මේ කාලේ ගමන් යන්න සටන් ක්‍රමත් ඉගෙන ගන්න

නොවැම්බර් 28, 2022

 

මේ කාලය අන් කවරදාටත් වඩා ගැහැනියකට තමාගේ ආරක්ෂාව සලසා ගැනීමට සිදුව ඇති කාලයකි. ගැහැනු බව රැක ගැනීමට පිරිමියකු සේ සිතා නිර්භයව ක්‍රියාත්මක වීමට සිදුව ඇත.

 

කුඩා ගැහැනු දරුවන්ට පමණක් නොවේ, වැඩිහිටි කාන්තාවන්ට පවා මේ අනාරක්ෂිත තත්ත්වයට මුහුණදීමට සිදුවේ. ඒ සඳහා අපිට ආත්මාරක්ෂක සටන් කලාවක් ප්‍රගුණ කිරීමට හැකිය. විශේෂයෙන් ම තමාගේ දියණියට ආත්මාරක්ෂාව ගැන වටහා දී ඇයව ආත්මාරක්ෂක සටන් කලාවක් ප්‍රගුණ කිරීම සඳහා යොමු කළ හැකිය.

දිනෙන් දින ඉදිරියට යන ලෝකයේ අපේ දියණියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අප ඔවුන්ව ශක්තිමත් කළ යුතු ම කාලයයි.

* ඔබේ පසුපසින් යම් කිසිවෙක් පැමිණ ඔබේ ගෙල වටා අත යොදා හිර කර ගත් විට ඉණ මිදීමට නම් ඔබ කළ යුත්තේ, ඉන ප්‍රදේශය මඳක් ඔබේ දකුණු අත පැත්තට කර වම් අත හොඳින් දිගුකොට හැකි වෙර යොදා පසුපසට කිරීමෙන් ඔබට කරදර කිරීමට පැමිණි පුද්ගලයාගේ රහස් පෙදෙසට පහර දෙන්න.

මෙය පිරිමියකුගේ වඩාත් සංවේදී ප්‍රදේශය වන නිසා එම ප්‍රදේශයට පහර දීමෙන් ඔහු දුර්වල කිරීමට ඔබට හැකියාව ලැබේ.

මෙලෙස තුන් වරක් පමණ පහර දී ඉන්පසුව එම අතම මිට මොළවා එම පුද්ගලයාගේ නළල ප්‍රදේශයට ඔබේ හිසේ පසෙකින් අත යවා පහර දෙන්න. එවිට ඔහුගේ අත ලිහිල් වී ඔබට ඔහුගේ ග්‍රහණයෙන් මිදීමට හැකි වේ.

 

* කිසියම් පුද්ගලයකු පැමිණ ඔබේ පසුපසින් ඔබේ දෑතේ වැළමිටට ඉහළ ප්‍රදේශය හිරවන සේ ඔබ එම පුද්ගලයාගේ ග්‍රහණයට හසු කර ගත් විට ද පෙර පරිදිම හැකි වෙර යොදා ඔබේ අත පසුපසට පද්දා එම පුද්ගලයාගේ රහස් පෙදෙසට පහර දෙන්න.

 

* ඔබේ ඉදිරිපසින් ඔබට යම් බලපෑමක් සිදු කිරීමට පැමිණෙන පුද්ගලයකුගෙන් බේරීම සඳහා ඔබට කළ හැකි වන්නේ, දෙඅත් මිට මොළවා සිට එක් අතක් දිග හැර එහි දබරැඟිල්ල හා මැදඟිල්ල දිගුකොට අදාළ පුද්ගලයාගේ දෑසට පහරක් එල්ල කිරීමයි.

මේ ආකාරයෙන් ඉදිරිපසින් පැමිණෙන පුද්ගලයකුගෙන් ඔබට එල්ලවිය හැකි බලපෑමකින් බේරීම සඳහා ඔබට තවත් ක්‍රමයකට පහර දීමක් සිදු කළ හැකිය.

දෑතේ ඇඟිලි නමාගෙන දෑත් ඉණ ප්‍රදේශයට ගෙන එක්වරම එක් අතක ඇඟිලි දිගුකොට, එම අත දිගුකොට ඉදිරිපසින් සිටින පුද්ගලයාගේ උගුරු දණ්ඩ ප්‍රදේශයට හැකි වෙර යොදා පහර දෙන්න. මේ ප්‍රහාරය දරා ගත නොහැකි එම පුද්ගලයා ඔබව ග්‍රහණයට ගැනීමට තවත් පියවරක් ගැනීමට ප්‍රථම ඔබට එම ස්ථානයෙන් ඉවත් වීමට හැකියාව ඇත.

 

එවිට එම පුද්ගලයාට ඔබ ග්‍රහණයට ගැනීමට නොහැකි වන අතර එම ස්ථානයෙන් ඉවත් වීමට ඔබට යම්

කාලයක් ලැබේ.

* ඔබ නැවී සිටින විට හෝ හිටගෙන සිටින විට ඔබේ පසුපසින් පැමිණෙන පුද්ගලයකු බඳ වටා දෙඅත් යවා ඔබ ග්‍රහණයට ගත් විට,

ඉණෙන් නැමී සිටින ඉරියව්වෙන් ම හැකි වෙර යොදා අතේ වැළමිට ප්‍රදේශයෙන් පසුපසින් සිටින පුද්ගලයාගේ මුහුණ ප්‍රදේශයට පහර දෙන්න. ඒ සමඟින්ම හැකි වෙර යොදා කකුල පසුපසට කර එම පුද්ගලයාගේ රහස් පෙදෙසට පහර දෙන්න. මෙවැනි ආත්මාරක්ෂක ක්‍රම සේ ම, නිරන්තරයෙන් ම තමා අවට ගැවසෙන පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් සිටීම ද කාන්තාවකට වැදගත් වන්නකි. එසේ සිටීමෙන් තමාට සිදු විය හැකි කරදරයක් කල් ඇතිව වළක්වා ගැනීමට ඔබට හැකි වේ.

මේ නිසා ඔබේ දියණියට ද තමා අවට පරිසරය ගැන අවධානයෙන් සිටින ලෙස දැනුම්වත් කරන්න. එමෙන්ම හැකි නම් ඇය ආත්මාරක්ෂක සටන් කලාවක් හැදෑරීම සඳහා යොමු කරන්න. එය දියණියගේ ආරක්ෂාව ගැන ඔබේ සිතට ද යම් අස්වැසිල්ලක් ලබා ගත හැකි කාරණාවක් විය හැකියි.

 

-------------------

වයස අවුරුදු 40 ජීවිතය විඳීමට හොඳම කාලය බව වෙනත් රටවල මතයයි. නමුත් අපේ රටේ වයස 40 ජීවිතය විඳවීම ආරම්භ වන අවදියයි. බෝ නොවන රෝගවලින් පීඩා විඳින බොහෝ දෙනෙක් එයට ගොදුරු වන්නේ මේ වයස ආසන්න වීමත් සමඟයි. එසේ වන්නේ අපේ රටේ මිනිසුන් ශාරීරික සෞඛ්‍ය පිළිබඳ අවධානයක් යොමු නොකරන නිසයි.

ශාරීරික සෞඛ්‍ය යනු කෑම බීමෙන් පමණක් ලබා ගන්නා දෙයක් නොවේ. ඒ සඳහා සුදුසු ව්‍යායාමද සිරුරට අවශ්‍ය ය. ආත්මාරක්ෂක සටන් කලාව හැදෑරීමේ වාසිය වන්නේ ඉන් අපේ ආරක්ෂාව සැලසෙන අතරම සෞඛ්‍යයද සුරැකීමයි.

ඉන්දියාවේ බෞද්ධ හිමිනමක් විසින් ආරම්භ කළා යැයි සැලකෙන ආත්මාරක්ෂක සටන් කලාව ඉන්පසුව ජපානය, චීනය, කාම්බෝජය වැනි අනෙකුත් රටවල්වල ද ප්‍රචලිත විය. මෙය මුල් කාලීනව ව්‍යාප්ත වූයේ පන්සල් ආශ්‍රිතවය. විවිධ රටවල්වල දී මෙය විවිධ ප්‍ර භේද ලෙස ගොඩනැඟුණි. මෙය ජපානයේ දී 'කරාතේ' යන නමින් හැඳින්වූ අතර එහි තේරුම වන්නේ 'හිස් අත' යන්නයි.

මේ වන විට ජපානය, චීනය වැනි රටවල පාසල්වල පවා ආත්මාරක්ෂක සටන් කලාව ඉගැන්වීම නිසා එම රටවල දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ ගොස් ඇත. එමෙන්ම කාන්තාවන්ට සිදුවන අපචාර ක්‍රියා අවම මට්ටමක පවතී. ඒ විතරක් ද නොවේ, ආත්මාරක්ෂක සටන් කලාව හදාරන පුද්ගලයන් තුළ විනය ද ගොඩනැඟෙන බැවින් විනයානුකූල, සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කිරීමට මෙය මහත් රුකුලක් වේ.

අපේ රටේ සෑම දරුවකුට ම ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කළ හැකි නම් එය සමාජයේ යහපතට මෙන්ම රටේ අනාගතයට ද හොඳ ආයෝජනයකි.

 

 

 

උපදෙස් -

ආත්මාරක්ෂක සටන් උපදේශක

ඩබ්.ඩබ්. කුමාර ගණේගොඩ