ඉදිරියේ දී පාඨකයන් කියා පිරිසක් සිටීවි ද?

මාර්තු 7, 2022

කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන්න අප දැන හැඳින සිටියේ පුංචි කාලයේ පටන් ය. ප්‍රැන්සිස් බේකන් නම්වූ මහා දාර්ශනිකයා එලෙස පැවසුවත් කියවීමේ අගය මැනවින් දැන සිටියත් අදවන විට බිහිව ඇත්තේ පොතපතින් බොහෝදුරට ඈත් වූ පරපුරකි.

තාක්ෂණයේ දියුණුවත් සමඟින් පරිගණකය, ලැප්ටොප්, ටැබ් මෙන්ම ජංගම දුරකථනයට ඇබ්බැහි වූ පිරිසක් නිසා පාඨකයින් යනුවෙන් හඳුන්වන්නට පිරිසක් ඉදිරියේදී ශේෂ වේ දැයි යන්න ගැටලුවකි. බාල පරපුර තබා මීට දශක හතරකට, පහකට පෙර පොත්පත් කෙරෙහි නැඹුරු වූ පිරිස් පවා අද වන විට දවසේ වැඩිම හෝරා කිහිපයක් ගත කරනුයේ ජංගම දුරකතනය අතෙහි රුවා ගනිමිනි.

පොත්පත් මිලදී ගන්නවා වෙනුවට

පොතක් පතක් මිලදී ගන්නට නම් කොහෙත් ම සිත් නොදෙයි. පොතක්පතක් මිලදී ගැනීමට ඉඩ නොදෙන සිත එකක් හැරුණු විට එකක් ආදී වශයෙන් ඩේටා කාඩ් එකක් දැමීමට නම් කිසිසේත් ම ලොබකමක් දක්වන්නේ නැත.

පෙර කීවාක් මෙන් 'කියවීම මිනිසා සම්පූර්ණ කරයි' යන්න කවදාටත්, කාහටත්, කොතැනටත් අදාළ ය. කියවීමට වයස් සීමාවක් නැත. පුංචි දරුවකු අත පොතක් පතක් රැඳී තිබීමම පවා ප්‍රියජනක දසුනකි. අධ්‍යයන කටයුතුවලට අදාළ විෂයානුබද්ධ පොතපත හැරුණු විට අමතර දැනුමක් ලබන්නට නොසිතයි. ඔවුන් පාසලෙන් ලබාදෙන අච්චුපොතට

පමණක්ම සීමාවන්නේ මේ නිසා යි. පාසලෙන් ලබාදෙන අච්චුපොත පවා ලැබුණු සැණින් එක හුස්මට කියවාගෙන යන්නට ආසා කළත් අදවන විට එම පාඩම හදාරන විට, ගුරුතුමිය කියාදෙන විට පමණක් කියවයි. කොටින් ම කියතොත් ප්‍රශ්නවලට උත්තර ලිවීමට පෙර පාඩම කියවනවා වෙනුවට ප්‍රශ්නයට උත්තරය පමණක් අදාළ ඡේදය හෝ පාඩම කියවා

සොයා ගැනීමට යත්න දරයි. එවැනි දරුවකුගෙන් දැනුම වඩවාලීමට පොතක්පතක් කියවීමට සිතීම ම පවා හිතළුවක් පමණි.

සියල් සක්වල පිළිබඳ දැනුම

කියවීම විනෝදජනක කටයුත්තක් බවට පත්කර ගන්නේ නම් එය අත්නොහැර ම කරන්නට වේවි. අධ්‍යාපනය, දැනුම, ප්‍රඥාව... මේ සියල්ල එකට ගැබ්ව ඇත්තේ කියවීම තුළම පමණි. රටපුරා, ලොව පුරා, අභ්‍යවකාශය පුරා... යනාදි ලෙසින් අප වෙසෙන චක්‍රාවාටය පමණක් නොව සෙසු චක්‍රාවාට දක්වාම සියලු සක්වල අතර ඔබේ දැනුම පෘථුල වෙයි. ඒ සියල්ල ඔබේ ඇඟිලි තුඩු අතර ඇතැයි ඔබට සිතේවි.

ඇත්තෙන් ම කියවීම පුරුද්දක් බවට පත් කළ යුතු වන්නේ පාසල් වියේ පටන්ම ය. පාසල්වියේ පටන් පොතපත කෙරෙහි දක්වන ඇල්ම නිසැකව ම ඒ දරුවා සන්සුන් මනසක් ඇති, විනයගරුක බවින් හෙබි, සදාචාර සම්පන්න පුද්ගලයකු කරයි.

පරිපූර්ණ ජාතියක් ගොඩනැගීමට නම් තොටිල්ලේ සිට මිනීවළ දක්වාම ඔබ කළ යුත්තේ කියවීමයි.

පොතපත පරිශීලනයයි.

දැනුම් සයුරක පිහිනමින් පොතපත කියැවමින් දැනුම් සයුරක දක්ෂ කිමිදුම්කරුවකු වන්නට සිතන කෙනා පරිකල්පන ශක්තිය අතින් ඉදිරියෙන් ම සිටීවි.

නිරතුරුවම පොතපත කියවමින් අපූරු ආස්වාදයක් විඳින්නට පුරුදු පුහුණු වූ අයකු ගේ මනස නිරතුරුව ම ප්‍රබෝධමත් ය.

මානසික ආතතිය පහව ගොස් ඇති තරම්ය.

ප්‍රශ්නයකට අතරමැදිව සිටිය දී

ප්‍රශ්නයක් ආ විට, සිතට දුකක් දැනුණු විට, කායිකව වෙහෙස මහන්සි වී කටයුතු කළ පසු පොතක පිටු කිහිපයක් අතර හෝ රැඳෙන්න. වදනින් අරුත් ගැන්විය නොහැකි තරමේ සැහැල්ලුවකින් සිත පිරී යාවි.

කියවන්නට හුරු වූ කෙනාගේ ජීවන අත්දැකීම් පරාසය පුළුල් වෙයි. සිත එහාමෙහා නොයාවි.

පොත්පත් අතර ගතකරන හෝරා කිහිපය පවා සමාධියකට දැහැන්ගත වූවාක් මෙන් කල්ගත කළ හැකි වේවි. මානසික ආතතිය පහව යාවි.

මොළයට ලබාදිය හැකි හොඳම ව්‍යායාමය

කියවීම මොළයට ලබාදිය හැකි හොඳම ව්‍යායාමයකි. අකුරු දන්න ඕනෑම කෙනකුට කියවිය හැකියි.

අවශ්‍ය වන්නේ ඒ සඳහා කාලය මිඩංගු කිරීමට ඇති හැකියාව සහ ඊට ඇති අසීමාන්තික කැමැත්තයි. ඉතා සීමිත පිරිසක් පොත්ගුල්ලන් සේ පොතපත කියැව්වත් තවත් බොහෝ පිරිසක් පොතක් අතින් අල්ලන්නට නොසිතයි.

තාක්ෂණය දිනෙන් දින දියුණු වේවි. එහෙත් එහි ආරම්භය පොතපත බව අමතක කළයුතු නොවේ.

කෙනකුගේ හදවත දිනාගන්නට, තවත් කෙනකුට ආදරණීය චරිතයක් වන්නට, කෙනකුට උදව් කරන්නට ම සිත නැමෙන්න පොතපතට නැඹුරු වූ පුද්ගලයාට පුළුවන.

එහෙත් ඔබ හොඳින් මතක තබා ගන්න, වසා දැමූ පොතක් කඩදාසි ගොඩක් ම පමණි. පොතක වටිනාකම ඇත්තේ එය කියවන විටයි.

කියවීමෙන් සියලු වින්දනයන් ලබන්න...

 

සටහන
ආශිර්වාදිනි හෙට්ටිආරච්චි