අරුණැල්ල

සැප්තැම්බර් 5, 2022

අනාගත පරපුරේ නිර්මාණශීලී ලේඛන හැකියාව ඔපලනු වස් තරුණී පුවත්පතේ පත් ඉරුවක් මත තැනෙන අසිරිමත් වේදිකාවයි මේ...

ඔබේ පද්‍ය නිර්මාණ 0773149013 අංකයට වට්ස්ඇප් කරන්න. තෝරාගන්නා හොඳම පද්‍ය නිර්මාණ තරුණී පුවත්පතේ "අරුණැල්ල" පිටුවේ පළ වේ. සතියේ අරුණැල්ල කවි පිටුව ඔබේ පාසලේ දූ පුතුන්ගේ පන්හිඳක අසිරිය වෙනුවෙන්ම වෙන් කරවා ගැනීමට ද අවස්ථාව ඇත.

ලිපිනය - අරුණැල්ල, තරුණී, ලේක්හවුස්, කොළඹ 10

 

සංස්කාරිකා
ප්‍රසන්නි ගී තරංගමා

 

 

අලුත් ඉරක් අලුත් දිනක්

නව දවසක් ඇරඹෙන්නේ
සිතුම් පැතුම් ඉටුවන්නේ
මුළු ලෝකෙම එළි වෙන්නේ
අපි හැමෝම පිබිදෙන්නේ

සැවුලාගේ නද පැතිරෙයි
අහර සොයා සියතුන් යයි
මානෙල් මල් විකසිත වෙයි
පුංචි අපේ නෙත් පිනවයි

සමනලයන් මී මැස්සන් මල් පැණි බොන්නට පැමිණෙයි
වලාකුළින් ගුවන පුරා නේක නේක රටා මවයි
හිරු රැස් ගඟ මතට වැටී එහි ඇති දිය බිඳු දිළිසෙයි
හිරු කුමරා එවන් දසුන් තුළින් අපේ නෙත් රවටයි

තරුකි නුදාරා බණ්ඩාර
11 ශ්‍රේණිය
සිවිරාජ විශේෂ පාසල - මහවැව

---------------------

අයෝමය යකඩ රුව

අයෝමය යකඩ රුව,
නැඟ ගති බස් රියේ ඇතුළට
කඩල... කඩල...
උණු උණු කඩල...
වාතලය දෙබෑ කොට
ඇසෙන කඨෝර හඬ
මිහිරි සුවඳක් යාවි
දැක ගතිමි මා ඔහුව....

අඳුරු පැහැ ගත් තට්ට හිස
රන් තඹය ඒ යකඩ රුව
පනහෙ සීයෙ කොළ,
වැඩිම දෙසීයයි
ඔහුට වෙන්දේසි වූ
බසයෙන් බැස්ස තැන
ඉඳපු කඩමලු ළමයට
අතපුරා ගත් කඩල මිට
දුන්නෙ කිසි අගයක් නොමැතිවම....

නුහුරු අහිංසක හිනා කැට
එකින් එක ඇහිඳගෙන
යළිත් ඇරැඹීය ගමන
කඩල..... කඩල.....

අයෝමය යකඩ රුව
දරා සිටි රන් හදවත
මිල කළ නො හැකි බව
දැක්කෙ මං විතරම ද?

සෙවිමිණි වික්‍රමනායක
මධ්‍ය විද්‍යාලය - අනුරාධපුරය

---------------------

සහන් එළි

සොයමි
වෙහෙසෙමි
නොනැවතී
අහා! මට යැයි
පොදි බැඳී
දේ අතර නො රැඳී
සිත පිරි මදින
අමාවක් ම වූ
සහනය

රශ්මිණී ප්‍රමෝද්‍යා
13 ශ්‍රේණිය - වාණිජ
ශාන්ත තෝමස් විද්‍යාලය
මාතලේ

----------------

දීගෙක යන ඈ
 

කලකට පසු ගමක සිරිය
වැඩි වෙන පෙර නිමිති ළඟය
නුඹ දීගෙක යනෙන දවස
වැඩි ඈතක නොවෙයි නේද?

හිරිමල් හිත පාර පාර
මනමාලිය වෙලා එදින
නුඹ යන ඒ සොඳුරු මොහොත
හිත පතුෙල් කුරුටු ගෑය

නුඹ හෙට දීගෙක යනවා
මම නොදැනිම තනි වෙනවා
ගමේ සිරිය අඩු වෙනවා
දුක ටික ටික ළං වෙනවා

යනෙන තැනක සතුටු සිතින්
ඉන්නට සුබ පතමි මෙමන්
ආදරබර සෙනේ සිතින්
සැමදා සතුටින් රැඳියන්

රෂ්මි උදේශිකා
13 ශ්‍රේණිය 9කලා-2
හලා/වෙන්/බෞද්ධ බාලිකා ජාතික පාසල, කිරිමැටියාන

 

---------------------

කඳුළු

වැහැපු මහ වැහි
ගොඩක් මැද්දෙම
හුඟක් පායපු දවස් තිබ්බා..

අමාවක රෑ
වුණත් ඉඳහිට
පුර හඳේ රැස්
තදට ඉස්සා...

පිපීගෙන එන
නෙළුම් මැද්දෙම
මැලවිච්චි මල් නටුත් තිබ්බා

ඉතිං
හිනැහෙන
ගොඩක් උන් ළඟ
හොරෙන් වියැළුණු කඳුළු
තිබ්බා

මල්ෂා මධුෂානි
13 ශ්‍රේණිය (කලා-2), හලා/වෙන්/බෞද්ධ බාලිකා ජාතික පාසල, කිරිමැටියාන

-----------------

බේරීම

කිරි ගහට හෙණ වදිද්දි
අනිත් උන් හිනා වෙනවා....
ඒත් උන් දන්නෑ
උන් බේරෙන්නෙත්

කිරි ගහ නිසා කියලා ....

තෙහස්නා සනුපදි
12 ශ්‍රේණිය (කලා -1), හලා/වෙන්/බෞද්ධ බාලිකා ජාතික පාසල, කිරිමැටියාන

-----------------

සුදුමැණික

ඔබටම කුඩා කල සිට බැඳි සෙනෙහසට
හමුවකි අහඹු පසු දසවස් ඉකුත් කළ
මල්වර නැකැතෙ රුසිරුව සිරි කිරුළු ලද
ඉටි වූ පිළිමයකි අද මෙන් එදින මට

මංගල පෝරුවේ අතගත් මල් කළඹ
සැරසුණෙ කොහොම මැණිකේ මල් වඩමකට
ඔබ මා ගෙවූ ප්‍රේමයෙ මදු පිරි මතක
අමුණමි කඳුළු කැට වෙව්ලන හදවතට

දිය වුණු සුසුම් පණනල යළි නොලැබේ නම්
නිවි නිවි දැවෙන අමතක මතකයෙ වේ නම්
තව කල්පයක් ඔබගෙම වන්නට හැකි නම්
උපදින භවයෙදිත් අඹු-සැමි වෙමු හිමිනම්

දැවි දැවි ඉපදෙනා මා ඔබ දෙසම බලා
අවසන් අඩ පැයයි තව සුදු මැණික තියා
ගොළු වූ මහලු හද හඬ කඳුළකට පෙලා
පිරිමැද්දා සිරස නිහඬව දෑත බදා

වංශි කවීෂා චමෝදි
13 ශ්‍රේණිය (කලා - 3), හලා/වෙන්/බෞද්ධ බාලිකා ජාතික පාසල, කිරිමැටියාන

 

------------------

හීන

 

වන්දනා මගෙ නංගියේ නුඹේ
මංගල දිනේ, මට නිවාඩු නෑ පතල් බිමේ....
අප්පච්චිගෙ බැංකු පොතට
මගේ දවස් හතක පඩිය ඊයේ තැන්පත් කළා....
ඒක ගනිං, මඟුල් මංගල්ලේ ජයටම තියා දීග යමං
උඹට වරදින් නෑ මේ භවේ...

ගැඹුරුයි මේ පතල
තව හාරගෙන
ඉල්ලම සොයා
යන්නට තිබේ

මම එන්නම් විගහට දවසක
නුඹ නාඩා මස්සිනාගෙ අත අල්ලං
නැගපන් පෝරුවට
අර පැරණි මතක මහවැලියට දමා...

වන්දනා මගේ නංගියේ
කතරගම සුරිඳු අප රකියි. මේ භවේ...
හිනාවෙලා සිටින්. අපටත් දවසක කිරිබත් කන්න
ඇහැකි සත්තයි...

දෙනුවත් නෙත්සර
ශාන්ත මරියා විද්‍යාලය, හලාවත

----------------

 ඒ අපේ අම්මා



ලියුම් පත මත -
පුතේ උඹ හොඳින් ඇති කියා මං හිතනවා
උඹට ඕනෑ මුදල් සේරම මේ පතේ අග තියෙනවා
තාත්තගේ සැත්කමත් ළඟ එයි ටිකක් මට බය හිතෙනවා
මම හොඳින් මෙහෙ උඹලා සතුටින් ඉන්න මං සෙත් පතනවා

මෙහේ නෝනලා හරි හොඳයි මං ගැනත් හොයලා බලනවා
වේල් තුනටම හොඳට කන්නට මෙහෙන් කෑමත් ලැබෙනවා
ලෙඩක් දුකකුත් ඇත්තෙ නෑ මට බෙහෙත් එහෙමත් ලැබෙනවා
එපා බය නම් වෙන්න දෙයියෝ හොඳින් මං මෙහෙ ඉන්නවා

අම්මගේ හිත -
උඹේ හිත නම් ගලක් අම්මේ කොහොම බොරු පද ගොතනවා
ඊයෙ හාමිනෙ ගහපු තැන දැන් තැල්ම හොඳටම පේනවා
තාම හාමතෙ ඊයේ ඉඳලා කුසේ ගින්නෙන් දැවෙනවා
හොඳක් වෙන්නේ කොහොමදැයි මට කියාපන් මං හිතනවා


අම්මගෙ හද
තැල්ම නම් ඔහෙ අඩු වෙලා යයි වතුර ටිකකින් තැවුවණේ
ඉතුරු වුණු දංකුඩත් තිබ්බා කන්න හැකි වැඩ ඉවරනේ
මේවා කැක්කුම් නෙවේ මට නම් පුතාගේ මුව මැවෙන්නේ
සියලු දුක් මගෙ පිටින් පැටවී ඔවුන් සතුටින් තියන්නේ

මුතුලි මෙත්සිළුනි
13 ශ්‍රේණිය - 2
හලා/වෙන්/බෞද්ධ බාලිකා ජාතික පාසල, කිරිමැටියාන
 

----------------------

හීන

වන්දනා මගෙ නංගියේ නුඹේ
මංගල දිනේ, මට නිවාඩු නෑ පතල් බිමේ....
අප්පච්චිගෙ බැංකු පොතට
මගේ දවස් හතක පඩිය ඊයේ තැන්පත් කළා....
ඒක ගනිං, මඟුල් මංගල්ලේ ජයටම තියා දීග යමං
උඹට වරදින් නෑ මේ භවේ...

ගැඹුරුයි මේ පතල
තව හාරගෙන
ඉල්ලම සොයා
යන්නට තිබේ

මම එන්නම් විගහට දවසක
නුඹ නාඩා මස්සිනාගෙ අත අල්ලං
නැගපන් පෝරුවට
අර පැරණි මතක මහවැලියට දමා...

වන්දනා මගේ නංගියේ
කතරගම සුරිඳු අප රකියි. මේ භවේ...
හිනාවෙලා සිටින්. අපටත් දවසක කිරිබත් කන්න
ඇහැකි සත්තයි...
 

දෙනුවත් නෙත්සර
ශාන්ත මරියා විද්‍යාලය, හලාවත