වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සෝවාන් විය හැක්කේ බණ ඇසීමෙන් භාවනා කිරීමෙන්
ඔබත් අපත් ජීවත් වන මේ සංසාරයේ ඇති අතිශයින්ම බිහිසුණු බව පිලිබඳව ඔබ මේ වනවිටත් බොහෝ දේශනා අසා ඇති. පෘතග්ජනයකු ලෙස මියැ යාමට වඩා ලෝක සත්ත්වයාට ඇති අනතුරක් තවත් නම් නැත. බුදු, පසේබුදු වීමට පෙරුම් පුරන්නවුන් හැර බුද්ධ ශාසනයක ධර්මයෙහි හැසිරෙන්නවුන්ගේ ඒකායන ප්‍රාර්ථනය වන්නේ මාර්ගඵල ලබා ගැනීමය. ඉහළ මාර්ගඵල ලබාගැනීමට පෙර ප්‍රථමයෙන් සෝතාපන්න වී සිටිය යුතුය.
මෙහිදී සෝවාන් විය හැක්කේ බණ ඇසීමෙන්ද නැත්නම් භාවනා කිරීමෙන්ද යන ගැටලුව වර්තමානයේදී බෞද්ධයන් අතර නිතර කතාබහට ලක්වන මාතෘකාවකි. සෝවාන් වනුයේ බණ ඇසීමෙනි, භාවනා කිරීමෙන් නොවේ යැයි එක් මතයකි. සෝවාන් වීමට බණ ඇසීමට අමතරව භාවනා කළ යුතු යැයි තවත් මතයකි. මෙම මත දරන පාර්ශ්ව දෙක නොයෙක් විට දී තමාගේ මතය නිවැරැදි යැයි සනාථ කිරීමට උත්සාහ දරති. මෙම ගැටලුවට ඇති පිළිතුරු සෙවීමට මේ සම්බන්ධයෙන් ධර්මයේ සඳහන් වන උදාහරණ මොනවාද? මෙබඳු මතවාදයක් ඇති වූයේ කවර හේතු නිසාද? කියා අපි සොයා බලමු.
අප බුද්ධ ශාසනයෙහි පළමුවරට සෝවාන් ඵලයට පත් වූයේ කොණ්ඩඤ්ඤ ශ්රමණයන් වහන්සේය. ඒ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඇසීමෙනි. වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන සෙසු ශ්රමණයන් වහන්සේලා සෝවාන් ඵලයට පත් වූයේ කෙසේදැයි විමසුවහොත් බොහෝ දෙනාගේ පිළිතුර නම් උන්වහන්සේලා ද බණ ඇසීමෙන්ම සෝවාන් වූ බවයි. නමුත් උන්වහන්සේලා සෝවාන් වූයේ භාග්‍යවතුන් වහන්සේගෙන් උපදෙස් ලබමින් භාවනා කරමින් බවට විනය පිටකයේ මහාවග්ග පාලියෙහි එන විස්තරයෙන් මනාව පැහැදිලි වේ.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගෙන් අවශේෂ වූ භික්ෂූන්ට දැහැමි කතාවෙන් අවවාද කළ සේක. අනුසාසනා කළ සේක…….”මෙහි අවවාද කිරීම “ඔවදියමානානං” යන්නෙන් ද අනුශාසනා කිරීම “අනුසාසියමානානං” යන්නෙන් ද දැක්වේ. ‘මෙසේ විතර්ක නොකරවු, මෙසේ මනසිකාර නොකරවු’ යනාදී වශයෙන් වැළැක්වීම අවවාද කිරීමේදී සිදුවේ. ‘මෙසේ විතර්ක කරවු, මෙසේ මනසිකාර කරවු, මෙය දුරු කරවු, කුසල් වූ මෙයට පැමිණ වාසය කරවු (ඉදං උපසම්පජ්ජ විහරථ) ’යි අනුශාසනා කිරීමේදී සිදුවේ.
(පාරාජිකපාළිය-වේරඤ්ජකාණ්ඩය) බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස නොවැඩ සෝවාන් වූ භික්ෂූන් වහන්සේලා රැගෙන ආ පිණ්ඩපාතය වළඳමින් ඒ මොහොතේදී උපදින ගැටලු නිරාකරණය කරමින් සෙස්සන්ගේ භාවනා මාර්ගය පිරිසුදු කළ සේක. මෙතැනදී බුදුරජාණන් වහන්සේ සෙසු පිරිසට භාවනා උපදෙස් නොදී ධර්මය දේශනා කළේ යැයි තර්කයක් ඉදිරිපත් කළ හැක. නමුත් බුදුරජාණන් වහන්සේ පිඬු පිණිසවත් නොවැඩ දවස පුරාම ධර්මය දේශනා කිරීම විය නොහැක්කකි. මේ අයුරින් උපදෙස් ලබා සෙසු ශ්රමණයන් වහන්සේලා සතර නම සෝවාන් ඵලයට පත්වූහ.
බුද්ධ ශාසනයෙහි වීර්යයාධික භික්ෂූන් වහන්සේලා අතරින් අග තනතුරට පත්වූ සෝණ මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්තිය හුදෙකලාව භාවනා වඩා රහත් බවට පැමිණි ආකාරය දැක්වෙන කථා ප්රවෘත්තියකි. අධික වීර්යයක් යොදා බොහෝ වේලාවක් සක්මන් කිරීමෙන් උන්වහන්සේ ගේ යටි පතුල් පැලී ලේ ගලන්නට විය. මෙයින් කලකිරීමට පත් උන්වහන්සේ තමා මාර්ගඵල ලැබිය නොහැක්කෙක් යැයි සිතා ගිහි වී පින්දහම් කිරීමට සිතුණි.
මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ සෝණ ස්වාමීන් වහන්සේගේ සමීපයට පැමිණ වීණාව වාදනය කරන විට එහි තත් උවමනාවට වඩා තදින් ඇල්ලූ විටවත්, උවමනාවට වඩා බුරුලෙන් ඇල්ලූ විටවත් වාදනය කළ නොහැක්කාක් මෙන් භාවනාවට වීර්යය යොදන විට උවමනාවට වඩා දැඩිවත් උවමනාවට වඩා ලිහිල්වත් නොයෙදිය යුතු බව පවසා බුදුරජාණන් වහන්සේ විසින්ම භාවනාවට උපදෙස් අනුගමනය කර රහත් බවට පත් විය.
ඛන්ධ සංයුක්තයේ අඤ්ඤතරභික්ඛු සූත්‍රය,
උපාදියමාන සූත්‍රය, මඤ්ඤමාන සූත්‍රය, අනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍රය ඇතුළු සූත්‍ර ගණනාවකදී දී භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සමීපයට පැමිණ භාවනා කර්මස්ථාන ඉගෙන භාවනා වඩා මග-ඵල නිවන් දුටු බව දැක්වේ.
එසේම ධර්මය මෙනෙහි කිරීමෙන් සෝවාන් වන බවටද උදාහරණයක් අංගුත්තර නිකායේ සෝතානුධත සූත්‍රයෙහි සඳහන් වේ. භික්ෂුවක් ධර්මය පුරුදු පුහුණු කරයි. ඇසූ ධර්මය හොඳින් දරාගෙන නැවත නැවතත් වචනයෙන් පුරුදු කර සිතින් විමසා ප්‍රඥාවෙන් අවබෝධ කර කරගනියි. ඉන්පසුව සිහි මුළා වී කලුරිය කර දිව්‍ය ලෝකයෙහි උපදියි. එහිදී තමා සමඟ එකට බ්‍රහ්ම චරියාවෙහි හැසිරුණු තවත් භික්ෂුවක්, දෙවියෙක්ව ඉපිද සිට පෙර ජීවිතයේ දී තමා ගතකළ පැවිද්ද පිළිබඳව සිහිපත් කරයි. එම සිහිපත් කිරීම් මාත්‍රයෙන් ම සිහිය උපදවා ගෙන තමා කලින් පුරුදු පුහුණු කළ ධර්මය සම්මර්ශනය කොට මාර්ග ඵල ලබයි.
මාර්ගඵල ලැබිය හැකි වූවත් නොහැකි වූවත් මේ ජීවිතයේදී ධර්මයෙහි හැසිරීමේ වටිනාකම මෙයයි. එනම් මේ ජීවිතයේදී ධර්මයෙහි හැසිර පෘතග්ජනව මියගොස් දෙව්ලොව ඉපදුනහොත් එහිදී මාර්ගඵල ලැබීමේ ඉහළ සම්භාවිතාවක්ද පවතී. නමුත් අවාසනාවකට හෝ දෙව්ලොව ඉපදීමට නොහැකිවුවහොත් එම පුද්ගලයාගේ සසර ගමන යළිත් බිහිසුණු, අසරණ වීමට බොහෝ ඉඩකඩ පවති. එය අනවශ්‍යය අවධානමකි.
බුද්ධ කාලයේදී බණ අසා සෝවාන් වූ පුද්ගලයෝ බොහෝ දෙනෙකි. ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ , මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, උපාලි ගෘහපතිතුමා යසකුල පුත්‍රයා, ඔහුගේ බිරිඳ, මව, පියා, විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති ඇතුළු යසකුල පුත්‍රයාගේ මිතුරන් පනස් දෙනා ද සෝවාන් වූයේ බණ ඇසීමෙනි. යමෙක් ත්‍රිපිටකය සහ අටුවාව පුරා විමර්ශනය කළහොත් බණ ඇසීමෙන් සෝවාන් ඵලයට පත්වූ පුද්ගලයන් සිය ගණනකගේ, ඇතැම් විට දහස් ගණනක්ගේ නම් සොයා ගත හැක. නමුත් මෙම පුද්ගලයන් ගැන බොහෝ කරුණු සඳහන් වන්නේ බුද්ධ කාලයේය. එයට හේතු විමසීමේදි ධර්මය ප්‍රතිවේධය කරන ආකාරය පිළිබඳව බුද්ධ දේශනාවේ එන පුද්ගල භේදයක් දත යුතුය.
උද්ඝටිතඥ – සතරපද ගාථාවක් ඇසූ පමණින් නිවන් සාක්ෂාත් කර ගත හැකි පුද්ගලයෝ.
විපඤ්චිතඥ – දීර්ඝ වශයෙන් ධර්ම ශ්‍රවණයෙන් නිවන් සාක්ෂාත් කරගන්නා පුද්ගලයෝ.
නෙx³ – ධර්ම ශ්‍රවණය කර ඒ ධර්මය අනුව පිළිපදිමින් බොහෝ කලක් භාවනා ආදී ගුණාංග පූරණය කර නිවන් සාක්ෂාත් කරගන්නා පුද්ගලයෝ.
පදපරම – ධර්ම ශ්‍රවණ ආදී කිසිදු ලෙසකින් මෙම භවයේ නිවන් සාක්ෂාත් කර නොගන්නා පුද්ගලයෝ.
මේ අනුව බුද්ධ කාලයේ දී උද්ඝටිතඥ සහ විපඤ්චිතඥ පුද්ගලයෝ බොහෝ සෙයින් සිටි බව පැහැදිලිය. එයට හේතු වන්නේ ඔවුන් බොහෝ දෙනෙක් එම තත්ත්වයට පත්වූයේ පෙර ජීවිතවල දී ඉතා වීර්යයෙන් බණ භාවනා කළ නිසාය. වර්තමානයේ උද්ඝටිතඥ සහ විපඤ්චිතඥ පුද්ගලයන් නැත යන නිගමනයට එළැඹීම නොහැකි වුවත් මෙකල මාර්ගඵල අවබෝධ කර ගන්නා බොහෝ දෙනෙක් නෙය්‍ය පුද්ගලයන් බව වටහාගත යුතුවේ.
බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ පවතින සුවිශේෂීත්වය ද මීට බලපාන වැදගත් සාධකයකි. බුදුරජාණන් වහන්සේ වෙනත් ශ්‍රාවකයන්ට අසාධාරණ වූ ඥානයන්ගෙන් පුද්ගලයන්ගේ චිත්ත සන්තාන දෙස බලමින් ඊට අනුරූපීව ධර්ම දේශනා කරන සේක. එමෙන්ම ශ්‍රාවකයන්ගේ නීවරණ ධර්මයන් යටපත් වෙන ආකාරයට පිළිවෙළ කථාව ද උන්වහන්සේ සිදුකරන සේක. දාන කතාව, සීල කතාව, ස්වර්ග කතාව, කාමයන්ගේ දෝෂය, ළාමක බව කෙලෙසීම, පැවිද්දේ ආනිසංස ආදිය ප්‍රකාශ කොට චතුරාර්ය සත්‍යය දේශනා කරයි. බුද්ධ කාලයේ වාසය කළ බොහෝ දෙනා සසර පාරමිතා සම්පූර්ණ කරන ලද සත්ත්වයන් බැවින් ඉතා පහසුවෙන් ධර්මය අවබෝධ කර ගනී.
ඉහතින් දක්වා ඇති කරුණු වලට අනුව සෝවාන් වීම බණ ඇසීමෙන් පමණක් නොව භාවනාවෙන් ද සිදු වන බව පැහැදිලිය. එසේ වුවත් ‘සෝවාන් වනුයේ බණ ඇසීමෙනි, භාවනා කිරීමෙන් නොවේ’ යන වැරදි මතය සමාජගත වී ඇති නිසා එම මතයේ සිටින සැලකිය යුතු පිරිසක් භාවනාවෙන් ඈත්ව සිටින බව පෙනේ. මෙය අතිශයින්ම සෝචනීය කරුණකි. භාවනාව නිවනට අනවශ්‍යය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධි යනුවෙන් කොටසක් එකතු කිරීමට අවශ්‍යය නොවේ. එමනිසා අතීතයේ පටන් මහරහතන් වහන්සේලා සුපිරිසුදුව ආරක්ෂා කරගෙන පැමිණි ධර්මය නිවැරදි ලෙස අනුගමනය කරමින් තමන්ට හැකි පමණින් නිවැරැදි භාවනා ගුරුවයකුගේ මගපෙන්වීම පරදි භාවනාවද පුරුදු කර ගනිමින් තම තමන්ගේ නිවන් මග සම්පූර්ණ කර ගැනීමට මේ ගෞතම බුද්ධශාසනයේදීම වෙර දරමු.
සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ
අනුශාසනාව
පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ