අපේ ගුවන් හමුදා ඉතිහාසයේ පොතක් ලියූ පළමු කාන්තාව

විශ්‍රාමික සැරයන් අනුෂා ජයතිලක
මාර්තු 28, 2022

 

යෞවනත්වයට එළඹෙත්ම ගිනි අවියක් අත දරන්නට, නිල් අහසේ පියාසර කරන්නට, සයුර දෙබෑ කරමින් යාත්‍රා කරන්නට ප්‍රිය කරනා තරුණ තරුණියන් බොහෝමයි. ඒ තම රට දැය පිළිබඳ හදවතේ උපන් උදාරතර හැඟීම් පෙරදැරිවයි.

නිල ඇඳුමින් සැරසී රණවිරුවකු ලෙසින් යුදබිම වෙත පිය නැඟුවද ඒ සිත් තුළ පණ ගැහෙන්නේ අපූර්ව කලාකාමී සිතුවිලි ගොන්නකි. ඉඳින්, ඈ ඒ සිතිවිලිවලට හරි අපූරුවට පණ පොවමින් පත්ඉරු මත අකුරු කළාය. ගුවන් හමුදා කාන්තාවක් විසින් රචිත පළමු පොත පසුගියදා එළිදකින්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

"ගගන තලයේ විස්කම් මැවූ - විරුවෝ ඇත කවි සිත් තිබූ" නම් වූ මෙය රණවිරු කාව්‍ය සංග්‍රහයකි. එය සම්පාදනය කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 10වැනි පාඨමාලාවේ විශ්‍රාමික කාන්තා සැරයන් අනුෂා ලක්මිණි ජයතිලක විසිනි.

නිල් ගුවනට, ගිනි අවියට සේම ඇය ක්‍රීඩා පිටියට ද අසීමිත සෙනෙහසක් පෑ ගුවන් සෙබළියකි. ඉතින් නිල ඇඳුමින් වැසුණු ඒ කවි සිත අවදි වන්නේ සිය විශ්‍රාමික දිවියේ දීය. රාජකාරියට සමුදුන් පසුව පන්හිඳට පෙම් බැඳි ඈ සිය කාව්‍ය එකතුව පිළිබඳ අප හා කතාබහකට එක් වූවාය.

 

මේ කාව්‍ය සංග්‍රහයේ රචිකාව, විශ්‍රාමික ගුවන් සෙබළිය ගැන කතා කරන්නට පෙර අපි අනුෂා ලක්මිණි ජයතිලක කියන දැරිය ගැන කතා කරමු.

"මගේ උපන්ගම රාගම. අයියයි, අක්කයි, මමයි හිටපු අපේ පවුලේ මුදුන් මුල ඒ කියන්නේ මගේ තාත්තා නැතිවුණේ අපි කුඩා කාලයේදීමයි. සමූපකාර කළමනාකාරිණියක් වුණු අම්මා තමයි ඊට පස්සෙ අපේ රැකවරණයට හිටියේ. කොළඹ ශාන්ත ජෝශප් බාලිකාවට ගිය මම උසස් පෙළ හදාරන්න කඳාන ශාන්ත සෙබස්තියන් බාලිකාවට ඇතුළු වුණා."

පාසල් කාලයේ දී ඔබ වැඩි දක්ෂතාවක් දැක්වූවේ ක්‍රීඩාවට.

"මම ක්‍රීඩාවට පුදුමාකාර විදිහට කැමැති කෙනෙක්. පාසල් කාලයේදී මීටර් 100, 200 වාගේම යගුලිය දැමීමෙන් මට බොහෝ ජයග්‍රහණ හිමි වුණා. මම හිතන්නෙ කඳාන සෙබස්තියන් කොන්වන්ට් එකේ දී මීටර් 200 දුවපු මගේ වාර්තාව තාමත් කවුරුත් බිඳ හෙළලා නැහැ."

 

ඒ නිසා වෙන්න ඇති ඔබ මුලින්ම ක්‍රීඩා ගුරුතුමියක් වුණේ?

"මගේ මුල්ම රැකියාව වුණේ ගුරු වෘත්තිය. දික්ඕවිට ශාස්ත්‍රාලෝක මහා විද්‍යාලයේ ක්‍රීඩා ගුරුතුමිය හැටියට මම වසරක් පමණ සේවය කළා."

 

හැබැයි ක්‍රීඩාව ඉගැන්වීමට වඩා ඔබට අවශ්‍ය වෙන්නෙ ක්‍රීඩා කරන්න.

"ඇත්තටම ඔව්. මගේ වැඩි කැමැත්ත වුණේ ක්‍රීඩාව ඉගැන්වීමට වඩා ක්‍රීඩාවේ නියැළීමට. ඒ නිසා මම ගුවන් හමුදාවේ ක්‍රීඩා උපදේශක තනතුරට ඉල්ලුවා."

 

එතැනදිත් ක්‍රීඩා උපදේශක වෙනුවට ඔබට හිමි වන්නේ පොදු රාජකාරි ලිපිකරු තනතුර.

"ජීවිතේ එහෙම තමයි. හැමදේම අපිට ලැබෙන්නෙ නෑනේ. ක්‍රීඩා උපදේශක නොලැබුණාට මට හිතේ හැටියට ක්‍රීඩා කරන්න ලැබුණා. නෙට්බෝල්, වොලිබෝල්, බාස්කට්බෝල් ටීම් තුනටම සම්බන්ධ වෙලා මම සෙල්ලම් කළා. 2009 වසරේ මම තමයි ගුවන් හමුදා අන්තර් ඒකක දක්ෂතම දැල්පන්දු විදින්නිය බවට පත් වුණෙත්."

 

අසීමිතව ක්‍රීඩාවට ආදරය කරන ඔබ පන්හිඳ අතට ගත්තෙ කොහොමද?

"වසර 15ක සේවා කාලයකින් පසුව මම විශ්‍රාම ගියා. ඊට පස්සෙ ගුවන් හමුදාවේ සේවා මුක්ත භට සංගමයේ ක්‍රියාකාරි සාමාජිකාවක් විදිහට කටයුතු කරගෙන හිටියා. හැබැයි මම පාසල් යන කාලයේ ඉඳන්ම කවි ලියනවා. රැකියාවේ ඉන්න අතරතුරේ ඉඳහිට කවියක් දෙකක් කුරුටු ගෑවා. විශ්‍රාම ගත්තට පස්සෙ මගේ කාලයත් ඉතිරියි. ඉතින් ඒ වෙලාවේ කවි ලිවිල්ල පුරුද්දක් වුණා.

'ගුවන් හමුදා මිතුරු සමාජය' කියලා ෆේස්බුක් පිටුවක් තියෙනවා. මේ පිටුවටත් මම ඉඳහිට නිර්මාණ එකතු කළා. ත්‍රිවිධ හමුදාවට අමතරව සිවිල් පුද්ගලයනුත් මේ කවි පිටුවට නිර්මාණ එකතු කළා.

ඉතින් මේ සිවිල් පුද්ගලයන් අතරේ කාව්‍ය නිර්මාණ තරගයක් පවත්වලා හොඳම නිර්මාණ 20ක් තෝරලා මගේ වියදමින් තෑගි සහ සහතික පිරිනමන්නත් හැකියාව ලැබුණා."

මේ විදිහට කවි එකතුවක් ප්‍රකාශනයට පත් කරන්න හිතුණේ ඇයි?

"කොරෝනා වසංගතයත් එක්ක අපේ ජීවිත නිවෙස්වලටම කොටු වුණා. මගේ පුතා උසස් පෙළ හදාරන දරුවෙක්.

බෙහෝ වෙලාවට එයාගේ online පන්ති පැවැත්වෙන්නේ රාත්‍රී කාලයේ. ඉතින් පුතාගේ තනියට ළඟට වෙලා ඉන්න අතරතුරේ වැඩි වැඩියෙන් කවි ලියන්න මම පෙළඹුණා.

අපේ මිතුරු සමාජයේ සිටින ගුවන් හමුදා බලලත් නිලධාරී රොහාන් විජේකෝන් සර් මේ කවි දැකලා මට කිව්වා 'පුතේ මේ කවි ටිකෙන් අපි පොතක් කරමු.' කියලා. ඉතින් මටත් හිතුණා ඒක හොඳ වැඩක්. ඒ නිසා 'හරි සර්' කියලා වැඩේ පටන් ගත්තා."

 

කාව්‍ය නිර්මාණ සහිත විවිධ පොත් අතරේ මේ කවි එකතුවේ විශේෂත්වය ගැනත් කියන්න.

"මම සාමාන්‍යයෙන් මගේ ජීවිත අත්දැකීම් සහ ගුවන් හමුදා සෙබළියක් විදිහට ලැබූ විවිධ අත්දැකීම් කවි සඳහා තේමා කරගන්නවා. එවැනි නිර්මාණ බොහොමයක් මේ පොතට ඇතුළත්. ඊට අමතරව අපේ අර මිතුරු සමාජයේ සිවිල් පුද්ලයන් අතර පැවැත්වූ කාව්‍ය තරගයෙන් තෝරා ගත් නිර්මාණත් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නිර්මාණත් මෙයට ඇතුළු කළා.

ඒ වගේම ගුවන් හමුදා කාන්තාවක් විසින් ලියන ලද පළමු පොත විදිහට මගේ මේ පොත ඉතිහාසයට එකතු වෙනවා. ත්‍රිවිධ හමුදාව සහ සිවිල් පාර්ශ්වය එකට සම්බන්ධ වෙලා පොතක් කරපු පළමු අවස්ථාවත් මෙයයි."

මේ පොත එළිදැක්වීම සඳහා සහයෝගය ලබාදුන් අය පිළිබඳත් අපි සඳහන් කරමු.

"මගේ මේ නිර්මාණ එකතුව එළිදැක්වූවේ කොළඹ බ්‍රිස්ටල් වීදියේ පිහිටි සේවා මුක්ත භට සංගම් ශාලාවේදී. ඒ අවස්ථාව සඳහා සහභාගි වු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් හමුදා සුබසාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට මම ස්තුති කරනවා.

ඊට අමතරව ගුවන් හමුදා සේවා මුක්ත කාන්තා සංගමයේ සභාපතිනිය ඇතුළු සියලුම නිලධාරිනියන් මේ කටයුත්තේදී පුදුමාකාර සහයෝගයක් දැක්වූවා. ත්‍රිවිධ හමුදා සේවා මුක්ත සංගමයට සහ කටුනායක සේවා මුක්ත සංගමයටත්, මගේ ආදරණීය යහළු යෙහෙළියන්ටත්, පවුලේ හැමෝටමත්, ආදරණීය පුතා සිතිජටත්, අනුග්‍රහය ලබා දුන් ජුවෙල් බොක්ස් ආයතනය ඇතුළු උදවු කළ හැමෝටම බොහෝම ස්තූතියි කියන්න මම මේ අවස්ථාව යොදා ගන්නවා."

 

 

 

හැඩගැන්වීම - සුලෝචනා ගුණරත්න

ඡායාරූප - ශාන් රූපස්සර