“ඔයා හිතාගෙන ඉන්නේ මම හිනාවෙන්නෙ බොරුවට කියලා නේද...?“

ශාන්ති දිසානායක තරුණීට ලියන නවකතාව
මාර්තු 7, 2022

ඔවුන්ගේ සිනා හඬ හාත්පස පැතිර ගියේය. ගොටුකොළ පාත්තිය ළා හිරු කිරණින් පමණක් නොව ඒ සිනා හඬින් ද ප්‍රමුදිත වූ සෙයකි.

සඳමාලි සිනාසෙමින් වුව කල්පනා කළේ නතාෂා පිළිබඳවය.

හදිසි අනතුරින් බිඳුණු පය ඇගේ සුන්දර හා ජීවයෙන් ඉලිපෙන සිරුර රෝද පුටුවකට සීමා කර ඇතත් ඇය හිනැහෙන අපූරුව... ඒ සිනාව සැබෑවක්දැයි නොඑසේනම් ව්‍යාජයක්දැයි විමසන නියාවෙන් සඳමාලි ඇය දෙස බලාගත්වනම සිටියාය.

“මේ බලන්නකෝ අම්මි... මේ සඳා මා දිහා බලන් ඉන්න හැටි... නිකන් කන්න වගේ...“යි නතාෂා එක්වරම කෑ ගැසුවාය.

රූත්ගේ තියුණු බැල්මෙන් අපහසුතාවයට පත් වු සඳමාලි වහා හිස පහතට නැඹුරු කරගත්තාය.

“න්... නෑ.. මැඩම් මං... මං... මං...“යි ඇය තතනන කළ නතාෂාගෙ දෙතොලතර සානුකම්පිත මඳහසක් නැඟිණ.

“ඔයා හිතන්නෙ සඳා මම හිනාවෙන්නෙ බොරුවට කියලා නේද...?“

තමාගේ සිතැඟි වටහා ගත් යුවතිය කෙරෙහි සඳමාලි තුළ හටගත්තේ විස්මයකි.

මේ මව සහ දියණිය අනුන්ගේ සිත් කියවීමේ කලාව ප්‍රගුණ කර තිබෙන බවක් ඇයට හැඟිණ.

රූත් විසින් තමා කැටිව ගොස් එක එල්ලේ ප්‍රශ්න කළ හැන්දෑවේද මෙබඳුම අපහසුතාවයකට පත් නොවිණිදැයි ඇය සිහිපත් කළාය.

“ඔයා මට ඇත්ත කියන්න ඕනෙ සඳමාලි. ඇත්ත කීවොත් මට ඔයාට උත්තරයක් දෙන්නත් පුළුවන් උදව්වක් කරන්නත් පුළුවන්... තේරුණාද?“

රූත් අවධාරණය කළ ද ඇත්ත කීම කිසිසේත් පහසු නොවීය. මෑතකදී හමු වූ මේ ගැහැනිය මේ සා බරපතළ කරුණක් හෙළි කිරීමට තරම් විශ්වාසනීය දැයි සඳමාලි කල්පනා කළාය. එහෙත් රූත්ගේ පැහැදිලි හා තීක්ෂණ නුවන් අබියස ඇගේ ගොළුවත බිඳිණ. සාවධානව සවන් දුන් ගැහැනිය හරස් ප්‍රශ්නයක්ද නොනැගුවාය. ඇය විමතියට හා කැළඹීමට පත් වූ බවක් ද නොපෙනිණ.

“අපි සමහරක් දේවල් කොතරම් තදින් අල්ලගෙන ඉන්නවද කීවොත් මීදුමකින් පාර වැහෙනවා වගේ ළඟම තියෙන ඇත්ත නොපෙනී යනවා. ඔයාගෙ අම්මටත් වෙලා තියෙන්නෙ ඒක. එයා එයාගෙ හස්බන්ඩ්ව විශ්වාස කරනවා. කිසිම සැකයක් නෑ. ඔයා ඔයාගෙ මල්ලි වගේම එයාගෙ හස්බන්ඩ්ගෙ දරුවෙක් එයාට. ඒත් ඒක එහෙම නෙමෙයි.“

සඳමාලි දෙනෙතේ කඳුළු පිස දැමුවාය.

“විශ්වාසය වගේම සැකයත් හරි වැදගත්... අපි සැක කළ යුතු වෙලාවල් තියෙනවා... සැක කළ යුතු මිනිස්සු ඉන්නවා. විශ්වාසය උඩ විතරක් තීන්දු ගන්න එක හෙල්මට් එකක් නැතුව බයික් එකක් ඩ්‍රයිව් කරනවා වගේ. ඔක්සිජන් නැතුව මුහුදෙ කිමිදෙනවා වගේ...“

සිය ප්‍රධානියාට මේ සා විවෘත වීම පිළිබඳව සඳමාලි තුළ හටගත් පශ්චත්තාපයක් වී නම් දුරුව ගියේය. ඇය මහත් උනන්දුවෙන් නෙත් දල්වා බලා සිටියාය.

“ඔයා අම්මට නොකී එක හොඳයි කියන්නත් බෑ. නරකයි කියන්නත් බෑ. කොහොම වුණත් සඳමාලි ඔය තත්ත්වය උඩ ඔයා ඔය ගෙදර ඉන්න එක ඔයාගෙ අම්මට වගේම ඔයාටත්, ඔයාගෙ පුංචි මල්ලිටත් ලොකු අනතුරක්.

“මං මොකද කරන්නෙ මැඩම්?“

සඳමාලි අන්ත අසරණව යමින් ඇසුවාය.

“එකක් තමා ඔයා ඉක්මනට මැරි කරන එක. ඒත් මේ හදිසියේ ඒක කරන්නත් බෑනේ. අනෙක තමා ඔයා ගෙදරින් ඈත්වෙන එක.“

සඳමාලි විමතියෙන් සේම උනන්දුවෙන් බලාගත් වනම සිටියාය. කිසිදු කැළඹීමකින් තොරව විසඳුම් ඉදිරිපත් කරන්නිය කෙරෙහි උපදනා ගෞරවයෙන් ඇගේ සිත පිරී යයි.

“ඔයා අපේ ගෙදර ඉන්න ටික දවසක්...“

“ඒ... ඒත් මැඩම් අපෙ අම්මා කැමැති වෙයිද?“

“අම්මව කැමැති කරගන්න මට පුළුවන්... ඒ වුණාට ඉතින් ඔයාගෙ බාප්පව නම් කැමැති කරගන්න මට බැරි වෙයි...“යි කී රූත් සිනාවක් පෑවාය.

සේනාරත්න කිනම් විරුද්ධත්වයක් පෑවද තමා නිවෙසින් පිටව යා යුතු බව සඳමාලි තීරණය කළාය. පසුගිය වතාවේ මෙන් හොර රහසේ නොවේ. මෙවර මේ අපූරු ස්වාමි දියණියගේ සහාය නොමසුරුව ලැබීම කවර නම් භාග්‍යයක්දැයි ඇයට සිතිණ.

අමුත්තකුගේ ආගමනය දැනුම් දෙමින් සීනුව නාද විය.

“බලන්න සඳමාලි....“යි රූත් අණ කළේ ගොටුකොළ මිටක් කඩමිනි.

අමුත්තා දුටු සැණින් සඳමාලි තිගැස්සුණාය.

“අම්මා කීවා එක්කරගෙන එන්ඩ කියලා...“

වඩාත් සෝබාමත්ව සිටින යුවතිය දැකීමෙන් ඔහු වේදනාවට පත් විය.

“අම්මා එනවා කීවනෙ මල්ලිත් එක්ක...“

ඇගේ සැකමුසු බැල්මෙන් ඔහු සිතේ වේදනාව යටපත්ව කෝපය ඉස්මතු වෙයි.

“අම්මට ටිකක් සනීප නෑ. ඒකයි ආවෙ නැත්තේ... යං යං මට පරක්කු වෙනවා...“

සඳමාලි ඔහු දෙස එක එල්ලේ බැලුවාය.

“ඇ... ඇයි? අම්මට මොකද?“

“මොකද බලන්න ගෙදර එන්න එපැයි... ඇත්තටම සඳා ඔයාට ලැජ්ජා නැද්ද මේ අනුන්ගේ ගෙවල්වල ඉන්න...?“

ඇය නිහඬ වූවා විනා කිසිවක් නොපැවසුවාය.

“යං යං... මට මෙතෙන රස්තියාදු වෙන්න බෑ...“

“මං මැඩම්ට කියලා එන්නම්...“

එහෙත් ඔහු ඇයට යන්නට ඉඩ නොදුන්නේය. ඇගේ අතක් දැඩිව අල්ලාගත්තේය.

“ඒ ගෑනිගෙන් අවසර ගන්නෙ මොකටද...? යං...“

සඳමාලිගේ ප්‍රමාදයෙන් කුහුලට පත් රූත්ට ඒ වචන ඇසිණ.

“ඔය ළමයව අතාරින්න මිස්ට සේනාරත්න...“යි ඇය දිදුලන දෑසින් අණ කළාය.

තවත් කොටසකින් හමුවෙමු