වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඔබට නිවන් දකින්න පුළුවන්
දීපා-මා ගේ ජීවිත කතාව ඔබ වෙත මෙලෙසින් විවරණය කරනු ලබන්නේ අප රටේ ප්‍රවීණ කළමනාකරණ උපදේශකයකු වන දීපාල් සුරියආරච්චි මහතා විසිනි. දීපා-මා මෑණියන්ගේ ජීවිත කතාව තුළින් ඔහු අප සමාජයට ගැඹුරු පණිවුඩයක් හා මඟ පෙන්වීමක් සපයයි. මේ වෙසක් මාසයේදී ඔහු ඇයගේ ජීවිත කතාව තුළින් විවරණය කරන්නේ අපගේ කාන්තා පරපුරට වටිනා ආදර්ශයක් හා මඟ පෙන්වීමක් ලබාදීමේ අපේක්ෂාවෙනි.
ජීවිතය පිළිබඳ ගැඹුරින් සිතන්නටත් ජීවිතය කඩාවැටීම හමුවේ දිරිමත්ව ඉදිරියට ගමන් කරන්නටත් එම ජීවිත කතාව තුළ බොහෝ වටිනා කරුණු රැසක්ම තිබේ. තවදුරටත් දීපා-මා මෑණියන් ගැන අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් ඇය පිළිබඳ සටහන් වූ වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකියි.
වසර දෙකකට පමණ පෙර තථාලෝකා නම් අමෙරිකානු ජාතික මෙහෙණින් වහන්සේ නමක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට පැමිණි අතරතුර කොළඹ දී ධම්ම දේශනා කිහිපයක් පැවැත්වූහ. එම දේශනා අතර තුරදී දීප-මා නම් උපාසිකාවක් ගැන එතුමිය කිහිප වරක් සඳහන් කළේ ගිහි අපට අනුගමනය කළ හැකි පරමාදර්ශී චරිතයක් ලෙස හඳුන්වා දෙමිනි. දීපා-මා උපාසිකා මාතාව උතුරු ඇමරිකාව තුළ විදර්ශනා භාවනාව ප්‍රචලිත කිරීමට මුල් වූ බවත්, ජැක් කෝන්ෆීල්ඩ්, ජෝශප් ගොල්ඩ්ස්ටයින් වැනි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ඇමෙරිකානු බෞද්ධ උපදේශකවරුන් හට පවා මග පෙන්වූ බවත් එම දේශනා වල සඳහන් විය.
ඇයගේ චරිත කතාව සඳහන් Amy Schmidt විසින් රචිත Dipa Ma, The Life and Legacy of a Buddhist Master පොත කියවූ මා ඉන් ලබාගත් ආශ්වාදය සහ උත්තේජනය අති මහත් ය. මෙම ලිපියේ අරමුණ දීපා-මා උපාසිකාව ගැනත් ඇගේ පණිවුඩ ගැනත් සිංහල පාඨකයන් ට යම් හැඳින්වීමක් ලබා දීමයි.
ඇය උපදින්නේ 1911, මාර්තු 25 වන දා මියන්මාර දේශසීමාව අසල නැගෙනහිර බෙන්ගාල ගමකය. ඇගේ නම නනී බාලා බරුවා යන්නයි. සය දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වුනේ නනී ය. කුඩා කළ සිටම ඇය ඉමහත් ශ්‍රද්ධාවකින් යුක්ත වීය.
එවකට එම පළාතේ තිබූ සම්ප්‍රදායට අනුව වයස 12 දී ඇයව රන්ජනි රන්ජන් බරුවා නම් 25 වියැති ඉංජිනේරුවරයෙකුට සරණ පාවා දුනි. විවාහයෙන් සති දෙකකට පසු රන්ජනිට රැකියාව සඳහා බුරුමය ට යන්නට සිදු විය. ඉන් ඉක්බිති වසර දෙකකට පසුව තනියෙම බෝට්ටුවකින් රැන්ගුන් නුවරට යන තුරු ඇය ගතකළේ කටුක ජීවිතයකි.
විවාහයෙන් වසර ගණනාවක් ගියද දරුවෙක් නොමැති වීම ඇයට තදින් ම බලපෑය. වරෙක පවුලේ කෙනෙකුට අසනීපයි කියා, ආපසු කල්කටාවට කැඳවා ගත් රන්ජනි ට නනී ව අතහැර වෙනත් කාන්තාවක් කරකාර බන්දවන්නට ඔහුගේ පවුලේ අය උත්සාහ කළත් රන්ජනිගේ ප්‍රතිපත්ති ගරුක බව නිසාම එය වැලකිනි.
නනීට වයස 18 වන විට හදිසියේ ම ඇගේ මව මිය ගියාය. ඇගේ මරණය පිළිබඳ සිහිනෙන් ඊට දින කිහිපයකට පෙර දැක තිබුණ ද ඇගේ සොව බලවත් විය. දින කිහිපයකට පසු නනීට ටයිෆොයිඩ් උණ සෑදී අසනීප වී මාස ගණනක් රෝහල් ගතව ප්‍රතිකාර ගන්නට සිදුවිය.
ඒ වනවිට ඇගේ බාලම සොයුරා ගේ වයස මාස 18ක් විය. බිජෝයි නම් වූ එම සොහොයුරා බලා ගැනීමේ වගකීම නනී සහ රන්ජනි යුවළට පැවරුණි.
රැන්ගුන් නුවරට පැමිණි මුල් කාලයේ සිට ම භාවනා කිරීම ට නීනා ට ඉමහත් ආශාවක් තිබුණද ඊට ඉඩක් නොලැබුණි. 1945 වන විට ඇගේ පියා ද මියගොස් තිබුණ අතර ඒ වන විට තරුණයෙක් වූ ඇගේ සොයුරා ද ආපසු ඉන්දියාවට ගියේය. මව්පියන් ද මියගොස්, තම බාල ම සොයුරා ද ආපසු ගිය විට, මේ නම් භාවනාව ආරම්භ කිරීමට හොඳම අවස්ථාව යයි සිතුන ද, එවකට 35 වන විය ට එලඹ සිටි නීනා ගැබ් ගත්තාය. එම දියණිය ඉපැදී තුන් මසකින් මිය ගියා ය. එම සොවේ ප්‍රතිපලය වූයේ නීනා හෘද රෝගියෙක් වීමයි.
ඉන් වසර හතරකට පසු යළිත් ගැබ් ගත් ඇය දියණියක් බිහි කළා ය. ඇගේ නම දීපා විය. ඉන් පසු දීපා ගේ මව යන අරුතින් ඇය ව දීපා-මා ලෙසින් හැඳින්විණි.
දීපා කුඩා කලම නීනා පිරිමි දරුවෙකු බිහි කළ ද ඒ දරුවා උපතේදීම මිය ගියේ ය. මෙම පුත්‍ර වියෝගයෙන් තවත් කම්පාවට පත් දීපා- මා ඉන් මිදීමට භාවනා කිරීම ඉගෙන ගැනීමට අවසර ඉල්ලූ නමුත් සැමියා ගේ අදහස වූයේ ඇය තවමත් ඊට තරුණ වැඩි බව යි. අවසර නොලදහොත් හොරෙම ගෙදරින් යන බවට ඈ තර්ජනය කළත් ටික දිනකින් අධි රුධිර පීඩනයෙන් බලවත් සේ රෝගාතුර වුණෙන් ගෙදරින් එළියට යාම කෙසේ වෙතත් ඇඳෙන් බිමට බැසීමටවත් ඇයට නොහැකි විය. දරුවාගේ මෙන් ම බිරියගේ ද කටයුතු තම රැකියාව කරන අතරතුර කරන්නට වීමෙන් වූ පීඩන ය හමුවේ අසනීප වුණ රන්ජනි 1957 වසරේ දිනක, හදිසියේ ම මිය ගියේ ය.
දස වසරක් ඇතුළත දීප- මා ට දරුවන් දෙදෙනකු හා සැමියා අහිමි විය. රෝගී වැන්දඹුවක් ලෙසින් සත් හැවිරිදි එකම දරුවා බලා හදා ගැනීමේ වගකීම තම කර පිට පැවරිණි. තම මව් රටින් ගව් ගනණක් ඈත, මව්පියන් හෝ වෙනත් නෑදෑයෙකු ද නොමැතිව අසරණ වුන දීපා-මා දුකෙන් සහ මානසික අසහනයෙන් ඉමහත් විඩාව ට පත් වුණි.
මේ සියලු සන්තාපයන් ගෙන් මුසපත් වූ ඇය මාස කිහිපයක් කළ එක ම දේ වූයේ තමාට පිහිට වන ලෙස යදිමින් රන්ජන් ගේ පින්තූරය ළයට තුරුළු කරගෙන ඉකි ගසමින් හැඬී ම පමණ ය.
සිය ජීවිතයේ ඉතාමත් ම අසරණ මොහොතේ කිසිම දෙයක් මරණයෙන් පසු රැගෙන යා නොහැකි බව ඇයට ඉතා දැඩිව පසක් විය. “ සමහර විට භාවනාව ඉගෙන ගතහොත් ඉන් මරණින් මතු රැගෙන යා හැකි දෙයක් උපයා ගත හැකි වනු ඇත”යන සිතිවිල්ල ඇගේ සිතේ පහළ විය. එසේ සිතුණ දින රාත්‍රියේ බුදුරුවක් සිහිනෙන් පෙනෙන අතර,
තන්හා ය ජායතී සෝකෝ
තන්හා ය ජායතී භයං
තන්හාය විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං
( බැඳීම් නිසා සෝකය සහ බිය උපදී. බැඳීම් නැති විට කවර නම් බියක් ද, කවර සෝකයක් ද?) ගාථාව කියනවා ඇසුණි.
පිබිදෙන විට දීප-මා හට ඉතා පැහැදිලි බවක් සහ සැනසිලි දායක බවක් දැනෙන්න විය. කෙසේ හෝ දැන් නම් බවුන් වඩන අයුරු ඉගෙන ගත යුතු බව ඇයට තව තවත් පසක් විය.
තමන් සතු සියලු වටිනා දේ තම අසල්වාසී කාන්තාවට දී තමා එන තුරු දීපා බලා ගන්නා ලෙස ඉල්ලා රැන්ගූන් හි කමායුත් භාවනා මධ්‍යස්ථාන යට ගියේ, දිවි දෙවැනි කොට ය.
පළමු දිනයේ ම ලද උපදෙස් අනුව සති පට්ඨාන භාවනා වඩන ඇය ඉතා ගැඹූරු ඒකාග්‍රතාවක් ලබා ගත්තා ය. හවස සිය භාවනා ගුරුවරයාගේ කුටිය වෙත යන අතරතුර බල්ලෙක්ගේ සපා කෑමට ලක් වන දීප-මා, ට මර බිය දැනිණි. තම භාවනාවේ ප්‍රගතියක් නොදැක මිය යන්නට අකැමැත්තෙන් ජල භීතිකා එන්නත ලබා ගන්නට නගරයට යන්නට තීරණය කළ ඇයට එම ගමන් නිසා එම සෑම දිනක ම දිවා ආහාරය අහිමි විමෙන් ඇය ශාරීරික ව තවත් දුර්වල විය. එ නිසාම භාවනා පුහුණුව අතර මග නතර කර යළිත් ගෙදර යන්නට ඇයට සිදු විය.
එක් වනම තමා අතහැර යාමේ බියෙන් යුත් කුඩා දියණිය දීපා, දැන් මොහොතකට හෝ නිනී ට එළියට හෝ යන්නට ඉඩ නොදෙන්නී ඈ අසලම සිටින්නට වූවා ය.
කෙසේ නමුත් ඉඩ ලද හැම මොහොතක ම බවුන් වඩන්න ට දීපා-මා අමතක නොකළා ය. කෙදිනක හෝ යළිත් කැප වීමෙන් භාවනා කරන්න ඉඩ ලැබෙනු ඇත යන්න ඇගේ නිරන්තර විශ්වාසය විය.
කාලය කෙමෙන් ගෙවී යත්දී ඇගේ නැගණිය හේමා ද සිය පවුල සමග මියන්මාරයට පැමිණියාය. මේ අතරතුර තම පවුලේ හිතවතෙක් වූ අනගාරික මුනීන්ද්ර ගේ උපකාරයෙන් එකල බුරුමයේ සිටි උත්තරීතර ස්වාමීන් වහන්සේ කෙනෙක් වූ මහාසි සයාඩෝ හිමියන් ගෙන් උපදෙස් ලබමින් භාවනා කිරීමට අවස්ථාව ඇයට හිමි විනි. දරුවාගේ වගකීම තම නැගණියට පවරා දීප-මා මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් භාවනා වැඩ සටහනකට එකතු විය.
පළමු වතාවේ තිබූ දැඩි වීර්ය සහ කලබල කාරී බව වෙනුවට මෙවර ඇගේ සිතේ තිබුණේ වඩා සංයම ගතියකි. තෙවැනි දිනය පසුවන විට ඇය ට ඉතාමත් ගැඹුරු සමාධියක් ගොඩ නගා ගත හැකි විය. නින්ද හෝ ආහාර නොමැතිව බවුන් වඩනු නුසුදුසු බව වටහා ගත් අනගාරික මුනීන්ද්ර දීපාමා ට, මහාශි ශයඩෝ හිමියන් ගේ දේවලට සවන් දෙන්න ට උපදෙස් දුන්නේ ය. උන් වහන්සේගේ දෙසුම් බුරුම බසින් වුවත් ඊට සවන් දෙන ලෙස යි ඇයට ඔහු බල කර කියා සිටියේ.
මෙම ලිපියේ ඉතිරි කොටස ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.