‘තරුණී‘ සමඟ එක්වූයේ ලෙන්ගතු පිළිඳරකට එක්වෙමිනි.

“අපේ පළමු වැඩසටහනේදී සංකල්ප කිහිපයක් යටතේ වැඩසටහන් පැවැත්වුණා. ඒ වැඩසටහන් ද විශේෂයෙන් කාන්තාව සහ දරුවා පිළිබද අවධානය යොමු කරමින් පැවැත්වූ වැඩසටහන මෙවරත් මාසයක් පුරා ප්‍රධාන පළාත් නවයක් ආවරණය කරමින් පවත්වනවා.

විශේෂයෙන් පාසල් දරුවන් පාසල් නොඑන දරුවන් පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කළා. සමහර දුෂ්කර පළාත්වල දරුවන්ට උදේ ආහාරය පවා දෙන්න මව්පියන්ට අපහසුයි. ඒ නිසා පාසල් යවන්නේ නැහැ. ඒ වගේම දැරියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ හේතු නිසා පාසල් යන්නේ නැහැ. ‘දියණිය‘ කියන වැඩසටහන මඟින් මම දුෂ්කර පාසල්වලට ප්‍රථමාධාර කට්ටල පිරිනැමීමේ වැඩසටහනක් ආරම්භ කළා. මේ වැඩසටහන ගිය වසරට වඩා ප්‍රබලව මේ වසරේදී පවත්වනවා.

මේ වැඩසටහනට අමතරව මහා බ්‍රිතාන්‍යෙය් ගුරුවරියන්ට ඩිප්ලෝමා පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. එම ගුරුවරුන්ගේ සහතික පත්‍ර පිරිනැමීම හා වෙළෙඳ ප්‍රදර්ශනයක් පවත්වනවා. ඊළඟට දිරිය කාන්තාවන් ඇගයීමට ලක් කරනවා. මේ ආකාරයේ විශේෂ වැඩසටහන් මාලාවක් මාර්තු 08 - 09 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් ආරම්භ කරලා අනුරාධපුරය, පුත්තලම, කෑගල්ල, කොළඹ, කළුතර, මොනරාගල යන සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වෙන ආකාරයේ වැඩසටහන් පවත්වනවා.

මෙහිදී වැඩිම අවධානයක් යොමු කරන්නේ කාන්තා හිංසනය අපයෝජනය හා වීදි දරුවන් ගැබ් ගැනීම හා වීදි කාන්තාවන් ගැනයි. මේ වැඩසටහන මඟින් අපි අපේක්ෂා කරන්නේ කාන්තාවන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමයි. එසේම කාන්තාවන් ජීවනෝපාය සංවර්ධනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළක් අපි සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව ලංකාවේ රූපලාවණ්‍ය, සැලෝන්, ඡායාරූපකරණය කරන සිසුවියන්ට පළමු ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමක් සිදු කරන්නේ බ්‍රිතාන්‍යයේ සිට දුරස්ථ මාර්ගෝපගත ක්‍රමයටයි. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ඔෆ් ස්කූල් ආයතනය සමඟයි මේ පාඨමාලාව ආරම්භ කිරීම සිදු වෙන්නේ. එම පාඨමාලාවට අමතරව භාෂා 10ක් දුරස්ථ මාර්ගෝපගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුත්ත ද ආරම්භ කිරීම සිදු කරනවා.“

මේ සියලු කටයුතු ඉතාම හොඳින් සැලසුම් කරමින් සිදු කරන වැඩසටහනට අමතර කාන්තාවන්ගේ ජිවනෝපාය සංවර්ධනය කිරීමේ වෙබ් අඩවියක් ආරම්භ කිරීමද මෙදින සිදු කරනු ලබන්නේ කාන්තාවන් සවිබල ගැන්වීමේ අපේක්ෂාවෙනි.

 

 සටහන
දුමින්ද කාරියවසම්