මැදි පිළිවෙත හැම පිළිවතට වඩා වටිනවා

මැයි 9, 2022

 

භාණ්ඩ හිඟයක් ඇති වීමේ අවදානමක් පවතිද්දී වෙනදා මෙන් සතර අතට වියදම් කිරීමට යාම සියදිවි නසා ගැනීමක් වැනිය.

 

 

මේ ගත වෙන්නේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඉපදුණු බුදු වුණු පිරි නිවන් පෑ වෙසක් පුන් පෝ දිනය යෙදී ඇති පින්බර වෙසක් මාසයයි. උන් වහන්සේ ගේ ධර්මය බාල, මහලු, ගැහැනු, පිරිමි දෙපිරිසට ම ජීවිතය යහපත් ලෙස සරුසාර කරන අත්පොතකි.

 

විශේෂයෙන් ම කාන්තා පක්ෂයට යහපත් බිරියක්, ආදර්ශවත් මවක් වීමට බෞද්ධ දර්ශනය අනුව ජීවත් වීම ම ප්‍රමාණවත් වේ. මැදුම් පිළිවෙත බුදු රජාණන් වහන්සේ අපට කියාදුන් පිළිවෙත් අතර ඉතා වැදගත් තැනක් ගනියි. එහෙත් අප මේ පිළිවෙතින් බැහැර වෙමින් සිටින්නේ බොහෝ කාලයක සිට ය. කෝවිඩ් - 19 වසංගතයට රටවල් ලොක්ඩවුන් කරද්දී බ්‍රිතාන්‍ය වැනි දියුණු රටවල ගෘහණියන් වාගේ ම අපේ වැනි දියුණු වෙමින් පවතින ගෘහණියන් ද සුපිරි වෙළෙඳ සල්වල රාක්ක හිස් කරමින් දෑතට දරා ගන්න බැරි වාහනයක පටවන තරම් විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගත්තේ කිසිවකුටත් යමක් ඉතිරි නො කරමිනි. ඒ මොහොතේ මැදුම් පිළිවෙත කියා පිළිවෙතක් ඇති බවවත් කිසිවකුටත් මතක තිබුණේ නැත. අවසන අනවශ්‍ය ලෙස මිලදී ගත් භාණ්ඩ කල් ඉකුත් වීමෙන්, ගුල්ලන් විදීමෙන්, පුස් කෑමෙන් භාවිත කළ නො හැකි තත්ත්වයට පත්වූ විට මහමඟට දැමීමට සිදු විය. ඒවා බ්‍රිතාන්‍ය මාධ්‍යවල ඒ කාලයේ පළකර තිබිණි. ලංකාවේ එසේ පළ නොවුණත් අනවශ්‍ය ලෙස මිලදී ගත් පරිප්පු පැකැට්, සහල් මළු, පිටි පැකට් කීයක් නම් විසි කිරීමට සිදු වන්න ඇත්ද ?

කෝවිඩ් කාලයේ පමණක් නොව මෑතකදී සබන් මිල ඉහළ යන බවට පැවැති රාවය නිසා එක කාර්යාලයක සේවිකාවන් උදෑසන ම ගොස් සුබසාදන සංගමයේ තිබූ සියලුම සබන් මිලදී ගෙන තිබිණි. ඔවුන් කල් ඉකුත්වන දිනය මිලදී ගත් පසුවය. බොහෝ සබන් කැට තව සතියකින් දෙකකින් කාලය අවසන් වීමට නියමිත ඒවාය. ඔවුන් සමඟ සේවය කරන සගයන් විහිළුවට මෙන් පවසා ඇත්තේ “ දැන් ඉතින් ඔයාලා අවසන් දවසට කලින් සබන් කැට ටික ගාලා ඉවරකර ගනිල්ලා“ලෙසය. යම් භාණ්ඩ හිඟයක්, මිල ඉහළ යාමක් ගැන ආරංචි වූ විට වැඩි දෙනකු කරන්නේ හැකි උපරිමයෙන් ඒවා මිලදී ගෙන ගොඩ ගසා ගැනීම ය. තවකෙකුට අල්පෙනෙති තුඩක දෙයක්වත් ඉතිරි නො කරන්න තරම් බහුතරයක් ආත්මාර්ථකාමීය. භාණ්ඩ

වැඩිපුර මිලදී ගැනීමෙන් අරපිරිමැස්මකට වඩා සිදු වන්නේ නාස්ති කිරීමකි. ඒ අනවශ්‍ය භාණ්ඩ වැඩි ප්‍රමාණයක් ඉවත දැමීමට සිදුවන බැවිනි.

මැදුම් පිළිවෙත ජීවිතයේ හැම අවස්ථාවකදීම වැදගත් වෙයි. නව වසර උදාවෙද්දී ඇඳුම් සාප්පු ගොස් අල්මාරියකට වත් ඔරොත්තු නො දෙන ලෙස ඇඳුම් මිලදී ගැනීම කාලයක සිට පවතින පුරුද්දකි. සමහර විට මිලදී ගන්නා ඇඳුම් ඒ වසරේ තබා වසර ගණනාවකින් වත් ‍අඳින්නේ නැති වීමට පුළුවන. වැඩි දෙනකුට තමන් ට එවන් ඇඳුමක් ඇති බවවත් මතක ද නැත. වසරක් යන තුරුත් මිලදී ගත් ඇඳුමක් අඳින්නේ නැත්නම් බොහෝ දුරට ඒ ඇඳුම ඇදීමට වඩා නො ඇඳීමට තිබෙන ඉඩ වැඩිය. ඇඳුම් පමණක් නො ව සෙසු දේට ද අත්වන්නේ ඒ ඉරණම ය.

බොහෝ ගෘහණියන්ට පසුම්බියේ තරමට වියදම් කිරිමේ හැකියාවක් නැත. අත්‍යාවශ්‍ය දේ මොනවාදැයි සොයා නො බලා දුටු දුටු දේ ඔවුහු මිලදී ගනිති. බහුතරයක ගේ දෑස් තණ්හාවෙන් අන්ධ වී ඇත. එහෙත් මේ උදාවී ඇත්තේ තණ්හාවෙන් අන්ධ විය යුතු කාලයක් නො වෙයි. මේ කාලයේ සමහර කඩවල්වල දොරේ හෝ ඇතුළු වන තැන මෙසේ ගසා තිබෙයි. “ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති නිසා අවශ්‍යම භාණ්ඩය පමණක් මිලදී ගන්න. “ සීමාවක් නැතිව වියදම් කරන කාන්තාවන්ට එය කදිම රතු එළියකි.

භාණ්ඩ හිඟයක් ඇති වීමේ අවදානමක් පවතිද්දී වෙනදා මෙන් සතර අතට වියදම් කිරීමට යාම සියදිවි නසා ගැනීමක් වැනිය. නැවතත් මැදුම් පිළිවෙතට අනුව ජීවිතය සකසා ගනිමින් අරපිරිස්සමින් සරල ජීවන රටාවකට හුරු වීමට කාලය පැමිණ තිබෙයි. එය මොනතරම් සොඳුරු අත්දැකීමක්දැයි බලන්න. සහල් ළිප තැබීමේදී සහල් මිටක් වෙන්කර තැබීම, සබන් කැටය අවසන් වෙන විට එක් තැනකට දමා එකතු කිරීම වැනි සුළු දෙයක් පවා මොන තරම් වටිනවාද ? කාලයක් යන විට පුංචි පුංචි ඉතිරි කිරීමක පවා ඇති මහා වටිනාකම ඔබට දැනෙනු ඇත. බිලියනය, ට්‍රිලියනය වන්නේත් සතෙන් ඇරැඹූ ඉතිරි කිරීමය.