පාට රත්තරන් වුණාට රැවටෙන්න එපා

මාර්තු 14, 2022

 

කාන්තාවන් සහ රන් ආභරණ අතර ඇත්තේ අපූරු සබැඳියාවකි. මාලයක්, කරාබු දෙකක් කියන්නේ අපේ කාන්තාවන්ට නැතිවම බැරි දෙයක්. මේ හේතු නිසාම රන් ආභරණ මිලදී ගන්න බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වනවා.

 

එහෙත් වංචාවන්ට හසු නොවී නියම රන් ආභරණ තෝරා ගන්න නම් ඒ ගැන පොඩි හෝ දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි. කිසිම දෙයක් නොදැන සාප්පුවකට ගිහින් දුක් මහන්සියෙන් උපයාගෙන, ඉතිරි කරගත් මුදල නැති නාස්ති කරන්න ඕනෙ නැහැනේ.

ඕනෑම අයෙක් තමන්ගේ මංගල අවස්ථාවේදී මංගල ආභරණ මිලදී ගැනීම, බිලිඳකුට පංචායුදය, බිලිඳියකට කන් විද කරාබු පැලඳවීම, දියණියක් වැඩිවියට පත් වීමේදී රන් කරාබු, වළලු, මාල තෑගි ලෙස දීම පිළිබඳ වැඩි සැලකිල්ලක් යොමු කරනු ලබයි. නමුත් සෑම දෙනාම එහිදී අවධානය යොමු කිරීමට පුරුදුව ඇත්තේ තමන් මිලදී ගන්නා ආභරණයේ මෝස්තරය, මිල, බර ආදී කරුණු පිළිබඳව පමණි. එහෙත් සෑම පාරිභෝගිකයෙක්ම අනිවාර්යෙන්ම තමන් ගෙවන මුදලට සරිලන පරිදි නියමිත ප්‍රමිතියෙන් යුතු ආභරණයක් තමන් අතට ලැබෙන්නේද යන්න පිළිබඳව දැනුවත් වීම අනිවාර්ය වේ.

විවිධ වූ සමාජ හා ආර්ථික මට්ටම් නියෝජනය කරන සෑම තරාතිරමකම පුද්ගලයෙක්ම ඔවුන්ගේ ආර්ථික මට්ටම අනුව රත්තරන් මිල දී ගන්නේ එය අනාගත ඉතිරියක් ලෙසිනි.

එවැනි මුදලක් වියදම් කරන ඔබට වගකීමක් සහිතව හොඳම රත්තරන් තෝරාගන්නට හැකි ක්‍රම වේදයක් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හඳුන්වා දී තිබෙනවා.

පිරිසුදු රත්තරන් යනු

 

වෙනත් කිසිදු ලෝහයක් සමඟ මුසු නොකළ රත්තරන් ‘පිරිසුදු රත්රන්‘ ලෙස සැලකෙනවා. රත්රන්වල නිර්මලත්වය මනිනු ලබන්නේ කැරට් වලිනි. මේ අනුව හොඳම රත්තරන් කියන්නේ කැරට් 24 රත්තරන්වලට. එහි අවම වශයෙන් 99.9%ක රත්රන් ප්‍රමාණයක් අඩංගුයි. පිරිසුදු රත්තරන් ඉතා මෘදු වන අතර කැඩෙන නැමෙනසුලුය. මේ නිසා තනිකර රත්රන්වලින් පමණක් ආභරණ සෑදිය නොහැකිය. ඒ නිසා වෙනත් ලෝහයක් මුසු කර සකසනු ලබයි. ඒ අනුව හොඳම රන් ආභරණ ලෙස සැලකෙන්නේ කැරට් 22 රත්රන්වලින් නිම වන ආභරණයි.

 

රත්රන්වලට ප්‍රමිති සහතිකයක්

 

ස්වර්ණාභරණවල ප්‍රමිතිය පරීක්ෂා කර අන්තර්ජාතික වශයෙන් පිළිගත් ප්‍රමිති මුද්‍රා (Hallmark) තැබීමට ශ්‍රී ලංකාවේ ඇති එකම බලයලත් ආයතනය ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය යටතේ ඇති වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යංශය වේ. මෙහිදී ISO ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල පරීක්ෂණ ක්‍රම අනුගමනය කරමින් ස්වර්ණාභරණවල ප්‍රමිතිය පරික්ෂා කර ඒවා නියමිත ප්‍රමිතීන්ට අනුකුල නම් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති මුද්‍රා ඒවා මත තබනු ලබයි.

උදාහරණයක් වශයෙන් කැරට් 22 සඳහා ප්‍රමිති මුද්‍රාව ලෙස රන් ප්‍රමාණය නිශ්චය කිරීමේ කාර්යාංශයේ සලකුණ ( Assy Office Mark), රන් ලෝහය හැඳින්වීමේ සලකුණ (Mark for Gold), රන් ප්‍රමිති සලකුණ - 22 කැරට් (Gold Standard Mark - 22kt), නිෂ්පාදකයාගේ / වගකීමේ සලකුණ (Manufacture's / Responsibilitiy Mark) යන සලකුණු අඩංගු විය යුතු වේ. මීට අමතරව කැරැට් 21, 18, 14, 9 හා 8 සඳහා මෙහි 916 වෙනුවට පිළිවෙළින් 875, 759, 585, 375 හා 333 වශයෙන් සලකුණු කරනු ලබයි. තවද මීට අමතරව ස්වර්ණාභරණ නිෂ්පාදකයා හඳුනාගැනීමට නිෂ්පාදකයාගේ සලකුණක්ද තිබිය යුතුවේ. තවද 2006.03.17 දින අංක 1436/21 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් රත්තරන් ඇතුළු වටිනා ලෝහ ආභරණවල තිබිය යුතු ප්‍රමිතීන් ප්‍රකාශයට පත්කර නීතිගත කර ඇත.

දැනට ස්වර්ණාභරණවලින් වැඩි ප්‍රමාණයක් නියමිත ප්‍රමිතියෙන් තොරය. ස්වර්ණාභරණවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට අප බොහෝවිට යොමුවන්නේ බැංකු ඇතුළු ස්වර්ණාභරණ උකස් ගන්නා මූල්‍ය ආයතනයන් වෙතය. නමුත් රන් භාණ්ඩ පරීක්ෂා කරීම සඳහා එම ආයතන භාවිත කරන්නේ ඝනත්වය ආශ්‍රයෙන් පාඨාංක ලබා දෙන ඩෙන්සි මීටරය නම් උපකරණයයි. ස්වර්ණාභරණවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා එම උපකරණය කොහෙත්ම සුදුසු නොවේ. ස්වර්ණාභරණ තුළට වෙනත් ලෝහ පිරවීමෙන් සාදන ව්‍යාජ ස්වර්ණාභරණවලටත් කැරට් 22 වැනි පාඨාංක පෙන්වන අවස්ථා ඇති බව ද එබැවින් උකස් තැබීමට හැකි වූ ඒවායින් ඔබගේ රන් භාණ්ඩ නියම ප්‍රමිතියෙන් යුක්ත නොවිය හැකියි.

රත්තරන්වල මිල ඉහළ ගිහින් තිබෙන මේ කාලේ ඔබ ප්‍රමිතිය ගැන සැලකිලිමත් නොවුණහොත් ඔබ නොදැනුවත්වම වංචාවලට හසුවිය හැකියි. ප්‍රමිති මුද්‍රා සහිත ස්වර්ණාභරණ පමණක් මිලදීගැනීමට පෙළඹෙන්නේ නම් ඔබ ගෛවන මුදලට නියම වටිනාකමෙන් යුතු ස්වර්ණාභරණ ඔබ අතට පත්වනවා මෙන්ම හදිසියකදී උකස් කරන අවස්ථාවකදී ඉතා පහසුවෙන් ඒවාට උපරිම මුදලක් ලබා ගැනීමට ද හැකි වේ. එබැවින් ප්‍රමිති සහතික සහිත ස්වර්ණාභරණ පමණක් මිලදී ගන්න. මිලදී ගැනීමේදී වලංගු රිසිට්පතක් තබාගෙන එහි නම, ලිපිනය, රන් බර, රන්වල ප්‍රමිතිය ගල් ඇත්නම් විස්තර හා අවසාන මිල සඳහන්ව ඇත්දැයි සැලකිලිමවත් වෙන්න.

වෙළෙඳසල්වල ප්‍රමිති මුද්‍රා සහිත ආභරණ නොමැති අවස්ථාවක ඔබ ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති මුද්‍රා සාහිතව ඉල්ලා සිටි විට ඔවුන් ඔබට ලැබීමට ප්‍රථම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගෙනවිත් පරික්ෂා කිරිමෙන් අනතුරුව ප්‍රමිති මුද්‍රා සහිතව ඔබට නැවත ලබාගත හැකියි.

උපදෙස් -

ඉන්දික බණ්ඩාර

සහකාර අධ්‍යක්ෂක

(රන් ප්‍රමාණය නිශ්චය කිරීම හා මුද්‍රා තැබීම)

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියදුමිණි දිසාකරුණා