වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කජු වගාවෙන් කාන්තාවකට හොඳ ආදායමක් ගත හැකියි
ලෝකයේ තියෙන හොඳම කජු තමයි ලංකාවේ කජු
ඉමිහිරි රසයෙන් දිව පිනවන, පෝෂණ ගුණයෙන් ගත සුවපත් කරවන කජු කන්න කවුද අකැමැති. පලතුරක් වශයෙන් මෙන්ම ආහාර රසගැන්වීමෙහිලා අපුරු රසකාරකයක් ලෙසින් ද භාවිතවන මේ කජු සහ කාන්තාව අතර පවතින්නේ අපූරු සබැඳියාවකි.
මෙරට කජු කර්මාන්තය ආශ්‍රිතව බොහොමයක් කාන්තාවන් සිය ජීවනෝපාය මාර්ගය සකසාගෙන ඇති අතර ශ්‍රී ලංකා කජු සංස්ථාවේ මුල් පුටුව හොබවන්නියද කාන්තාවකි. වසර 49ක ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා කජු සංස්ථා මුල් පුටුවේ වාඩි වූ පළමු කාන්තාව වන්නීද ඇයයි. තවත් එක් අන්තර්ජාතික කාන්තා දිනයක් සමරන මේ මොහොතේ නීතිඥ සාරංගා රත්නායක නම් වූ ඈ අප සමඟ කතාබහකට මෙලෙස එක්වූවාය.
ඇත්තටම කජු සංස්ථාව කියන්නෙ මොකක්ද? එහි කාර්යභාරය ගැන අපි සඳහනක් කරමු.
“කජු සංස්ථාව කියන්නෙ සේවාවක් සපයන ආයතනයක් මෙන්ම මෙරට කජු කර්මාන්තයේ දියුණුවට පිහිටුවාගත් ආයතනයක්. මේ ආයතනය මඟින් මූලිකව කජු ගොවීන්ව ආරක්ෂා කිරීම, ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම, ඔවුන්ට දැනුම ලබාදීම වගේම අපේ ලාංකික ජනතාව කජු වගාවට නැඹුරු කිරීමත් සිදු කෙරෙනවා.“
ඔබතුමිය මේ කජු කර්මාන්තය තුළ දකින මූලික ගැටලුව කුමක්ද?
“ඉල්ලුමට සැපයුමක් ලබාදිය නොහැකිකම. ඒ කියන්නෙ ලෝකයේ තියෙන හොඳම කජු තමයි ලංකාවේ කජු. ඒත් අපනයනයට තබා මෙරට ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය ප්රමාණයටවත් කජු සැපයීමක් නැහැ.“
ඊට අමතරව...
“මම දකින අනෙක් දුර්වලතාවය තමයි තත්ත්වයෙන් උසස් ප්‍රභේද වගා නොකිරීම. ඒ වගේම වගාව ගැන හරිහැටි දැනුමක් නොතිබීම. ඒ කියන්නෙ කජු පැළයක් වගා කිරීමේ සිට එහි නඩත්තුව, රෝග පාලනය, අස්වැන්න නෙළීම, හරිහැටි ගබඩා කිරීම, වෙළෙඳපොළට නිකුත් කිරීමේ කාර්යය දක්වා මනා දැනුමක් නැතිකමත් මේ කර්මාන්තය කඩා වැටෙන්නට හේතුවක්.“
මේ විදිහට ගැටලු හඳුනාගත් ඔබ ඒවා විසඳීමට ගත් පියවර ගැනත් සඳහන් කරමු.
“අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ තමයි මේ කජු සංස්ථාව ක්‍රියාත්මක වෙන්නෙ. ඒ නිසා ජානක වක්කුඹුර අමාත්‍යතුමා සහ මේ අමාත්‍යංශය සමඟ එකතුවෙලා අපි කජු වවන්න තීරණය කළා. ඒ අනුව දැනට අක්කර 20000ක පමණ නව ප්‍රභේද සහිත කජු වගාකර තිබෙනවා. ඊට අමතරව අපි කජු ගම්මාන ඇති කළා. එහිදී කජු වගාවේ සිට අස්වැන්න වෙළෙඳපොළට නිකුත් කිරීම දක්වා සියලුම කටයුතු මේ ගම තුළ සිදු කෙරෙනවා. හම්බන්තොට, මාතර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර ආදී වශයෙන් කජු ගම්මාන 211ක කජු පැළ එක්ලක්ෂ තිස්දහසකට වැඩි ප්‍රමාණයක් සිටුවන්නට අපට හැකියාව ලැබුණා.“
ඊට අමතරව දැනුම ලබාදෙන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා.
“ඔව්. අපි විවිධාකාරයේ දැනුවත් කිරීමේ වැඩසටහන් කළා. ගොවි මහතුන්ගේ වගා බිම් වෙත ගොස් ගැටලු විමසා අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. නව ප්රභේදවල කජු පැළ විශාල ප්‍රමාණයක් නොමිලයේ ලබාදුන්නා. රෝග මර්ධනයට උපදෙස්, පුහුණු වැඩසටහන් ආදී වශයෙන් ලංකාව පුරා විවිධ වැඩසටහන් දැනටත් ක්‍රියාත්මක කෙරෙනවා.“
මේ කාන්තා දිනයේ දී අපේ කාන්තාවන්ට කජු වගාව ගැන මොනවද කියන්න තිබෙන්නෙ.
“කජු කියන ශාකය ධන නිධානයක්. කිසිම දෙයක් වගා කරන්න බැරි නිසරු බිමක වුණත් කජු ශාකය හොඳින් වැඩෙනවා. නඩත්තුව අවමයි. ජලය, පොහොර විශාල වශයෙන් අවශ්‍ය නැහැ. කාබනික පොහොරවලින් වගාව පවත්වාගෙන යන්න පුළුවනි. පැළ සිටුවා අවුරුදු හතරක් පහක් ගතවෙද්දි හොඳ ආදායමක් ලබාගන්නත් හැකියාව තියෙනවා. දැන් හොඳ වෙළෙඳපොළකුත් තියෙන නිසා මට නම් කියන්න තියෙන්නෙ අපේ කාන්තාවන්ට ගෘහ කර්මාන්තයක් හැටියට කජු වගාව හොදටම කළ හැකියි. රැකියාවක නිරතවෙලා ඉන්න අතරතුරේ පවා මේ වගාව කරන්න හැකියාව තියෙන නිසා අතමිට සරු කරගත හැකි හොඳ ආදායම් මාර්ගයක්.“
කජු වගාවකට කැමැති කෙනෙක් වෙනුවෙන් ඔබේ ආයතනයේ යම් වැඩ පිළිවෙළක් තිබෙනවාද?
“ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම කජු සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. එහි ප්‍රාදේශීය කළමනාකරු වාගේම කජු සංවර්ධන නිලධාරීන් සිටිනවා. ඔවුන් හමුවී ඔබට වගාවට අවශ්‍ය උපදෙස් ලබාගත හැකියි. නව ප්රභේදවල කජු පැළ ලබාගන්නත් හැකියාව තියෙනවා. මේ සියලු සේවාවන් ඔබ වෙත ලබාදෙන්නේ නොමිලයේමයි. ඒ නිසා ඔබ වගාවට කැමැති කාන්තාවක් නම් අදම ක්‍රියාත්මක් වී හොඳ වගාවක හිමිකාරිනියක් වන්න.“
සටහන
චම්පා වරුසප්පෙරුම
ඡායාරූප - ශාන් රූපස්සර