“අපේ අනන්‍යතාව රැකගෙන අලුත් දෙයක් රැගෙන එන්න අපට පුළුවන්”

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති සොනාල ගුණවර්ධන
මාර්තු 7, 2022

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අප රටේ විද්‍යුත් මාධ්‍ය කලාවේ යුග පෙරළියක් කළ නාලිකාවයි. එසේම දේශීයත්වය රැකගනිමින් මාධ්‍ය කාලවේ පෙර ගමන්කරුවකු ලෙසින් ආ දුර ගමන සුළු පටු නොවේ. වසර හතළිහක කාලයක් මාධ්‍ය කලාවේ දැවැන්තයකු ලෙසින් රූපවාහිනී සංස්ථාව සැමවිටම ආදර්ශයක් වෙමින් තවමත් ඉදිරියෙන්ම සිටින්නේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙසින් තම අභිමානය රැක ගනිමිනි.

එම අභිමානවත් වසර හතළිහක කාලයක් ආ ගමන් මගේදී ජාතික රූපවාහිනිය සැම විටම රටටම ආදර්ශයක් වූයේ හුදු වානිජ පරමාර්ථයන්ට වඩා පුළුල් දැක්මකින් යුතුව වැඩසටහන් ඉදිරිපත් කරමිනි. මේ නිසාම ඔවුන්ට රටට වැඩදායි ඵලදායි යමක් ඉදිරිපත් කරන්නට හැකි විය. තවද රටේ ජාතික මෙහෙවරට ද උර දුන්නේ විශාල ශක්තියක් වෙමිනි. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ද රූපවාහිනී සංස්ථාව මුලපුරා තිබෙන්නේ අපේ රටේ කාන්තාවන් තුළ පවතින සැඟවුණු ක්‍රීඩා කෞශල්‍ය ඉදිරියට ගෙන ඒමේ ජාතික මෙහෙවරටය.

එසේම ක්‍රීඩාව තුළින් අප රටේ කාන්තාවන්ට ඇති හැකියාව ජාත්‍යන්තරයට රැගෙන යමින් එය ලොවටම ප්‍රදර්ශනය කරන්නටය. ජනප්‍රිය වූ මාධ්‍ය කලාවකින් බැහැරව ඉතා පුළුල් වූ දැක්මකින් යුතුව සිදු කරන මේ කටයුත්ත සඳහා මුල් පියවර තබන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු මස 08 දිනය. එදින රූපවාහිනී සංස්ථාව කාන්තාවන් වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙමින් පා පැදි සවාරියක් මාර්තු 6 වැනිදා සහ මාර්තු 8 වැනිදා සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි. රජයේ ýn´l‰ නාලිකාවක් ලෙසින් මෙවන් වූ වැදගත් කටයුත්තක් සඳහා මුල පුරන්නට දායකවෙන්නේ අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව හා මලල ක්‍රීඩාව ද දැඩි අභියෝගයකට මුහුණ දෙන කාලයකය. එය මැනවින් වටහාගනිමින් ඔවුන් සිදු කරන මේ කටයුත්ත සංවිධානය කිරීම පිළිබඳ පැහැදිලි කළේ රූපවාහිනී සංස්ථාවේ නව සභාපති සොනාල ගුණවර්ධන මහතාය.

රූපවාහිනී සංස්ථාවට පත් වූ නව සභාපතිවරයා වූ ඔහු මෙතෙක් පත් වු සභාපතිවරුන් අතුරින් තරුණම සභාපතිවරයා වීම විශේෂත්වයක්වන අතර වසර හතළිහක අභිමානය සමඟ නව දැක්මකින් යුතු අලුත් ගමනක් යෑමට ඔහු මුල පුරා තිබේ. ඔහුගේ දැක්ම හා ඉදිරි සැලැසුමත් කාන්තා දිනය වෙනුවෙන් පවත්වන ක්‍රීඩා තරගාවලිය ගැනත් ඔහු ‘තරුණී‘ කරුණු දැක්වූයේ තාරුණ්‍යයට සුබවාදී අපේක්ෂාවක් දල්වමිනි.

“රූපවාහිනී සංස්ථාව කියන්නේ අපේ රටේ වටිනා සම්පතක්. මේ ආයතනය පිහිටා තිබෙන ස්ථානයේ භූමි ප්‍රමාණය විශාල වටිනාකමක් තිබෙනවා. මගේ මූලික අරමුණ වුණේ සභාපතිවරයා ලෙසින් මුලින්ම මම මේ ආයතනයට ආදර්ශයක් වෙන්න. ඒ නිසා මුලින්ම මේ පුටුවේ ඉඳගත්තු දවසේ පටන්ම නාස්තිය අඩු කරන්න උත්සහ කළා. මුලින්ම කළේ මගේ කාර්යාලයේ තිබුණු අනවශ්‍ය විදුලි උපකරණ නිවා දැමීම. එතැනින් පටන් ගත්තු ගමන මම ඉදිරියට ගෙන යන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් විශාල කැපකිරීම් රාශියක් සිදු කරන්න සිදු වෙයි. අපට තිබෙන ආර්ථිකමය හා මූල්‍යමය අර්බූද විසඳාගෙන අපේ අනන්‍යතාවයත් රැකගෙන හොඳ වැඩසටහන් පෙළක් ප්‍රේක්ෂක ජනතාවට සමීප කිරීම තමයි මගේ මූලික අරමුණ.

මේ සඳහා මූලාරම්භයක් තැබීම සඳහා අපි මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය තෝරා ගත්තා. ඒ වෙනුවෙන් අපි තරග දෙකක් පවත්වනවා. එක් තරගයක් තමයි සය සාමාජික ක්‍රිකට් තරගාවලිය. මේ තරගය සඳහා අපට කණ්ඩායම් හයකින් අයැදුම්පත් ලැබුණා. ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම, Sky Cricket Club, ACE Capital Cricket Club කියන කණ්ඩයම් හය තමයි තරග සඳහා ඉදිරිපත් වෙන කණ්ඩායම්. මේ කණ්ඩායම් හය මාර්තු 08 වැනිදා උදේ 8.00 සිට සවස 6.00 දක්වා කොළඹ Bloomfield Cricket ක්‍රීඩාගණයේදී තරගවදිනවා. එම තරගාවලිය එදින සජීවි ලෙසින් Eye නාලිකාව ඔස්සේ විකාශය වෙනවා. මේ තරගාවලියට අමතරව ශ්‍රී ලකා ගුවන් හමුදාව මඟින් සංවිධානය කරන පාපැදි තරගයක් මාර්තු 8 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එම තරගාවලියටත් මාධ්‍ය අනුග්‍රහය දක්වමින් අපගේ ආයතනය එය සංවිධානය කිරීමට දායක වෙනවා.

මෙයට අමතරව අපගේ ආයතනය කාන්තා කටයුතු අමාත්‍යංශය මඟින් සංවිධානය කරන වැඩසටහන් හා කාන්තා සුබසාධන වැඩසටහන් රාශියක් සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් කාන්තා දිනය සැමරීම සඳහා දායකත්වය සපයනවා.“

මෙවැනි කාන්තා ක්‍රීඩා තරගාවලියක් තුළින් ක්‍රීඩාව වෙනුවෙන් කිසියම් උන්නදුවක් ඇති කිරීම සඳහා ප්‍රවේශයකි. එසේම කාන්තාවන් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තව තවත් උනන්දුවක් ඇති කිරීමටද ආරම්භයකි. තවද පා පැදි තරගාවලියක් තුළ කාන්තාවන් දක්වන දක්ෂතාවය රටටම ප්‍රදර්ශනය කිරීම නව පරපුරේ ක්‍රීඩිකාවන්ට ඒ පිළිබඳ උනන්දුවක් ඇති කරවයි. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් එක් දිනයක ප්‍රසංගයක් හෝ වැඩසටහන් පැවැත්වීමට වඩා මෙය කාලෝචිතයි. ක්‍රීඩා පිටියකට එක් වී සතුටු වී තවත් කාන්තා දිනයක් නිම කර ලබන වසර පැමිණෙන තෙක් බලා සිටීමට වඩා මෙවැනි තරගාවලියක් රටට ආදර්ශයකි. එයින් අප රටේ තව ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලය වෙත ළඟාවීමට වාසනාව ලැබුවොත් එය මේ පුංචි ලක් දෙරණට මහත් අභිමානයකි. ඒ අභිමානය පෙරදැරිව රූපවාහිනී සංස්ථාවේ හතළිස්වැනි සංවත්සර වෙනුවෙන් ද තවත් වැඩසටහන් සංවිධානය කර තිබේ. ඒ ගැන ද නව සභාපතිවරයා සඳහන් කළේ මෙලෙසිනි.

“අපේ ආයතනයේ ඉතා දක්ෂ සේවක පිරිසක් සිටිනවා. ඔවුන් වසර හතළිහක් ආ ගමන හරිම දුරයි. මේ ආයතනය අපට ජපාන රජයෙන් ලැබුණු තෑග්ගක්. ඒ නිසා එම රජයට ගෞරවයක් වෙන වැඩසටහනක් අපි සංවිධානය කළා. මේ ආයතනය දශක හතර යුග හතරකට වෙන් කරලා කලාකාරයෝ කලාකාරිනියන් හතළිස් දෙනෙක් ගෙන්වලා ජපන් තානාපතිතුමා අතින් උත්සවයක් මේ ආයතනයේදී මාර්තු 11 වැනිදා පවත්වනවා. ඒ ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ ජනමාධ්‍ය ඇමැතිතුමාගේ සහභාගීත්වයෙන් තමයි එම වැඩසටහන පවත්වනු ලබන්නේ. රටේ පවතින තත්ත්වය මත අපි මේ සංවත්සරය වෙනුවෙන් සංගීත සංදර්ශන ප්‍රසංග වැනි දේවල් සංවිධානය කිරීමට උත්සහ කළේ නැහැ. ඉතාම චාම් අන්දමින් අර්ථවත් වැඩසටහනක් තමයි ඒ සංවත්සරය වෙනුවෙන් පවත්වන්නේ.

මෙහිදී අපේ ආයතනයේ තිබෙන ප්‍රධාන නාලිකා තුනේ වෙනසත් සමඟ වැඩසටහන් ඉදිරිපත් කිරීමට සඳහා අපේක්ෂාව. Eye සහ නේත්‍රා චැනල් දෙක අපි විනෝදය සපයන ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නා වැඩසටහන් වෙනුවෙනුත්, රූපවාහිනී නාලිකාව ඔස්සේ ප්‍රධාන වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා අපගේ මුලික සැලසුම වී තිබෙන්නේ.“

මෙලෙසින් අදහස් දැක්වූ නව සභාපතිවරයා පැමිණි ගමනේ පෞද්ගලික තොරතුරු බිඳක් ද අප හමුවේ තැබුවේ අපගේ ලෙන්ගතු සංවාදයට පුංචි විරාමයක් තබමින්.

“මම රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. උසස් පෙළ කලා විෂය හදාරලා තමයි නීති පීඨයට බැඳුණේ. මම පශ්චාත් උපාධිය හැදෑරුවේ චීනයේ. ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර කළමනාකරණය තමයි මගේ විෂයයන්. මට සහෝදරයෙක් හා සහෝදරියක් සිටිනවා. පදිංචි වී සිටින්නේ මාළඹේ. මම මීට පෙර ජාතික පුස්තකාලයේ සභාපතිවරයා ලෙසින් තමයි කටයුතු කළේ. ”

මෙලෙසින් සඳහන් කළ ඔහු රුපවාහිනී සංස්ථාවේ අනාගතය පිළිබද දැවැන්ත වූ වැඩකොටසක් කිරිම පිළිබඳ බලාපොරොත්තු තබා තිබේ. මාධ්‍ය කලාව හා ලේඛන කලාව පිළිබද පුළුල් දැනුමක් හා අත්දැකීමක් ද ඇති ඔහු රූපවාහිනී සංස්ථාව හමුවේ ඇති අභියෝග ජයගෙන සාර්ථක ගමනක් ඉදිරියට යනු ඇතැයි අපි අපේක්ෂා දල්වාගෙන බලා සිටිමු.

 

සටහන
දුමින්ද කාරියවසම්

ඡායා - සුලෝචන ගමගේ

විශේෂ ස්තූතිය - රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය නිලධාරිනී
සී.එස්.සොනාලි මහත්මිය