වර්ෂ 2024 ක්වූ November 11 වැනිදා Monday
නිහඬවම සෙනෙහස බෙදන ආදරණීය තාත්තා
පලලා බැලුවොත් දෙකට පියවරුන්ගේ පපුව රුධිරයත් දුවන්නෙම සෙනෙහෙ ගඟුලට යටව
පැතුම් දහසක් හිතේ පුරෝගෙන පුංචි කළලයක් කුසේ දරාගෙන දිනෙන් දින ගෙවෙන විට සුරතල් දරු පැටියකුගේ මුහුණ දකින්න මව්වරුන ්පෙරුම් පුරයි. ඒ මව්වරුන්ට සෙනෙහස, ආදරය මෙන්ම ආහාර, රැකවරණය, කරුණාව, පෝෂණය ලබා දී තම ප්‍රාණ සමවන් දරු පැටියාගේ මුහුණ දකින්නට පෙරුම් පුරන තවත් එක් ආදරණීය චරිතයකි. දරු ගැබ තම බිරියගේ කුස තුළ පිහිටවූ දා සිට දරු පැටියාගේ අනාගතය සාරවත් කරන්නට වෙහෙස වෙන, ඔහු නිහඬ සෙනෙහෙවන්තයෙකි. මවගේ සෙනෙහසට ෙනාෙදවැනි සෙෙනහසක් ළ ෙයහි ෙහාවාගත් ඒ් අාදරණීයයා තාත්තා නම් වේ.
මව්වරුන් දරුවන් දස එකඩ මසක් කුසේ දරාගෙන වේදනා විඳින විට පියවරුන් මුළු ජීවිත කාලයම අපිව හිතේ දරාගෙන අපි වෙනුවෙන් වෙහෙසෙන්නේය. වේදනා විඳින්නේය. තම පළමු වැනි දරු පැටියා දෝතට ගන්නා පළමු තත්පරයේ සිට තාත්තාට දැනෙන හැඟීම වචන කරන්නට ඔහුට කිසිදාක නොහැකිය. ඒ හැඟීම වචනවලට පෙරලන්නට තරම් භාෂාව ද පරිනත නොවේ. එය ආදරණීය පියවරුන්ගේ උත්තරීතර වූ ආදරයයි.
අම්මා නම් තම දරු පැටවුන්ට තම සිතේ ඇති ආදරය නිතරම පෙන්වන කෙනෙකි. නමුත් තාත්තලා නම් එහෙම නොවේ. ඉතින් එහෙයින් කාට හෝ කිව හැකි ද "තාත්තා අපිට ආදරය නෑ" කියා. කෙනෙක් එසේ කියනවා නම් ඒ තාත්තාගේ ආදරේ තේරුම් ගත නොහැකි දුර්වලයෙකි. නිහඬවම තම දරුවන්ට ආදරය කිරීම තාත්තාගේ ගතියයි. ඒ නිහඬතාව නිර්මාණය වී ඇත්තේ තාත්තාගේ හිතේ තම දරුවන්ට ඇති ආදරය, සෙනෙහස, කරුණාව, රැකවරණය යන මේ හැඟීම් සියල්ලේම එකතුවකිනි.
තාත්තාගේ මුළු පපුව පුරාම පිරී විහිදී ඇත්තේ ආදරයයි. තාත්තාගේ හැම හුස්මකම ගැබ්වී ඇත්තේ ආදරයයි . තාත්තාගේ සිරුරේ දුවන හැම රුහිරු බිඳුවකම කැටි වී ඇත්තේ ආදරයයි. තාත්තාගේ සම පසාරු කර, මස් පසාරු කර, ඇටමිදුළු දක්වාම කිඳාබැස පවතින්නා වූ හැඟීමක් වේ නම් ඒ තාත්තා තම දරුවන් කෙරෙහි දක්වන ආදරයයි.
පියවරුන් ලෝකයට පේන්නට කිසිම දවසක තම දරුවන්ට ආදරය කළේ නැත. නමුත් තාත්තාගේ හැම හුස්මකම ගැබ් වී තිබුණේ දාරක ස්නේහයයි. මොහොතකට සිතා බලන්න ඔබ වෙනුවෙන්, ඔබේ පියා මොනවද නොකළේ කියා.
අප කුඩා කල සිට හෙළූ සෑම කඳුළක් ඇතුළෙම තාත්තගේ වේදනාව හැංගිලා තිබුණා. උදේ සිට රෑවෙන තුරු දරුවන් වෙනුවෙන් වෙහෙසෙන ඒ දෑත් රළු වෙලා කරගැට මතු වෙලා තිබුණා. දරුවො උස් මහත් කරන්න, පෝෂණය කරන්න, ලස්සනට තියන්න, සමාජයේ හොඳ පුරවැසියෙක් කරන්න වෙහෙසිලාම තාත්තට තාත්තගේ ලස්සන ගැන හිතන්න අමතක වෙලා තිබුණා. දරුවන්ට තිෙයන ආදරේ හින්දම තාත්තාගෙ තරුණ විය දරුවෝ වෙනුවෙන්ම දියවෙලා තිබුණා. තාත්තාගෙ සාරය උරා බීලා දරුවො ටික ටික ලොකු වෙද්දි තාත්තා අවලස්සන වෙලා, හම රැලි වැටිලා, කෙස් සුදු වෙලා, මුළු ශරීරයම වැහැරිලා තිබුණා. මේ සියලු සිදුවීම් ඇතුළෙ කවුරුත් නො දන්නවා වුණත් තාත්තා හැම බෝධියක්, පල්ලියක්, පන්සලක්, බුදු පහනක් ළඟම දරුවන්ගෙ යහපත විතරක්ම ප්‍රාර්ථනා කරලා තිබුණා. ඉතින් දරුවන් වෙනුවෙන් නිහඬවම සෙනෙහස බෙදන ඒ උත්තරීතර වූ මුණිවරයා තාත්තා නොවේද..?
දරුවන්ට සිය පපුව තුළ තියෙන ආදරය වෙනුවෙන් තාත්තලා නො කළ දෙයක් නැති තරම්ය. තාත්තලා බඩගින්නේ සිටිය ද දරුවන්ට කිසිදා කුසගින්න දැනෙන්නට දුන්නේ නැත. තිබුණු හොඳම දේවල්වලින් දරුවන් පෝෂණය කර තාත්තලා ලබන සතුට ද අපමණය. ජීවිතයට කුමන බාධක පැමිණියත් දරුවන්ට ඒවා දැනෙන්නට නොදී මහාමේරුව මෙන් නොසෙල්වී දරුවන්ට රැකවරණය දී ප්‍රශ්න තනියම දරාගත්තේ තාත්තාය. දරුවන්ට ලෙඩක් දුකක් සෑදුන විට මව්වරුන් මෙන් පියවරු හැඬුවේ නම් නැත. එහෙත් වේදනාව ඉකි ගසන පපුවේ හඬ ලෝකයට ඇහෙන්නට නොදී කඳුළු සමඟ එකට ගුළිකර පපු කුහරයේම සඟවන්නට පියවරුන් සමත්ය. පියවරුන්ට කිසිදාක දරුවන්ගේ කිසිදෙයක් පිළිකුල් වූයේ ද නැත. එසේ වූවා නම් බිම්බිසාර රජු පුංචි අජාසත් කුමරුගේ විසර ගෙඩිය සහිත ඇඟිල්ල කටෙහි දා පුතුට සුවයක් ලබා දී එහි වූ අපද්‍රව්‍ය තම කුස තුළ රඳවා ගන්නේ ද නැත. තාත්තා කවදත් දරුවන්ට ආදරෙයි කියා වචනයෙන් කිව්වේ නැත. නමුත් නිහඬවම දරුවන්ට පපුව පිරෙන්නට ආදරේ දුන්නා මිස කිසිදාක ආදරය අඩු කළේ ද නැත.
ඉතින් සදාකල්හිම දැනෙන ආදරයක් පවතින නිහඬ චරිතයක් ලොව හිඳි. ඒ උත්තම වූ ආදරය සැබැවින්ම නිහඬය. ඒ ආදරය කෑගසා පෙන්වන්නක් නොවේ. ඒ ආදරය මුනිවරයකු සේය. දුක ශෝකය උසුලා සිටීමට හැකි මේ චරිතය සංවේදනා කඳුළින් දියකර නොහරී. සාගරය සේ වූ හිතේ වේදනාව නිතරම රිදුම් දෙන පපු කුහර මතම සඟවාගෙන ඔහු මහමෙර සේ දිවි බර උසුලන්නේය. ඒ අන් කවුරුවත් නොව අපේ ආදරණීය තාත්තාය.
පියවරුන් මුළු ජීවිතයම කැප කරන්නේ තම දරුවන් වෙනුවෙනි. ඒ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නම් නොවෙයි. ඒ උත්තරීතර වූ පිය සෙනෙහසේ මහිමය වෙනුවෙන්මය.
ගෙදර බුදුන් ලෙස හඳුන්වන්නේ අම්මාය. ඉතින් ඒ බුදු වන අම්මාගේ සෙවණැල්ල සේ හිඳිමින් බුද්ධත්වයට මඟ විවර කරන්නේ නිහඬවම සෙනෙහස, රැකවරණය, ලබාෙදන උත්තරීතර වූ පීතෘත්වයේ නියමුවානන් වන අපගේ ආදරණීය තාත්තාමය.
සටහන
නුවන්ති හංසිනී උත්පලා
සඳලංකාව