මිනිසෙක් මැරීමට එකම එක කේලමක් ඇති

සැප්තැම්බර් 5, 2022

ජීවිතයේ සතුට අත ළඟ තිබිය දී ත් බොහෝ අය සතුටට පත්වන්නේ නැත. නොමැති දෙයක් ගැනම සිතමින් ළතැවේ. දුකට පත්වේ. අවසානයේ දුකින්ම ජීවිතය කෙළවරකර ගනී. එවැනි මිනිසුන්ට ජීවිතය කියා දීමට අපි මෙලෙස ලියන්නෙමු. මේ විශ්වය විශ්වාස කරන්න. විශ්වයේ ශක්තියත් ඔබේ සිතත් විශ්වාස කරන්න. සතුට ඇත්තේ නිසැකවම ඔබ ළඟය. එහෙත් තවමත් ඔබ එය වටහාගෙන නැත. ගැටලුව ඇත්තේ එතැනය. ඉඳින් අපි ජීවිතය කියවමු. සතුට සොයාගනිමු.

 

ස්ටීව් ගේ කතාව

ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන වචන ඔබට, මට, අපගේ ජීවන දර්ශනය සඳහා මාලිමාවක් ලබා දෙනු ඇත. අග්න්‍යාශයේ ඇතිවූ පිළිකාවක් නිසාවෙන් ඔහු වයස අවුරුදු 56 දී බිලියනපතියෙක් ලෙස මිය ගියේය. රෝහල් ගතව සිටින විට ඔහු විසින් ප්‍රකාශ කරන ලද අවසන් වචන කිහිපය මෙසේය.

"ව්‍යාපාරික ලෝකය තුළ සාර්ථකත්වයේ අග්‍රස්ථානය කරා මා ළඟා විය. ලෝකය මා සාර්ථක මිනිසෙක් ලෙස සැලකීය. කෙසේ වෙතත්, රැකියාව හැරුණු විට, මා සිටින්නේ සුළු ප්‍රීතියකින්ය. අවසානයේ දී ධනය යනු තම ජීවිතය සතුව ඇති එක් දෙයක් පමණක්මය යන්න අවබෝධ විය.

මේ මොහොතේ ගිලන් ඇඳ මත හිඳිමින් මම මාගේ මුළු ජීවිතයම සිහිපත් කරමි; කලෙක මා ඉතාමත් ආඩම්බරයට පත් වූ සියලු පිළිගැනීම් සහ ධනය, නොපසුබස්නා මරණය ඉදිරියේ නිෂ්එල වී ඇති බව මම තේරුම් ගෙන සිටිමි. ඒ සියල්ල නිරර්ථකය. අර්ථ ශුන්‍ය දේය.

ඔබ වෙනුවෙන් ඔබේ මෝටර් රථය පැදවීම සඳහා හෝ ඔබ වෙනුවෙන් මුදල් ඉපයීම සඳහා කෙනෙක් පත් කළ හැකියි. එහෙත් ඔබ වෙනුවෙන් ඔබේ රෝගයන් දරා සිටීමට වෙනත් කෙනකු පත් කළ නො හැකියි. නැති වූ ද්‍රව්‍යමය දේවල් නැවතත් සොයාගත හැකිය. නමුත් ජීවිතය අහිමි වූ විට නැවතත් කිසිදු දිනෙක සොයා ගත නොහැකියි.

පුද්ගලයකු සැත්කම් මැදිරිය තුළට යන විට, ඔහු හට කියවීමට තවත් එක් පොතක් තිබෙනා බවට තේරුම් යනු ඇත - එය නමින් "නිරෝගී ජීවන ක්‍රමයයි". ජීවිතයේ කුමන අවධියක අපි දැන් සිටින්නේ ද කාලයත් සමඟ ජීවිතයේ තිරය පහළට වැටෙනා දවස ළඟා වනු ඇත. එය පරම සත්‍යම වේ. කිසි ලෙසකත් කා වෙනුවෙන්වත් වෙනස් නොවේ.

ඔබේ පවුලට නො පමාව ප්‍රේම කරන්න. ඔබේ කාලත්‍රයාට නො පමාව ප්‍රේම කරන්න. ඔබේ මිතුරන්ට නො පමාව ප්‍රේම කරන්න. ඒ නැතිවූ දවස් නැවත ලබා දෙන්න. කාලයත් සමඟ අප සෙමින් වැඩිහිටි සහ ප්‍රඥාවන්ත වන අතර, එවිට ඩොලර් 300ක් සහ ඩොලර් 30ක් වන ඔරලෝසුවකින් පෙන්වන්නේ එකම වෙලාව බව අප හට අවබෝධ වනු ඇත. පසුම්බිය ඩොලර් 300ක් හෝ ඩොලර් 30ක් වුවද, එය ඇතුළත තිබෙනා මුදල් ප්‍රමාණයේ වටිනාකම එක සමාන වේ.

තමා පදවන රථය ඩොලර් 150,000ක් හෝ ඩොලර් 30,00ක් වුවද, ඔබ ගමන් කරනා ගමනාන්තය වෙනස් නොවනු ඇත. තමා ජීවත් වන නිවෙස වර්ග අඩි 300ක් හෝ 3000ක් වුවද, ඔබේ හුදෙකලාව වෙනස් නොවනු ඇත. එය ප්‍රීති ප්‍රමෝදයෙන් පිරී නොයයි නම් විසල් නිවෙසක තේරුමක් නැත. ඔබේ සැබෑ සන්තෘප්තිය, මේ ලෝකයේ ද්‍රව්‍යමය දේවල් මඟින් නොලැබෙන බව ඔබ තේරුම් ගනු ඇත. ඊට එහා ගිය අධ්‍යාත්මික තෘප්ති‍යක් කරා අප පියාසර කළ යුතු වේ. එසේනම් ඔබත් සමඟ කතා කිරීමට, සිනහ වීමට හෝ ගී ගැයීමට යහළුවන්, සහෝදර සහෝදරියන් සිටී නම්, එය සැබෑ සතුටක්ය. ඔබේ දරුවන්ට ධනයට වඩා සන්තෝෂයෙන් සිටීම පිළිබඳ උගන්වන්න. එවිට ඔවුන් යම් දෙයක මිලට වඩා එහි හරය අගය කරනු ඇත.

ඖෂධ ලෙස ඔබේ ආහාර අනුභව කරන්න. එසේ නොමැතිනම් දිනෙක ඔබේ ආහාර ලෙස ඔබට ඖෂධ අනුභව කිරීමට සිදු වනු ඇත. ඔබ හට ඉක්මනින් ඇවිදීමට අවශ්‍ය නම්, තනිව ඇවිදින්න. ඔබට දිගු දුරක් ඇවිදීමට අවශ්‍ය නම්, එක්ව ඇවිදින්න. ඔබ ඉපදෙන විට ආදරය ලැබෙනු ඇත. ඔබ මියයන විට ද ඔබට ආදරය ලැබෙනු ඇත. එය අතර මැද තිබෙනා කාලය කළමණාකරණය කරගන්න! ඔබගේ අද දවසේ කර්තව්‍ය වන්නේ එයයි."

 

ඔබ වෙනුවෙන් මෙසේ කියයි

 

ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලෝ වරක් පැවසුවේ "අප බොහෝ දෙනා මුහුණපාන අභාග්‍ය වන්නේ අපේ අරමුණ විසල් නොවීමයි. වඩාත්ම ඛේදවාචකය කුඩා අරමුණ තබා ගැනීමයි. ඉමහත් අභාග්‍ය නම් එම කුඩා අරමුණු ඉටු වීමෙන් පසු ඕනෑවට වඩා මහත් සතුටට පත්වීමයි."

ඔබට සවන් නොදෙන කෙනකුට ඔබේ කඳුළු කතාව පවසන්න එපා. ඔබට ඉතිරිව ඇති කාලය අපතේ යවන්න එපා.

ලොව කෙටිම කෙටි කතාව අර්නස්ට් හෙමිංවේ ගේ For sale, Baby shoes, Never worn යන්න වන අතර එහි සිංහලානුවාදය වන්නේ ‘කිසිදා නො පැලඳි ළදරු පාවහන් යුගලක් විකිණීමට තිබේ’ යන්නයි. ගැඹුරු අරුතක් මෙහි තිබේ.

කුසලතා වර්ධනය කරගන්න. කවුරුන් හෝ හවුල් කරගන්න. දෙවැනි අරමුණක් ද සැම විටම තබා ගන්න.

ඉන්න තැනට, කරන දෙයට සතුට එකතු කරන්න. දවසට ආදරය කරන්න. ඔබ පවසන දේ අන් අයට නොතේරේ නම් නිහඬ වන්න. ඒ නිහඬ කාලය බොහෝ දේ ලොවට තේරුම් කරාවි.

ඔබේ ලෝකයේ නිමැවුම්කරු ඔබමය. විඳීම හෝ විඳවීම ඔබ අතේය. ඔබව අගය කරන මිනිසුන් ඇසුරු කරන්න

අද මේ අලුත් දවස පැරණි මතකයන් නිසා නාස්ති කර නොගන්න. සමාව දෙන්න. ඒ ඊට ඔවුන් සුදුසු නිසා නොව ඔබට සාමය ඇවසි නිසාය. අඟහරු ලොවේ වතුර තිබේද සොයා බලන ලොවට, බීමට ජල පොදක් නැති මිනිසුන් අමතක වී ඇත. ලෝකෙ හැටි එහෙමයි.

තේරුම් ගන්න කෙනෙක් එක්ක වචන දහයක් කතා කර, දැනෙන අස්වැසිල්ල බලන්න. හුස්ම ගන්නවා වගේ දැනේවි. බොරුව අස්වද්දලා සත්‍යයේ අස්වැන්න බලාපොරොත්තු වන්න එපා. ඔබට ආරම්භය වෙනස් කළ නො හැකි වී නම්, මෙතැන ආරම්භය කරගන්න.

සමහර චරිත ඔබේ ජීවිත කතාවේ මුල් පරිච්ඡේදවල හිටියාට අග පරිච්ඡේදවල නෑ. ලෝකෙ ස්වභාවය එයයි.

මිනිසෙක් මැරීමට උණ්ඩ ඕනෙ නෑ. එකම එක කේලමක් ඇති. සත්‍ය තිත්ත කසායක් වෙද්දී බොරුව මීපැණි මෙනි.

දෙව්ලොවක් මවා ඇති වනස්පතියක, මුල් සමහරවිට ඇදී ඇත්තේ අපායේ සිට වන්නට පුළුවන්. ඔබට ආනන්දනීය දිනක් උරුම වේවා! සොළොස් කලා සපිරි පුර සඳ මෙන් යනෙන තැන සිටින තැන ඔබේ ආලෝකයෙන් හාත්පස ආලෝකවත් වේවා! ශීත මකරන්දයේ ඉහළ ඇදෙන අරවින්දයක් මෙන් ඔබේ සිත ආනන්දයෙන් පිරේවා!

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි

පාලිත දිසානායක මහතාගෙන්

ඔබේ දිවිමඟට පහන් වැටක්