අලුත් අවුරුද්දට තෑගි දෙන සාස්තරේ මෙන්න...

අප්‍රේල් 11, 2022

 

මේ දිනවල දවසේ හෝරා ගණනාවක් ම විදුලිය විසන්ධි වෙන නිසා අයිස්ක්‍රීම් වගේ දේවල් නම් නිවෙසකට යද්දි ගෙනයන්න හිතන්නම එපා.

දින, සති ගෙවීගොස් සිංහල අලුත් අවුරුද්දත් ළඟටම ඇවිදිල්ලා. සිංහලකමත් සමඟ බැඳුණු සංස්කෘතිකමය උත්සවයක් වන සිංහල අලුත් අවුරුද්දේ දී නෑගම් යන්න, තෑගි බෝග හුවමාරු කරගන්න බාල මහලු කොයි කවුරුත් බලන් ඉන්නේ ඉමහත් ආසාවෙන්.

පසුගිය අවුරුදු දෙකේම කෝවිඩ් වසංගතයත් සමඟින් හිතේ හැටියට අවුරුදු සමරන්න නොහැකි වුණා. මෙවර ඒ සඳහා සූදානම් වෙන්න හිතුවත් අන්කවරදාකවත් නොමැති අන්දමේ ආර්ථික ප්‍රශ්න ගොන්නකටම මුහුණ පාන්න කාටත් සිදුවුණා.

බඩුමිල අහස උසට නඟද්දි තෑගි හුවමාරු කරනවා තබා එදාවේල පිරිමසා ගැනීමට නොහැකිව ළතවෙන පිරිස් අප අතර ඕනෑතරම් සිටිනවා.

පවුලේ අයට, සමීප නෑ හිතවතුන්ට සරමක්, චීත්තයක් හෝ නොදී කොහොමද කියලා හිතන අය සුළුවෙන් හෝ තෑග්ගක් දෙන්නත් හිතනවා.

අලුත් අවුරුද්දේ තෑගි දෙන සාස්තරේ විශේෂයෙන් ම කතා කරන්න හිතුවේ ඔන්න ඔය කාරණා නිසයි.

සාමාන්‍යයෙන් සිංහල අලුත් අවුරුද්දෙදි ඇඳුමක් පැලඳුමක් තෑගි දෙන්නටමයි කොයිකාගේත් හිත කියන්නේ. වෙනදා තරම් අත දිගහැරලා නැති වුණත් යම් මුදලක් ඔබේ අතෙත් සැරිසරනවා නම් අවශ්‍යමයි කියලා හිතෙන විදිහේ නැත්නම් තෑගි දෙන කෙනාට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන විදිහේ තෑග්ගක් දෙන්න හිතන්න. මේ වගේ ආර්ථික දුෂ්කරතා ඇති කාලෙක දෙන්නම් වාලේ දෙන තෑග්ගකින් තෑග්ග ලබන කෙනාටත් ප්‍රයෝජනයක් නැති වේවි. තෑග්ග දෙන ඔබේත් මුදල් නිරපරාදේ අහක යාවි.

ගමනට බිමනට අඳින්න පුළුවන් ඇඳුමක් වගේම නිවෙසට අඳින්න පුළුවන් සරල සැහැල්ලු ඇඳුමක් වුණත් දෙන්න පුළුවන් නම් හරිම වටීවි. සමහර අය යට ඇඳුම් තෑගි දෙන්න එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. යට ඇඳුම් පිළිබඳ එතරම් සැලකිල්ලක් නැති කෙනකුට එවැනි තෑග්ගක් හොඳම එකක් වෙවි. හිත සතුටින් මේස් කුට්ටමක්, ලේන්සු කිහිපයක් දුන්නත් ඒ කෙනාට ප්‍රයෝජනවත් වේවි.

මැහුම් ගෙතුම් පිළිබඳ සරල අවබෝධයක් තිබෙන කෙනකුට වුණත් සරමක්, රාත්‍රියට අඳින්න නයිටියක්, පිජාමා සූට් එකක් වැනි දෙයක් නිවෙසේ දී ඔබේ අතින්ම මසා තෑගි දෙන්නට පුළුවන්. ඔබේ පවුලේම අයට රෙදි මිලට ගෙන එකම තේමාවකට අවුරුදු ඇඳුම මහන්න පුළුවන්. මූල්‍යමය ගැටලු ඉතාම ඉහළ කාලයක අපතේ යන කිසිම දෙයකට මුදල් යෙදවීම සුදුසු නැහැ. අවුරුදු ඇඳුම වුවත් පසුව තවත් නොයෙකුත් අවස්ථාවන්ට අඳින්න හැකිවන අන්දමිනුයි නිම කළ යුතු වන්නේ.

පිටකොටුවේ රෙදි සඳහාම වෙන්වූ දෙවැනි හරස්වීදියට පිවිසෙන ඔබට තරමක් අඩු මුදලකට රෙදි මිලදී ගත හැකි වේවි. වෙන අවුරුදුවලට වඩා සියල්ලක්ම නොවටිනා ගණන්වලට ඉහළ ගොස් ඇති බවත් අමතක කරන්න එපා.

 

 

 

සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දෙදි ඇඳුමක්, පැලඳුමක් තෑගිදීම සිරිතක් වුවත් අදවන විට එය පවුලේම අයට පමණක් සීමා වෙලා. අවුරුද්දට ගමට ගිහින් සමීප ඥාති හිතවතුන්ගේ නිවෙස්වලට යද්දි ඇඳුම් වෙනුවට වියළි ආහාර මල්ලක්, එළවළු, පලතුරු ටිකක්, තුනපහ ටිකක් දුන්නත් සෑහෙන වටීවි. සීනි, පරිප්පු වගේ දේවල් එක බිලකට ග්‍රෑම් 500ක්, කිලෝ එකක් වගේ දෙන කාලේක හාල්, සීනි, පරිප්පු, පාන්පිටි ආදිය කිලෝ එක ගානේ වුව දමා ආහාර මල්ලක් දීමට පසුබට වෙන්න එපා. "මේ වගේ දේවල් දීලා ඒ මිනිස්සු මොනවා හරි හිතයිද?" කියලා මොහොතකටවත් හිතන්න එපා. ඔබ දෙන ඇඳුමකට පැලඳුමකට වඩා මේ වගේ දෙයක් සෑහෙන වටීවි. අල, බී ලූනු, සුදුලූනු ටිකක් එක්ක එළවළු ටිකක් දුන්නත් වටිවි. වෙනදා ඔබ නෑගම් යද්දි ගෙනයන කේක්, බිස්කට්, බීම බෝතල් වගේ දේවල් වෙනුවට මෙවැනි වියළි ආහාර මල්ලක් ඒ නිවෙසේ උදවියට කොතරම් වටීවිද?

මේ දිනවල දවසේ හෝරා ගණනාවක් ම විදුලිය විසන්ධි වෙන නිසා අයිස්ක්‍රීම් වගේ දේවල් නම් නිවෙසකට යද්දි ගෙනයන්න හිතන්නම එපා.

තෑග්ගකට වවුචර් එක්ක දීම එතරම්ම හෘදයාංගම දෙයක් නොවන්න පුළුවන්. ගමක ජීවත්වන කෙනකුට නම් වවුචරයක් තෑගි දීම එතරම් සුදුසු දෙයක් නොවේවි. නමුත් නාගරිකව ජීවත්වන කෙනකුට ඔබ මිලට ගෙන දෙන ඇඳුම ඒ කෙනාට රුචි දෙයක් නොවුණොත් දෙන තෑග්ගෙන් එතරම් ඵලක් වෙන්නේ නැහැ. තෑගි වවුචරයක් දුන්නොත් තෑග්ග ලබන කෙනා තමන්ගේ අවශ්‍යතාවට මුල්තැන දෙමින් අදාළ වටිනාකමට සරිලන දෙයක් ගනීවි.

පුංචි දරුවෝ වැඩියෙන්ම කැමැති සෙල්ලම් බඩු තෑගි දෙනවා නම්. අලුත් අවුරුද්දෙදි තමන්ගෙම පවුලේ උදවිය හැරුණු කොට සමීප ඥාතීන්ට ඇඳුම් ම දිය යුතුයි කියා නැහැ. පොතක්පතක් කියවන්න කැමැති කෙනකුට පොතක් වුණත් දෙන්න පුළුවන්. පොතපතට පුංචි දරුවෝ හුරු කරවන්න කතන්දර පොතක් වුණත් දෙන්න පුළුවන්.

කොහොම නමුත් කෝවිඩ් අපට බොහෝ දේ කියා දුන්නා. ඒ පාඩම් බඩුමිල අහස උසට ගිය මේ කාලේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්.

තෑග්ගක් ලබන්න ඕනෑම කෙනෙක් කැමැතියි. මොනතරම් සල්ලි අතේ ගැවසෙන කෙනකුට වුණත් හිත ගිය තෑග්ගක් ලැබුණොත් අතිශය සතුටට පත්වේවි.

නොගැළපෙන අනවශ්‍ය දෙයක් වෙනුවට වඩාත් ගැළපෙන, අත්‍යවශ්‍යම දෙයක් තෑග්ගකට දෙන්න පුළුවන් නම් ඒ තමයි නියමම තෑගි දෙන සාස්තරේ වෙන්නේ.